මං ආදරේ කරපු කෙනෙක් හිටියා. දැන් නෑ. Chat With Maheshi Madushanka

කාලෙන් කාලේට අලුත් මූණු එන යන තැනක් තමයි පුංචි තිරය කියන්නේ. ඒ අතර සමහර මූණු කාලයත් එක්ක පුංචි තිරයට නැතිවම බැරි චරිත විදිහට ගොඩනැගෙනවා. අද අපේ ආලින්දයට ගොඩ වදින්නෙත් ඒ විදිහට පුංචි තිරයට ආවැඩූ චරියතයක්. පිපුණු මල්, මතු වරුසා වගේ ටෙලි නාට්‍ය තුළින් ජනප්‍රියත්වයට පත් ඇය මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වෙන චරිතයක් කියලා හැඳින්වුවොත් නිවැරදියි. කලක් ඕමානයේ අධ්‍යාපනය ලබා දේ පරිසරයට අනුගත වූවද ගැමි චරිතයන්ට මනාව පණ පොවන ඇය නමින් මහේෂි මධුශංකා.



සම්පූර්ණ නම

මහේෂා මධුෂංකා


උපන් දිනය

ඔක්තෝම්බර් 27


ලග්නය

වෘශ්චික


පදිංචිය

මහරගම


උස

5 ‘5



කාලෙන් කාලෙට අලුත් මුහුණු එන යන තැනක් තමයි පුංචි තිරය කියලා කියන්නේ. සමහර වෙලාවට මේ පුංචි තිරයට එන අලුත් මුහුණු පිළිබඳ කල්පැවැත්මේ පුංචි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි හැමදෙනාගේම බලාපොරොත්තුව මේ පුංචි තිරයට නැතුවම බැරි චරිතයක් වීම. මහේෂිටත් ඒ බලාපොරොත්තුව ඒ විදිහටම තියෙනවාද?

ඔව්

එහෙමනම් ඒ බලාපොරොත්තුවට තවත් රුකුලක් වෙන්න අපි සූදානම් අදත් අද දෙරණ ආලින්දය මේ සොඳුරු කතාබහ මේ ආකාරයෙන් ආරම්භ කරන්න. ආයුබෝවන් කියලා පිළිගන්නවා මහේෂිව දෙරණ ආලින්දයට.

* කොහොමද මේ දවස්වල ජීවිතය ගතවෙන්නේ?

මේ දවස්වල නම් කාර්යබහුලයි. නාට්‍යවල වැඩ කරමින් ඉන්නවා.


* එතකොට දැන් කලා ජීවිතයේ එහෙම වෙද්දී පෞද්ගලික ජීවිතය කොහොමද?

පෞද්ගලික ජීවිතයෙත් හොඳින් ඉන්නවා ගෙදර කට්ටියත් එක්ක.


* මහේෂි ඇත්තටම කලාවට මුලින්ම සම්බන්ධ වුණේ කොහොමද?

මං කලාවට සම්බන්ධ වුණේ ඉස්සෙල්ලාම ජීවිතය ලස්සනයි චිත්‍රපටයෙන්. සුදේශ් වසන්ත පීරිස් මහත්මයාගේ සහ සුනිල් ටී මහත්මයාගේ නිර්මාණයක්. පළවෙනි ටෙලි නාට්‍ය තමයි “මුතු වරුසා“ දෙවන ‍ටෙලි නාට්‍ය “පිපෙන මල්“ තුන්වෙනි ටෙලි නාට්‍ය “ඡායා“ හතරවෙනි ටෙලි නාට්‍ය “මීදුම් සේයා ඇවිදින්“


* අද වෙනවිට මේ ටෙලි නාට්‍ය ගණනාවම ඔස්සේ මහේෂි කියලා තියන්නේ පුංචි තිරයට නැතුවම බැරි චරිතයක් බවට පත්වෙලා තියෙනවා. ගොඩාක් දෙනා කතාබහ කරන චරිතයක් බවට මහේෂි පත්වෙලා තියෙනවා. රංගනය කියන්නේ මහේෂි වෘත්තිය විදිහට තෝර ගත්ත දෙයක් ද?

