ඩිලාන් සහ විමල් අගවිනිසුරුවරියට අපහාස කරලා

අගවිනිසුරුවරිය හා ඇයගේ නීතිඥයින් ඊයේ (06) පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කැදවූ අවස්ථාවේදී, එම කමිටුවේ නියෝජිතයින් දෙදෙනකුවන විමල් වීරවංශ සහ ඩිලාන් පෙරේරා යන අමාත්‍යවරුන් දෙදෙනා අගවිනිසුරුවරියටත් එම නීතිවේදීන්ටත් අපහාස වන අයුරින් කතා කර ඇති බව වාර්තාවේ.

දෝෂාභියෝගය විභාග කිරීම සඳහා ඊයේ සවස 2.30 ට අදාළ කමිටුව රැස්වූ පසු අගවිනිසුරුවරිය සහ නීතිඥ මණ්ඩලය කමිටුව ඉදිරියේ පෙනී සිටියහ.



කමිටුවේ සාමාජිකයන් දෙදෙනෙකු වන රාජිත සේනාරත්න සහ විමල් වීරවංශ යන අමාත්‍යවරුන් දෙදෙනා මෙම විනිශ්චය මණ්ඩලයේදී පක්ෂග‍්‍රාහී විය හැකි බවට අගවිනිසුරුවරියගේ නීතිඥයන් විසින් පසුගිය වාරයේ නගන ලද මූලික විරෝධතාව සම්බන්ධයෙන් කමිටු සභාපති අනුර යාපා මහතා ප්‍රකාශ කොට ඇත්තේ, කමිටුව විසින් එම විරෝධතාවය ප‍්‍රතික්ෂේප කරන බවයි.


සභාපතිවරයාගේ මෙම ප‍්‍රකාශයට විපක්ෂයේ නියෝජිතයින් දැඩි විරෝධය පල කර ඇත්තේ, කමිටුව එවැන්නක් සාකච්ඡා නොකළ බව කියමිනි. එසේ නම් එය ආණ්ඩු පක්ෂයේ අයගේ තීන්දුවක් මිස කමිටුවේ විපක්ෂය සමග ඒ ගැන කතාවක් හෝ සිදු නොවූ බැවින් එය කමිටු තීරණය යයි ප‍්‍රකාශ කිරීම වැරදි බවත් තමන් නීතිවේදීන් ගෙන ආ විරෝධතාවය පිළිගන්නා බවත් විපක්ෂයේ සිව් දෙනා එක හඬින් ප‍්‍රකාශ කර ඇත.


ඉන්පසු අගවිනිසුරුගේ නීතිවේදීහු, මෙම තේරීම්කාරක සභාවේ විමර්ශන කටයුතු කරන ක‍්‍රමවේදය කුමක්දැයි විමසා තිබේ.


මෙම කාරණය පිලිබදව මීට පෙර ද රැස්වූ කමිටුව සාකච්ඡා කර තිබු නමුත්, නිසි ක‍්‍රම වේදයක් සකසා ගැනීම තබා ඒ ගැන යෝජනාවක් හෝ මෙතෙක් ගෙනවිත් නොමැත. සභාපතිවරයා කිසිදු ක‍්‍රමවේදයක් ඉදිරිපත් කර තිබුනේද නැත.


කෙසේවුවද, සභාපතිවරයා විසින් පෙර දිනයේ විපක්ෂ සාමාජිකයන් වෙත ලබා දී තිබු දෝෂාභියෝග චෝදනාවන් කිහිපයකට අදාල සාක්කි ලෙස පෙන්වන ලිපි ලේඛන අඩංගු ලිපිගොනු අගවිනිසුරුවරියගේ නීතිවේදීන්ට ද ලබා දී ඇත.


අගවිනිසුරුවරියට අයත් බැංකු ගිණුම් සම්බන්ධ වාර්තා සහ වත්කම් ප්‍රකාශවලට අදාල ලියකියවිලිවල පිටපත් එසේ භාරදී ඇත.


එහිදී, අගවිනිසුරු නීතිවේදීහු චෝදනා කිහිපයක නොව සියළු චෝදනා සඳහා අදාල ලිපි ලේඛන ලබා දෙන ලෙසත්, සාක්කි ලේඛනයක්, එනම් සාක්කි සඳහා කැඳවන්නේ කව්දැයි යන ලේඛනයක් ද ඉල්ලා තිබේ.


මෙම චෝදනා 14 ක් සඳහා ඉදිරිපත් කෙරෙන ලිපි ලේඛන විමසා බැලීමට ප‍්‍රමාණවත් කාලයක් ලබා දෙන ලෙසද නීතිවේදීහු ඉල්ලා ඇත.


