මම ගණිකා මඩමක මැඩම් කෙනෙක් - Chat With Dulika Marapana

  රංගනයට ඇය කෙතරම් දක්ෂද යන වග අතිශයෝක්තියකින් ප‍්‍රකාශ කළ යුතු නැත. රංගනයට කෙතරම් හපනියක්ද යන්න, දුලීකා සිය රංග කෞෂල්‍ය වෙතින් අපූරුවට ප‍්‍රකාශ කොට ඇති ශිල්පිණියකි. සිනමාව, රූපවාහිනිය, වේදිකාව යන ඕනෑම අංශයකට සුදුසු රංග හැඩතල ඇය සතුවීම, ඇයගේ රංගන වින්‍යාශය වෙතින් දැකගත හැකි විශේෂත්වයයි. සමාජ විද්‍යා අංශයේ උපාධිධාරිණියක වන දුලීකා මාරපන යනු නිකම්ම නිළියක යන මාතෘකාවෙන් ඔබ්බට ගිය රංගනයේ වින්දනය පේ‍්‍රක්ෂකයින්ට ලබාදුන් රංගන ශිල්පිණියකි.
අවසන් වූ ”මලී” නාට්‍ය වෙතින්ද අපූරු චරිතයක් රඟපෑ දුලීකා, වේදිකාවේ බර්නාඩාගේ සිපිරිගෙයට වී කරන රංගනය හරිම අපූරුය. එලෙසින් මතකය රඳවන චරිත සමග හමුවන දුලීකා මේ දිනවල තවත් අපූරු රංගනයක නියැලෙමින් සිටින්නීය. ශෂී වීරවංශගේ කතා සංකල්පයකට අනුව ප‍්‍රසන්න ඉත්තෑපාන නිර්මාණය කරන ”පුරකලනි” නාට්‍යයේ රඟපාන ඒ චරිතය ගැනත් හෙට දින බොහෝදෙනා විශේෂිතව කතා කරන බව නම් ඒකාන්තය. ඒ සියල්ලට සාපේක්ෂව අද දවසේ ඇය සමග කළ පිළිසඳරකි මේ.

 

දුලීකා මේ දිනවල තරමක් විවේකයෙන් ගත කරන බව ආරංචියි?

පුරකලනි ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වලින් පස්සෙ ටිකක් විවේකයෙන් ඉන්න ඕනෑ කියලා හිතුවා. ඒත් වේදිකාවේ බර්නාඩාගේ සිපිරිගෙය සහ අතුරුපසට චැට් කියන නාට්‍ය ද්විත්වයේ රඟපානවා.

පුරකලනි නාට්‍යයේ රඟපෑ චරිතය හෙටදින මහත් ආන්දෝලනයක් ඇති කරාවි කියලා කියන්න පුළුවනි නේද?

අනිවාර්යයෙන්ම එහෙම වේවි. අද සමාජයේ බහුලව කතාබහ වෙන, මාතෘකා වෙන ගණිකා වෘත්තිය තේමා කරගත් කතා පුවතක්. මම එහි රඟපාන්නේ ගණිකා වෘත්තියේ යෙදෙන තරුණියන් සිටින තැනක පාලිකාවක ලෙසයි. මෙය අද වන විට අපේ සමාජයේ ව්‍යසනයක් වූ කාරණයක් බවට පත්වෙලා. සෑම තැනකම පාහේ ඔඩු දුවා ඇති මේ සමග මනුෂ්‍ය ජීවිතයට, ජන ජීවිතයට බලපාන විදිය සහ වෙලා තියෙන හානිය ගැන කතා වෙන නිර්මාණයක්. මෙය එක්තරා විදියක අභියෝගාත්මක චරිතයක් වෙන්න පුළුවනි. ඒත් මම ඒ අභියෝගය බාරගත්තා. පියවි සිහියෙන් බලන අය එය අපූරුවට නරඹාවි. ජීවිතය විහිළුවක් කරගත් අය අප රඟපාන මේ චරිත දිහා වැරදි ඇහැකින් බලන්නත් බැරි නැහැ. මීට අමතරව සුසිරන්ද සිල්වාගේ නාට්‍යයකත් රඟපෑවා.

කොහොම වුනත් ඇයි ටික දවසකට ටෙලි තිරයේ රඟපෑමෙන් ඉවත්ව සිටින්න තීරණය කළේ?

දිගටම නාට්‍ය වෙතින් මාව දැකගන්න ලැබුණා. වෙනස් චරිත කළත්, රංග ශිල්පියකු හෝ ශිල්පිනියක ජීවිතේ අලූත් දේ ගන්න, ඒ විවේකය අවශ්‍යයි. මේ නිසා මේ විවේකයේදී බාහිර ස්වරූපයේ සිට වෙනස් වී යළි අවතීර්ණවීම හොඳ බව මගේ අදහසයි.

ඔබ ඔබගෙ බාහිර පෙනුම සමබරව තබාගන්න උත්සාහ ගන්නෙ නැද්ද? ඒ වෙනුවෙන් ගත් විරාමයක්ද මේ?

බාහිර ස්වරූපය චරිතයකට අත්‍යාවශ්‍යම සාධකය නෙවෙයි. රංගනයේ දී අත්‍යාවශ්‍යම සාධකය වන්නෙ කුසලතාවයයි. පෙනුම තිබුණත් කුසලතාවය නැත්නම් වැඩක් නැහැ. ඒත් බාහිර පෙනුමත් වැදගත් වන අවස්ථා තිබෙනවා.