රංගනය වෘත්තියක් විදිහටත් තෝරා ගන්න පුළුවන්. දැනට මගේ වෘත්තීය රංගනය තමයි.


* ඒ කියන්නේ රංගනය තුළින් ස්ථාවරත්වයක් ගොඩනඟාගන්න පුළුවන් කියලා හිතෙනවාද? නැත්තන් වෙනත් වෘත්තියකට මාරු වෙනකන් දැනට වෘත්තීය විදිහට කරනවාද?

ඇත්තටම රංගනයෙන් කරන්නේ සල්ලි හම්බකරන එකම නෙමෙයිනේ. මම නම් මගේ පළවෙනි ටෙලි නාට්‍ය කරද්දී සල්ලි ගැන හිතුවේ නෑ. දැනට වුණත් එහෙම තමයි ඉතින්.


* දැනට වෘත්තිය විදිහට රංගනය කරනවා කියලා කිව්වා. එතකොට මුදල් කියන කාරණය ගැන එච්චර හිතන්නේ නැත්තන් වෘත්තීය කියන පැත්තට යම්කිසි අසාධාරණයක් වෙනවා කියලා කිව්වොත්...

මෙහෙමයි ඉතින්. වෘත්තියක් කියලා සල්ලි හම්බ කිරීමේ ප්‍රමාණයක් තියෙනවානේ. ඉතින් ඒ ප්‍රමාණය මම හම්බ කරනවා.


* ඒ කියන්නේ තමන්ට ජීවත් වෙන්න අවශ්‍ය ප්‍රමාණය හම්බකරගන්නවා. එතනින් එහා එච්චර ලොකු ගැටලුවක් මුකුත් නෑ.

නෑ


* දැන් අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ මොකටද? (ජීවත් වෙන්නේ සතුටින් ඉන්න.) කන්නේ බොන්නේ මොකටද? (ජීවත් වෙන්න) එතකොට ජීවත් වෙන්නේ කන්න කියලා කවුරු හරි කිව්වොත් ඒකට මොකක්ද දෙන උත්තරේ?

මෙහෙමයි. මගේ ඇඟ දැක්කම පේනවා ඇති මම නම් කන්නේ නෑ කියලා.


* ඒත් සාමාන්‍යයෙන් ක්ෂේත්‍රයේ හැම කෙනාම කියන දෙයක් තමයි මහේෂි හැම වෙලාවෙම දැන් මොනවා හරි කෑවනම් හොඳයි නේද කියලා නිතර කියනවා කියලා. මොකද මේ ගැන කියන්නේ?

මෙහෙමයි. අපේ අම්මා එනවා හැම ෂූට් එකකටම. අපේ අම්මා මට ගෙනත් දීලා තියෙනවා යෝගට්, චොක්ලට් වගේ දේවල්. චොක්ලට් මං කන්නේ නෑ. මං කැමතිත් නෑ චොක්ලට් කන්න. යෝගට් නම් මං කනවා. අම්මා තමයි ගෙනත් දෙන්නේ. ඊට අමතරව ප්‍රඩක්ෂන් එකෙන් ගෙනත් දෙනවා ඉතින්.


* ඒ කියන්නේ විනාඩි 10 ක විතර පොඩි බ්‍රේක් එකකදී.....
අපෝ නෑ. මේ දවස්වල මං රඟපාන පිපෙන මල්, මුතු වරුසා ටෙලි නාට්‍ය දෙකට තරම් අනිත් නාට්‍ය 2 ට මං මහන්සි වුණේ නෑ ඇත්තටම. මේ නාට්‍ය දෙකට මං කොච්චර මහන්සි වුණාද කියලා ම‍ගේ අම්මා දන්නවා. මොකද ලොකේෂන් තියෙන්නේ කඩවත, හලාවත වගේ ප්‍රදේශවල. ඇත්තටම ගොඩක් මහන්සි වෙනවා. ඔයාලා දන්නවත් ඇති මෙගා නාට්‍යවල රඟපාද්දි විනාඩි 10 ක බ්‍රේක් එකක් හම්බවෙන්නේ නෑ. එක දිගට අපි වැඩ කරගෙන යනවා. එතකොට කොහොමද එහෙම කනවා කියලා කියන්නේ?


