බිරිය රට ගිය දුකට දරුවා බාල්කයක එල්ලා සැමියා එල්ලී මැරිලා
මවුපියකුට දරු සෙනෙහස මිල කළ නොහැකි වස්තුවකි. එහෙත් තම දරුවන් මහ මඟ දමා යෑම, ලිංගික අඩන්තේට්ටම් කිරීම, කෘෘර වධහිංසා කිරීම හා මරා දැමීම අප රටේ දැන් දැන් නිතරම අසන්නට ලැබේ. මෙවැනි තවත් ශෝචනීය සිද්ධියක් ඉකුත්දා අපට අසන්නට ලැබුණේ දන්කොටුව මෝරුක්කුලිය පීතරවත්ත ප්‍රදේශයෙනි.
තම බිරිය විදේශගත වීම ගැන බලවත් සේ කම්පාවට පත්වී සිටි තරුණ පියකු සිය පස් හැවිරිදි පුතකුගේ ගෙල වයර් පටකින් සිරකර එල්ලා මරා දැමීමට තැත් කර තමාද ගෙල වැලලාගෙන මිය යෑම තවමත් ප්‍රදේශයේ කාගෙත් අවධානයට හා කම්පාවට පත්වී තිබේ.
දිනේෂ් ප්‍රනාන්දුපුල්ලේ හා චන්දිමා මානෙල් ප්‍රේම සම්බන්ධතාවක් මත විවාහ වූයේ අනාගත බලාපොරොත්තු රාශියක් ඔළුවේ තියාගෙනය. මිය ගිය දිනේෂ් (30) සහ චන්දිමා මානෙල්ට පිරිමි දරුවන් දෙදෙනෙකි. වැඩිමලා වූයේ දිල්ෂාන් චාරුක (10)ය. බාලයා වූයේ නෙත්මික හේෂාන්ය (5). වැඩිමලා දුම්මලකොටුව විද්‍යාලයටද, දෙවැන්නා දංකොටුව ප්‍රාදේශීය සභා පෙර පාසලේද අධ්‍යාපනය ලැබීය.
මෙම යුවළ තම ආර්ථිකය ගැටගසා ගත්තේ ඉතාම අමාරුවෙනි. ගඩොල් කැපීම රැකියාව කරගත් දිනේෂ් දවසේ වියදම උපයා ගත්තේ දැඩි වෙහෙසක් දරාය. මේ සියල්ලට දිනේෂ්ට ධෛර්යය දුන්නේ බිරිය චන්දිමාය. චන්දිමාගේ දැඩි කැපවීම නිසාම ඔවුන්ට කියා කුඩා නිවෙසක් තනා ගැනීමට වැඩ පටන් ගත්තේය. දරුවන්ගේ හා එදිනෙදා වැඩකටයුතුවලට ලැබෙන ආදායම මදිකම නිසා නිවෙසේ වැඩ අතරමඟ නතර කිරීමට ඔවුන්ට සිදුවිය.
චන්දිමා උදේ හවස නිවෙස දෙස බලා නිතරම හූල්ලන්නට වූයේය. "අනේ මේ ගෙයි වැඩ කවදා ඉවර කරන්න. අනේ මේක කොහොම හරි ඉවර කරගන්න ඕනෑ. රට ගිය අනිත් අය වගේ මමත් රට ගිහිල්ල ලස්සනට ගේ හදල ඉන්න ඕන" කියමිනි. ඒත් දිනේෂ් චන්දිමාගේ එම යෝජනාවට කිසිවක් කීවේ නැත.
'අනේ දිනේෂ් ළමයි දෙන්න අම්ම ගාව හරි තියල මම අවුරුදු දෙකකට රට යන්නම්. අපට ගේ හදා ගන්න ඕන නේද?'
'පිස්සුද සුදු නෝනා. ඔයා නැතුව දරුවනුත් මමත් ඉන්නෙ කොහොමද? ඔය අදහස අතහැරල දාන්න.'
එසේ කියමින් දිනේෂ් චන්දිමාගේ යෝජනාවට තදින් විරුද්ධ විය. පසුව දිනේෂ්ගේ මව සමඟ ඇය තම අදහස ප්‍රකාශ කළාය.