මේ කරුණු ගැන දැඩි සේ වාද විවාද ඇතිවි තිබේ. නීතිවේදීන් නීතිමය කරුණු ගැන වාද විවාද කරද්දී කමිටු සාමාජික විමල් වීරවංශ සහ ඩිලාන් පෙරේරා යන අමාත්‍යවරුන් දෙදෙනා අගවිනිසුරුවරියටත් නීතිවේදීන්ටත් අපහාස වන අයුරින් කතා කර ඇත.


වීරවංශ සහ ඩිලාන් යන දෙදෙනා අගවිනිසුරුවරියට නොසරුප් වදනින් ඇමතීම කිසිවෙක් අනුමත නොහැකි බව කියමින්, මොවුන්ගේ මෙම හැසිරීම ගැන නොසතුට පල කර ඇති කමිටු නියෝජිත එස්. සම්බන්ධන් මන්ත්‍රීවරයා, ඔවුන්ව පාලනය කරගන්නැයි සභාපතිවරයාගෙන් ඉල්ලා ඇතත් ඊට නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැත.


වාද විවාද උග‍්‍ර වෙද්දී සවස 5.15 ට කමිටුව විනාඩි 15 කට කල් තැබු සභාපති අනුර යාපා මහතා, ඉන්පසුව යළි 5.30 ට කමිටුව රැස්වූ විට කම්ටුවේ ක‍්‍රමවේදය පැහැදිලි කර ඇත.


කිසිදු කල් තැබීමක් නැති බවත්, පසුදින දහවල් 1.30 සිට චෝදනා විභාග කෙරෙන බවත් ඒ සඳහා පැමිණිය යුතු බවත් ඔහු අවධාරණය කර තිබේ.


මෙහිදී අගවිනිසුරුගේ ප‍්‍රධාන නීතිවේදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මූලික කාරණා 05 ක් ප‍්‍රකාශ කර ඇත.


1. මෙම චෝදනා විමර්ශනය කරන නිශ්චිත ක‍්‍රමවේදයක් මෙම තේරීම් කාරක සභාවට නොමැත.
2. චෝදනා සඳහා සාක්කි ලෙස සටහන් කිහිපයක් මිස සියළු චෝදනා සඳහා සාක්කි ලිපි ලේඛන නැත
3. සාක්ෂි දෙන පුද්ගලයන් කව්දැයි අඩංගු සාක්කි ලේඛනයක් ඉදිරිපත් කළ යුතුය
4. මේ කටයුතු සඳහා ප‍්‍රමාණවත් කාලයක් ලබා දිය යුතුය.
5. කමිටු සාමාජිකයන් විසින් තම සේවාදායක අගවිනිසුරුවරියට අපහාස කිරීමෙන් එම සාමාජිකයන් පක්ෂග‍්‍රාහී බව පෙනී යයි.


ඉහත සාධාරණ කරුණු මෙම සභාව විසින් ඉටු නොකරන බැවින් බවත්, පෙර සාදාගත් තීන්දුවක් ප‍්‍රකාශ කිරීමට සූදානම්ව සිටින බව හොදාකාරව පෙනී යන බවත්, මෙම තේරීම් කාරක සභාවෙන් සාධාරණ යුක්තිය පසිඳලීමක් සිදුවේයැයි විශ්වාසය පළුදු වී ඇති බවත්, එහෙයින් මෙයින් ඉවත් වීමට තීන්දු කළ බවත් මින් ඉදිරියට මෙම තේරීම් කාරක සභාවේ කටයුතු වලට සහභාගී නොවන බවත් ජනාධිපති නීතිඥ රොමේෂ්ද සිල්වා මහතා එහිදී පවසා ඇති අතර, අනතුරුව පස්‌වරු 5.55 ට පමණ අගවිනිසුරුවරිය ඇතුලූ පිරිස කමිටුවෙන් නැගිට ඉවත්ව ගොස් ඇතැයි වාර්තාවේ.


ඒ සමගම විපක්ෂයේ නියෝජිතයෝද නැගිට ඉවත්ව ගොස් තිබේ.


මෙම සිදුවීමෙන් පසුව නියෝජ්‍ය කතානායකවරයා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේ තේරීම් කාරක සභාව විසින් අගවිනිසුරුවරිය අද (07) දහවල් 1.30ට තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටිය යුතු යැයි සිතාසි නිකුත් කළ බවයි.


Gossip Lanka Hot News Previous News Archive