* එතකොට නිකන් කන්න දුන්නේ නෑ වගේනේ....

කනවා අපි ලන්ච් බ්‍රේක් එකට කනවා.


* එහෙම නැතුව මේ නිවෙන්නේ නැති බඩගින්නක් එහෙම මුකුත් නෑ.

අනේ නෑ


* ඒ දේවල් ඒ විදිහට වෙද්දි කොහොමද පවුලේ විස්තර ....

අම්මයි තාත්තයි. මම පවුලේ එකම දරුවා. අම්මගේ පැත්තෙන් ආච්චියි සීයයි. තාත්තගේ පැත්තෙන් ආච්චි විතරයි ඉන්නේ.‍


* මහේෂි අධ්‍යාපනය හැදෑරුවේ මොන පාසලේද? කොහොමද ඒ කටයුතු සිද්ධ වුණේ?

මම අනුරාධපුර ස්වරණපාලි බාලිකා මහා විද්‍යාලයට ගියා. එතකොට මහනුවර හේමමාලි බාලිකා මහ විද්‍යාලයට ගියා. ඊට පස්සේ ඔමාන් පොලිලෝට් එකට ගියා.


* අධ්‍යාපන කටයුතු සඳහා ඔබ විදේශගත වෙනවා. ඒ ගැනත් පොඩි කතා කිරීමක් කරමු.

අධ්‍යාපනය සඳහාම නෙමෙයි ඇත්තටම විදේශගත වුණේ. මගේ අම්මයි තාත්තයි විදේශගත වුණා. ඒකත් එක්කම තමයි මමත් ඉතින් අම්මයි තාත්තයි ළඟට ගියේ.


* එතකොට ඒ විදේශ අධ්‍යාපනයත් එක්ක ඒ සංස්කෘතියත් එක්ක විශ්වාසයක් තිබුණ ද රංගනයට ඇවිල්ලා ගැමි චරිතයකට සියයට සියයක්ම සාධාරණත්වයක් ඉෂ්ඨ කරන්න පුළුවන්කමක් තියෙයි කියලා. ඔයා ජීවිතයේ වැඩි කාලයක් ගත කළේ ඕමානයේ. ඔයා කොහොමද ඒ වෙනස දකින්නේ?

මෙහෙමයි මං ඕමාන් නෙමෙයිනේ ඉපදුනේ. මං ඉපදුනේ ලංකාවේ. ඉතින් මං මගේ අම්මයි තාත්තයි එක්ක මං හැදුනේ වැඩුනේ ලංකාවේ. ඒ කියන්නේ අපේ සිරිත් විරිත් එක්කනේ. ඉතින් ඉස්සෙල්ලාම මං බලාපොරොත්තු වුණෙත් ගැමි චරිතයක් ඇත්තටම. මං කවද හරි කරනවා කියලා හිතන් හිටියෙත් ගැමි චරිතයක්. ඉතින් ඒක මට හම්බවුණා.


* රංගනය ආධුනිකයි. එකපාරට රංගනයට ආවට පස්සේ ගැමි චරිතයක් නිරූපණය කරන්න ලැබුණම ඒ ගැමිකම පුදුමාකාර දෙයක් බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ දැන් විදේශගත වෙලා. ඒ සංස්කෘතියත් අනුගත වෙලා. ඊට පස්සේ ආයෙත් මේ රටට ඇවිල්ලා. එහෙමයි මහේෂි මේ රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඒ ගැන පුංචි අභියෝගයක් එහෙමත් තිබුණද?

අභියෝගයක් තිබුණා. මොකද මේක ගැමි චරිතයක් වුණාට මේකේ තියෙන්නේ මේ චරිතය ගැන කතාකළාම ඔරු පදින්න වගේ ගෙදර තියෙන සියලුම වැඩ කරට අරගෙන අම්මට වැඩියෙන් ඒ ගෙදර වැඩ කරන්නේ පිපෙන මල් එකේ සමාධි. එතකොට ඒ සියලූම වැඩ මට කරන්න වුණා. ඔරු පදින්න මං ඇත්තටම දන්නේ නෑ. ඉතින් අපේ ප්‍රඩක්ෂන් එකේ හැම කෙනෙක්ම, ඒ කියන්නේ තිරයෙන් පිටුපස ඉන්න කාර්මික ශිල්පීන්, කැමරා ශිල්පීන් මට හුඟක් උදව් කරලා තියෙනවා.