දිනේෂ්ගේ මවගෙන් ඊට විරෝධයක් ප්‍රකාශ වූයේ නැත.
'ඒත් අම්මේ දිනේෂ් කැමැති නැහැ' 'දුවේ අපි දිනේෂ්ගේ හිත හැදෙන්න සිංගක්කුලිය දේවාලයට ගිහින් බාරයක් වෙමු.'
චන්දිමා හනි හනිකට දේවාලයට යන්න සූදානම් වූවාය. දිනේෂ්ද කැමැති කරගෙන දේවාලයට ගොස් රට යන්න හිත දෙන්න කියා ඇය පූජාවක් තියා බාරයක් වූවාය. පුදුමයකට මෙන් දිනෙන් දින දිනේෂ්ගේ හිත හැදෙන්නට විය. 'ආ කමක් නැහැ සුදු නෝනා ඔයා රට ගිහින් ඉක්මනට එන්නකෝ. මම ළමයි දෙන්න බලාගෙන ඉන්නම් මොනව කරන්නද?' ටික දිනක් යන්නට ඇර දිනේෂ් එසේ පැවැසීය.
චන්දිමා රට යන වැඩකටයුතු ලහි ලහියේ සූදානම් කළාය. විදේශ ගමන් බලපත්‍රය සාදාගත් ඇය ඒජන්සියකට ගොස් ඩුබායි රටේ ගෘහ සේවිකාවක් ලෙස යන්නට සියලු වැඩ නිමා කරගත්තේ බලාපොරොත්තු රාශියක් හිස මත තියාගෙනය. පසුව 2012.10.07 දින චන්දිමා ඩුබායි රටට යන දිනය විය. දිනේෂ් හා ළමයි දෙදෙනා චන්දිමා ගුවන් තොටුපොළට ගිහින් ඇරලවන්නද අමතක කළේ නැත. නමුත් දිනේෂ් ගෙදර ඇවිත් දින කීපයකින් වෙනස් වන්නට විය. කෑම කෑවේද අම්මගේ බලකිරීම නිසාය.
'අනේ අම්මේ සුදු නෝනා ආයි එන එකක් නැහැ?'
'නැහැ පුතේ අවුරුදු 2 ඉවර වුණාම එන්න ඕනේ.' යන්න මවගේ පිළිතුර වුවද නිතර නිතර දිනේෂ් සිය බිරිය පිළිබඳ කල්පනා කරන්නට විය. හරියට කෑමක් බීමක් ගත්තේද නැත. දෙලොවක් අතර අතරමං වූවෙක් සේ හැසිරෙන්නට විය. වැඩිමහල් පුත් දිල්ෂාන් චාරුක (10) බිරියගේ අක්කාගේ නිවෙසේ නතර කළ දිනේෂ් කුඩා පුත් නෙත්මික (5) සමඟ කුඩා පැල්පතේ ජීවත් වූයේ තමා මෙතෙක් දරුවන් හා භාර්යාව සමඟ ජීවිතය ගැටගසා ගත් ගඩොල් පෝරනුවද අතහැර දමමින්ය.
බිරිය (චන්දිමා) ඩුබායි රටට ගොස් මාසයක් පමණ යන විට මුදල්ද දිනේෂ්ට එවා තිබිණි. දිනේෂ් කළේ ඒ මුදල් වියදම් නොකර ලාච්චුවට දමා එකතු කිරීමය. පසුව දිනක් දිනේෂ් චන්දිමාට දුරකතන ඇමැතුමක් දුන්නේය. ඇමැතුමට කතා කළේ චන්දිමා නොව පිරිමි පුද්ගලයෙකි. දිනේෂ් කලබල විය.
'අනේ මගෙ නෝනට මොකද වුණේ එයා මාව අමතක කරලද?' දිනේෂ් සිතන්නට විය. මුළු ජීවිතයම දිනේෂ්ට එදා එපාවිය. දිනේෂ් පසුදා තම තීරණය ගත්තේය. ඒ තීරණය වූයේ බාල පුතාවත් එල්ලා මරා තමාද ඒ අසලම එල්ලී දිවිනසා ගැනීමය. පසුවදාට පහන් විය. උදේ 5.00ට පමණ නැඟිට අසල අම්මාගේ නිවෙසට ගිය දිනේෂ් සුපුරුදු පරිදි තේ එකක් ඉල්ලා ගෙන බී නැවත ගෙදරට ආවේය. ඒ සමඟම 'දඩාස්' ශබ්දයක් සමඟම දිනේෂ්ගේ නිවෙසේ පිටුපස ෙදාර වැසිණි.