ඒ කියන්නෙ ඔබගෙ බාහිර පෙනුම ඔබගෙ රංගනයට බාධාවක් වුණේ නැද්ද?

මේ තාක් මේ ගමනට එය බාධාවක් වුණේ නැහැ. මාව අවශ්‍ය චරිතය සඳහා අවශ්‍ය නිර්මාණකරුවන් මාව ගන්නවා. මම ඊට උපරිම දායකත්වය ලබාදෙනවා. ඒත් චරිතය සඳහා බාහිර පෙනුම අත්‍යාවශ්‍ය චරිතයක් නම් මට ඒ වෙනුවෙන් කැප වෙන්නත් වෙනවා. එය කාලය අනුව සිදුවන දෙයක් වේවි.
නමුත් බොහෝ තරුණ රංගන ශිල්පිනියන් වයසින් මුහුකුරා ගිය චරිත නිරන්තරයෙන් තෝරා ගන්නෙ නැහැ.

ඒත් ඔබ ඊට වඩා වෙනස්?

මට වයස නෙවෙයි වැදගත්. මට ලැබෙන පරාසය තුළ කළ හැකි චරිතය පමණයි.

ඔබට රූපය වැදගත්ම නැද්ද?

මට අවශ්‍ය ඊට වඩා නිරෝගීකමයි. රූපය තිබුණත් නිරෝගී නැත්නම් වැඩක් නැහැ. එතැනින් එහා මම ජවසම්පන්නව රඟපානවා. මගේ රාජකාරිවල යෙදෙනවා. බටහිර රටවල පවා හැකියාවට මිස රූපයට මුල්තැන දීලා නැහැ. ඒ නිසා උදේ ඉඳන් මට රූපය ගැන හිත හිතා කාලය වැය කරන්න ඕනත් නැහැ.

අද දුලීකාගේ ජීවිතය ගැන කතා කළොත්? මොනවගේද ගෙවෙන්නෙ?

රංගන ශිල්පිණියක් කියා වෙනස් ජීවිතයක් මට නැහැ. සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය චරිතයක්. රඟපෑම ගැන කතා බහ වෙනවා ඇති. ඒත් මම මගේ ජීවන රටාව තුළ ඉඳගෙන මට ආවේනිකව වෙනස් විදියට ජීවත් වෙනවා ඇති.

මොකක්ද ඔබට ආවේනික ජීවන රටාව?

මම මනුස්සවාසයට ආසයි. පැවරී ඇති රාජකාරිවලින් මිදුණු අවස්ථාවලදී විශේෂිත අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් වැඩ කරනවා. බලය හැකියාව පහසුකම් අඩු ජනතාව වෙසෙන තැන්වලට ගිහිල්ලා හැකි විදියට උදව් කරනවා. මම හිතන්නෙ ඒක සමාජ වගකීමක්. එහෙම නැතිව කාගෙන්වත් ලකුණු දාගන්න නෙවෙයි. මේ සියල්ලට අමතරව පෞරෂ සංවර්ධන උපදේශිකාවක ලෙසත් කටයුතු කරනවා. රංග ශිල්පිනියක යනු නිරන්තර ඉගෙනීම් කරන කෙනෙක්. මගේ වැඩිපුර හැදෑරීම් කරන අතරේ, සමාජය වෙනුවෙන් ඉටුවිය යුතු දේත් සිද්ධවේවි. එය එක්තරා වගකීමක් ලෙසයි මම දකින්නෙ.

ඔබ මෙලෙසින් අදහස් දැක්වුවත්, අද නිළිය කියන සමහර අය ගැන සමාජය කතාවන්නෙ යහපත් දැක්මකින් නොවෙයි. ඇයි  එහෙම වෙන්න හේතුව?

එතැන වැරැද්ද තියෙන්නෙ මේ නිර්මාණකරණ අය අතරමයි. හුදෙක් වෙළඳ පරමාර්ථ සඳහා පමණක් අද පිරිසක් පැමිණ සිටිනවා. ඔවුන් නාට්‍ය නිර්මාණය කරනවා වෙනුවට කරන්නෙ නාට්‍ය ගහන එකයි. නිර්මාණ කිරීම හා ගහන එක අතර වෙනස බොහෝයි. ගණිකා වෘත්තියේ යෙදෙන අයත් ඒ ගහන නාට්‍යවලට අරගෙන. ඉතිං එයාලා ශිල්පිණියො නෙවෙයිනෙ. එයාලා මෙතැනට ඇවිත් එයාලගෙ වෘත්තියට වටිනාකමක් ගන්න හිතාගෙන කටයුතු කරනවා. එයාලා මෙතැනට ආවාට එයාලගෙ මුල් වෘත්තිය අමතක කරන්න බැරුව ඇති. ඇත්තටම එයාලා එනවත් නෙවෙයි. මෙතැනට ගෙනැත්දාලා.

පුරකලනි නාට්‍යයේ කතා වන්නෙත් මේ කතිකාවත නේද?

අද දක්නට ලැබෙන ඒ ව්‍යසනය ගැන අපූරුවට කතාවෙන නිර්මාණයක්.

Gossip Lanka Hot News Previous News Archive