* නිෂ්පාදන කණ්ඩායමට පිංසිද්ධ වෙන්න දැන් ඔරු පදින්න පුළුවන්. එහෙමද?

ඔව්


* පුංචි කාලේ ඉඳන් හීනයක් තිබ්බද මං කවදාම හරි දවසක නිළියක් වෙන්න ඕන කියලා?

මගේ බලාපොරොත්තුව තිබුණේ ගුවන් සේවිකාවක් වෙන්න. ඒක ඉතින් නැති වෙලා අද රංගනයට ඇවිල්ලා තියෙනවා.


* රංගනයෙන් පස්සේ කවදා හෝ දවසක ගුවන් සේවිකාවක් වීමේ සිහිනය සැබෑ කරගන්න බලාපොරොත්තුවක් තියෙනවාද?

නෑ


* එහෙම කිසිම බලාපොරොත්තුවක් නෑ....

නෑ


* දැන් වෘත්තියක් වශයෙන් නිළියක් විදිහට රංගන ශිල්පිණියක් විදිහට ඉදිරියට යන්නයි එකම බලාපොරොත්තුව...

ඔව්


* නිළියක් කිව්වම සමාජය විවිධ කෝණවලින් මේ පිරිස දිහා බලනවා. එතනදී ඇතැම් චරිත යම්කිසි හෑල්ලුවකට ලක්කරලා කතා කරන වෙලාවල් තියෙනවා. පිටින් ඉඳන් ඒ ගැන විචාර දෙන කෙනෙක්ට වඩා ඒ දේ නියැලෙන කෙනෙකුට ඒ පිළිබඳ වඩා හොඳ අවබෝධයක් තියෙනවා. මොකද කියන්නේ මේ චෝදනා ප්‍රතික්ෂේප කරනවාද? නැත්තන් ඒකේ ඇත්තක් තියෙනවා කියලා තමන්ට උචිත ප්‍රමාණය පමණක් තෝරගන්නවාද?

නෑ. ඒකේ ඇත්තකුත් තියෙනවා. නමුත් එහෙම කියන පිරිසව අපි ෂූට් එකක් කරද්දි ගෙනත් පෙන්නන්න ඕන මෙන්න මෙහෙම තමයි අපි වැඩ කරන්නේ කියලා. අපි කොච්චර දුක් මහන්සි වෙනවාද කියලා. මාව කලින් දැකපු කට්ටිය දැන් දකිනකොට අහනවා මොකද මේ වෙනස්වෙලා... මොකද මේ වෙලා තියෙන්නේ... කියලා. ඇත්තටම මං ගැනවත් මම හිතන්නේ නෑ. පිපෙන මල් නාට්‍යට මං සෑහෙන මහන්සි වුණා. හැබැයි මෙහෙමයි ඉතින්. වැරදි කරන පිරිසකුත් ඇති. නමුත් එහෙම රංගනය කියන දේ හැමකෙනෙක්ටම ලැබෙන්නේ නෑ. ඒකට වාසනාව සහ දක්ෂතාවය කියන දෙකම තිබිය යුතුයි. ජනතාවගේ ආදරය ලබන්න බෑ. හැමකෙනෙක්ටම එහෙම ආදරයක් ලැබෙන්නෙත් නෑ.


* දැන් ඔය කියපු විදිහට ගැමි පරිසරය තුළ අභියෝගාත්මක දේවල් අමතක නොවන දේවල් එමටයිනේ. පුංචි මතක් කිරීමක් කරමු.