'අනේ තාත්තේ මට මුකුත් කරන්න එපා. අනේ තාත්තේ.' කියල කෑ ගසන ශබ්දයත් සමඟම නිවෙස තුළින් දඩස් ගා බිම වැටෙන ශබ්දයක් ඇසිණ. මෙය හොඳටම ඇසුණේ නිවෙස අසලම ජීවත්වන බිරියගේ සොහොයුරියගේ දියණිය වූ චලනි මධුෂිකාටය (12). ඇය දිනේෂ්ගේ මවත් සමඟ වහා දිවගොස් මුළුතැන්ගෙයි පැත්තේ වසා තිබුණු ෙදාරට ගසමින් බාප්පේ බාප්පේ ෙදාර අරින්න කියා කෑ ගසන්නට වූවාය. ඇයගේ විලාපයට වටපිටාවේ කිහිප දෙනකුත් දුවවිත් බලන්නට වූ අතර පසුව ෙදාර විවෘත කරගත් පිරිස නිවෙස තුළ සිදුවෙමින් තිබූ දර්ශනය දැක සසල වූහ. කුඩා පුතු බාල්කයක එල්ලලාය. සිද්ධිය පිරිස දැකීමත් සමඟ වහා දිනේෂ් පිහියකින් පුතුගේ ගෙල වටා තිබූ වයරය කපා පැන දුවන්නට විය. වැටී සිටි දරුවාගේ හිසෙන් ලේ ගලමින් තිබුණේය. පැනගිය දිනේෂ් සොයන්නට කාටවත් කල්පනාවක් නොවුණු අතර තුවාල වී ලේ ගලමින් සිටි හේෂාන්ව දංකොටුව රෝහලට ගෙන යෑමට පිරිස යුහුසුලු වූහ. පසුව ඔහු මීගමුවත් කොළඹ ජාතික රෝහලටත් මාරු කර යැවිණ.
කලබලයට පත්වී දිවගිය දිනේෂ්ට මොකද වුණේ කියා ගමේ අය සොයන්නට වුණේ ඉන් පසුවය. නිවෙසේ සිට මීටර් 300ක් පමණ දුරින් පිහිටි පාළු පොල් වත්තක අතහැර දමා තිබූ ළිඳක දිනේෂ් කඹයකින් එල්ලී සිටින බව දුටු ගමේ අයකු දිවැවිත් කීවේ ඒ අවස්ථාවේදීය. පසුව සියල්ලෝම එතැනට ගොස් ඔහුගේ සිරුර ගොඩට ගෙනැවිත් මීගමුව මහ රෝහලට ගෙනයෑමට කටයුතු කළහ. මේ සම්බන්ධයෙන් දිනේෂ්ගේ මව වූ ටී.එච්. විනිප්‍රිඩා මහත්මිය මෙසේ කියා සිටියාය.
'ලේලි රට ගියදා ඉඳලා පුතා හිටියේ හරිම කලකිරීමෙන්. නිතරම ඇවිත් කියනවා, නෝන ආයි එන එකක් නැහැ කියල. මම හිත හදල අරිනවා. මැරෙන දවසේ උදේ මට කියල තේ එකකුත් හදාගෙන බීලා ගෙදර ගිහිං තමයි මේ දේ කරගෙන තිබෙන්නේ.'
දිනේෂ්ගේ අවසන් කටයුතු පසුගියදා (03දා) දංකොටුව මෝරුක්කුලිය සුසාන භූමියේදී සිදු කෙරුණු අතර අවසන් කටයුතු සඳහා බිරිය (චන්දිමා) මෙරටට පැමිණ නොසිටියාය.
බිරිය රට ගිය දුකට දරුවා බාල්කයක එල්ලා සැමියා එල්ලී මැරිලා
2012-12-06T02:37:00+05:30
aruna e