පාර්ලිමේන්තු තේරීම් කාරක සභිකයින්ට අභියාචනාධිකරණයෙන් නොතීසි

අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයින්ට අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

ඒ අනුව අදාළ නඩුවේ වගඋත්තරකරුවන් වන කතානායක චමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මහලේකම් සමග පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සියලුදෙනාට ජනවාරි මස 3 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද (21) අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබේ.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය විසින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සම පිළිබඳ තීරණය අද ප්‍රකාශයට පත් කරමින් අධිකරණය විසින් මෙසේ නොතීසි නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කරයි.

විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව අභියෝගයට ලක් කරමින් අගවිනිසුරුවරිය විසින් ගොනු කළ පෙත්සම ඊයේ විභාගයට ගැණිනි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එස්. ස්කන්දරාජා, අනිල් ගුණරත්න, ඒ.ඩබ්ලිව්.ඒ සලාම් යන ත්‍රිපුද්ගල විනිසුරුවරුන් හමුවේ අදාළ පෙත්සම විභාගයට ගැණිනි.

පෙත්සමෙන් තේරීම් කාරක සභාවේ වාර්තාව සම්බන්ධයෙන් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තිබිණි.

එහෙත් අභියාචනාධිකරණය අද සඳහන් කර සිටියේ තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තාව අනුව කටයුතු කිරීම නතර කිරීම ආයතන දෙකේ සුහදතාව සඳහා වඩාත් යෝග්‍ය වන බවය.

කෙසේ වෙතත් අදාළ තේරීම් කාරක සභා‍වේ දී සාධාරණ විමර්ශනයක් සඳහා ඉඩ නොලැබුණු බව අගවිනිසුරුවරිය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ රෝමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේය.

Gossip Lanka Hot News Previous News Archive