අනතුරක් වෙන සිදුවීමක් තිබුණා. අපේ ප්‍රඩක්ෂන් එකේ කෙනෙක් වාහනය පැදෙව්වේ. ගයාන් වික්‍රමතිලක පස්සෙන් එනවා. මට දුවන්න තියෙන්නේ. මම අහක බල බල දුවනවා. ඒකේ ටේක් තුනක් හතරක් ගියා. හතර වෙනි එකේ මම වැටිලා තියෙන්නේ ඇත්තටම ඔළුව වැදිලා කලන්තේ දාලා. කට්ටිය දන්නේ නෑ. වෑන් එකට ගෙනිහින් දානකොට තමයි දන්නේ. ඊට පස්සේ ඇත්තටම හොස්පිට්ල් අරන් ගියා.


* අමතක නොවන අත්දැකීමුත් එමටයි. හැම ක්ෂේත්‍රයකම වගේ රංගයෙත් තරඟකාරිත්වයක් තියෙනවානේ. විවිධ චරිත අලුත් මුහුණු පුංචි තිරයට එනවා. ඒ තරඟකාරීත්වය ඔයා දකින්නේ කොහොමද?

මම අලුත් කෙනෙක්. මට ඉගෙනගන්න දේවල් ගොඩාක් තියෙනවා. තාම මං මේ ක්ෂේත්‍රයට ආපු පුංචි කෙනෙක් විතරයි. ඇත්තටම මට මුල ඉඳලම වැඩ කරන්න ලැබුණේ ප්‍රවීණයොත් එක්ක. ඒ හැමකෙනෙක්ම මට ආදරෙයි. මොකද මං ඒ හැම කෙනෙක්ගේම අවවාද පිළිගන්නවා. ඇත්තටම මං ගිහින් ප්‍රවීණයොත් එක්ක කතාකරනවා. අපිනේ ගිහින් කතාකරන්න ඕන. ඒගොල්ලේ අපි ළඟට එන්නේ නෑනේ කවදාවත්. එහෙම එන්න ඕනෙත් නෑ. ඉතින් එහෙම කරනකොට... අභියෝග කියන්නේ ජීවිතයේ හැමදෙයක්ම අභියෝගයක්. රඟපාද්දී නවකයින්ගෙන් ඇරෙන්න මට ප්‍රවීණයින්ගෙන්නම් කිසිම වෙලාවක ප්‍රශ්නයක් වෙලා නෑ.


* ඒ කියන්නේ නවකයින්ගෙන් පුංචි පුංචි ප්‍රශ්න කිහිපයක් වෙලා තියෙනවා. කියන්න පුළුවන් සීමාවට ප්‍රශ්න කියමුද?

නෑ ඉතින්. එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. අපිත් එක්ක එකට වැඩ කරන කට්ටිය මේ හිනාවෙලා හොඳට කතා කර කර ඉඳලා සමහර වෙලාවට හිතපූ නැති දේවල් කියනවා. ඒවා ඉතින් වැරදියි. මං නම් කාටවත්ම එහෙම කරන්නේ නෑ. මං මගේ පාඩුවේ ඉන්නේ. තමන්ගේ දේ කරගෙන ඉන්නවා. මේ ක්ෂේත්‍රයට තව කට්ටිය එන්න ඕන. මම අලුත් කෙනෙක්. ඉතින් මං වගේම තව අලුත් කට්ටිය ඉන්නවානම් හොඳයි.


* පුවත්පත්වලයි, අන්තර්ජාලයෙයි, ඇතැම් වෙබ් අඩවිවලයි පළ වෙලා තිබුණා කිහිප දෙනෙක් සමග පුංචි හිත් අමනාපකම් තියෙනවා කියලා. ඒ කියන්නේ ඒ කතාව ඇත්ත?

නෑ නෑ. අනේ නෑ. අමනාපකම් වෙලා නෑ. හිත් රිදවීම් වෙලා තියෙනවා. බැනගෙන එහෙම කවදාවත් නෑ.


* ඉතා කෙටි කලක් තුළ ආපු දුර ගැන ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම මම කරපු මේ නාට්‍ය ටිකෙන් මේ තරමට.... ජනප්‍රියත්වය නෙමෙයි. ජනප්‍රිය වෙන්න පුළුවන්නේ ඕන කෙනෙක්ට එයා නිළියක් කියලා. ගැහැණු ළමයෙක් ගැහැණු ළමයෙක්ට ආදරය කරනවා සහ පිරිමි ළමයි වුණත්. පාරට බැස්සම හැමෝම ආදරෙයි. ඇත්තටම මං හරි වාසනාවන්තයි. ගොඩාක් වාසනාවන්තයි ඒ වගේ මිනිස්සුන්ගේ ආදරය ලබන්න.


* ඒ ආදරය ලබපු මහේෂිගෙන් දැන් මං අහනවා සිංදු කියන්න පුළුවන්ද?

පුළුවන්

එහෙනම් වැඩසටහන අවසානයේ දී ඒකටත් අවස්ථාව තියෙනවා කියලා දැන්ම මතක් කිරීමක් කරා.


* මහේෂි මධුශංකා කියන චරිතය ප්‍රේක්ෂකයින්ට වඩාත් ළං වුණේ මොන චරිතය හරහා කියලද ඔයා හිතන්නේ?

ප්‍රේක්ෂකයින්ට වැඩිපුර ළංවුණේ තාරුකා සහ සමාධි කියන චරිත දෙකෙන්මයි. මොකද ඒ නිර්මාණ දෙකම එක ළඟ තමයි විකාශනය වෙන්නේ.


* සැබෑ ජීවිතයේ වැඩියෙන්ම සමීප මොන චරිතයද?

මං ආදරේ තාරුකාට


* ඒ කියන්නේ තාරුකායි සැබෑ ජීවිතයයි අතර එච්චර ලොකු වෙනසක් නෑ.

නෑ


* ඇත්තටම මහේෂි මධුශංකා කියන්නේ මොන වගේ චරිතයක්ද?

සැබෑ ජීවිතයේ තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්.


* දැන් ප්‍රේක්ෂකයෝ ගොඩාක් ආදරේ කරනවානේ මහේෂිට. මහේෂි ආදරය කරන කෙනෙක් නැද්ද?

මං ආදරේ කරපු කෙනෙක් හිටියා. මාත් එක්ක ඉගෙන ගත්ත කෙනෙක්. දැන් නෑ.


* ක්ෂේත්‍රයේ කෙනෙක් එක්ක නෙමෙයිනේ...

අ‍නේ නෑ. මං ක්ෂේත්‍රයේ කෙනෙක් එක්ක මේ තාක් කල් සම්බන්ධකමක් පටන් අරගෙන නෑ.


* හැබැයි ක්ෂේත්‍රයේ කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තා හා තවමත් පවත්වාගෙන යනවා කියලා ගොඩක් දේවල් ගොඩක් අය කියලා තිබුණා. ඒකට හරි උත්තරයක් දෙන්න වෙලාව තියෙනවා.

මං තාම රංගන ශිල්පියෙක් හෝ ගායන ශිල්පියෙක් එක්ක සම්බන්ධයක් පටන් අරගෙන නෑ. මොකද මං තාම ඒ කිසිකෙනෙක්ව අඳුරන්නේ නෑ. ඒක එක හේතුවක්. අනිත් එක දෙවෙනි හේතුව.. මේක ඇත්තටම මගේ මතයක්. වැරදි දෙයක්ද දන්නේ නෑ. වැරදි දෙයක්නම් සමාවෙන්න. මම කැමති මේ ෆීල්ඩ් එකේ නැති සාමාන්‍ය ජීවිතයක් ගතකරන උගත්, බුද්ධිමත්, මං වගේම පාඩුවේ ඉන්න කෙනෙක්ට.


* දැන් අපි කිව්වොත් එහෙම ප්‍රේමය ගැන මොන වගේ අත්දැකීමක්ද තියෙන්නේ කියලා... කලින් කෙනෙක් හිටියා කියලත් කිව්වා. දැන් කිසිම ගැටලුවක් නෑ කියලත් කිව්වා. බලාපොරොත්තුව ගැනත් කිව්වා. ප්‍රේමය ගැන තියෙන අත්දැකීම මොකක්ද? ගෙදරින් මොන වගේ දෙයක්ද කියන්නේ?

ගෙදරින් මුකුත් කියන්නේ නෑ. මට තාම වයස 20 යිනේ.


* අනාගතේ බලාපොරොත්තු තියෙනවානේ. එතනදී ගෘහණියක් විදිහට ඉන්න බලාපොරොත්තු වෙනවාද නැත්තන් ගෘහණියක් විදිහට ඉන්න ගමන් කලා ක්ෂේත්‍රයේ ඉදිරි ගමනක් යන්න බලාපොරොත්තු වෙනවාද....?

ඒක ඉතින් තීරණය වෙන්නේ විවාහ වෙන කෙනත් එක්ක. ඒ කෙනා මොන තීරණයක් දෙයිද දන්නේ නෑනේ.


* දැන් බඳින කෙනා හොඳ බුද්ධිමත් කෙනෙක් වෙන්න ඕන කියලත් කිව්වා. මං වගේ හොඳ නිහතමානී කෙනෙක් වෙන්න ඕන කියලත් කිව්වා. එහෙම කෙනෙක් කියයිද නෑ කලා ක්ෂේත්‍රයෙන් අයින් වෙලා ගෘහණියක් විදිහට ඉන්න කියලා.

කියන්නේ නැතිවෙයි නේද...

ඒ ගැන අපි ඒ වෙලාව ආවම කතාකරමු....



Hard Talk



* මහේෂි ඔයා හිතන්නේ ඔයා ජනප්‍රියයිද? ප්‍රසිද්ධයිද?

මං හිතන්නේ මං ජනප්‍රියයි


* ජනප්‍රියවෙන්න වැදගත් වෙන්නේ වාසනාවද? දක්ෂතාවයද?

දක්ෂතාවය (ඒ කියන්නේ වාසනාව අදාළ වෙන්නේ නෑ...? වාසනාව අදාළ වෙනවා. ඒත් වාසනාව වෙනස් වෙනවානේ. දක්ෂතාවය හැමදාම රඳාපවතිනවා)


* අමිල අබේසේකර, ධනංජය සිරිවර්ධන, සාරංග දිසාසේකර, රොෂාන් රණවන, හේමාල් රණසිංහ මේ අයගෙන් ඔයා කාත් එක්කද වැඩිපුරම රඟපාන්න කැමති?

අමිල අයියා


* ජීවිතයේ වැදගත් කියලා හිතෙන තැන්වල දී ජෝතිශ්‍ය විශ්වාස කරනවාද?

ඔව්


* මහේෂි මේ ලෝකේ වැඩියෙන්ම විශ්වාස කරන්නේ කාවද?

අම්මයි තාත්තයි


* ප්‍රේක්ෂකයින් වැඩියෙන්ම මහේෂිට කියනවා අහන්න කැමති මොකක්ද? ලස්සනයි, දක්ෂයි, අවංකයි, නිහතමානයි

නිහතමානියි


* කලාවට සම්බන්ධ අය රංගනය සහ දේශපාලනය යොමුවීම සාමාන්‍ය දෙයක්. ඔයාටත් ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් මොකද කරන්නේ?

අපෝ කවදාවත් නෑ


* මහේෂිට වරයක් හම්බවෙලා තියෙනවා ඔයාගේ රූපේ කැමති දෙයක් වෙනස් කරගන්න. ඔයා කැමති මොන වගේ වෙනසකටද?

කිසිම වෙනසක් නෑ


මේ හැමදේමත් එක්ක මහේෂිට මේ දක්වා අපු ගමනේ දී උදව් කරපු පිරිසක් ඇතිනේ. අවස්ථාව තියෙනවා ඒ අයට ස්තූති කරන්න...... !

ස්තූති කරන්න ගොඩාක් පිරිසක් ඉන්නවා. අමිල අබේසේකර, ලක්ෂ්මන් පුෂ්පකුමාර, රෝහණ, සුදේශ් වසන්ත පීරිස් කියන පිරිසට වගේම මගේ පවුලේ සියලූම දෙනා සහ මගේ අම්මා. මගේ තාත්තාගේ අකමැත්තක් තිබුණා මම රංගනයට පිවිසෙද්දී. ඒ හැමදේම බලාගත්තේ මගේ අම්මා වගේම ඉතාලියේ ඉන්න මගේ ආච්චී. ඒ අයටත් මං ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.
















Gossip Lanka Hot News Previous News Archive