සිනමාකැමරාව අභිමුවේ සිය ආත්මය විවර කිරීමට තරම් නිර්භයවූ සුමනා ගෝමස් සිංහල සිනමාවේ සරාඟී නිළි රැජින ලෙසද කිරුළ පැළදුවාය. උපන් බිමෙන් අෑත් වී ඇමෙරිකාවේ ජීවත් වන ඇය වසර 13කට පසුව නොබෝදා ලංකාව පැමිණි අවස්ථාවේ සුමනා ඇගේ ජීවිතය අපට විවර කළාය.
• ඉපදුණේ...?
දෙහිවල.
• අම්මා තාත්තා මොනවද කළේ?
මගේ අම්මා කිරිවත්තුඩුවේ ඥානවතී. තාත්තා පල්ලියවත්තගේ ඩේවිඩ් ගෝමස්. තාත්තා නගර සභාවේ ඕවර්සියර් කෙනෙක්.. අම්මා හෝමාගම කියන ගමේ ගොවි කාන්තාවක්.
• ළමා කාලයේත් දඟකාර චරිතයක්ද?
මට සහෝදර සහෝදරියන් හිටියේ හතර දෙනයි. අක්කලා දෙන්නයි. අයියලා දෙන්නයි. මම තමයි පවුලේ බාලයා. ඉගෙන ගත්තෙ කරගම්පිටියේ බෞද්ධ බාලිකා විද්යාලයේ. මිශ්ර පාසලක්. ඉතින් පිරිමි ළමයි එක්ක හැම තිස්සෙම රණ්ඩු කළා. මං ස්කෝලෙ ගිහින් ගෙදර එද්දී ගෙදරට පැමිණිලි එහෙමත් ඕන තරම් ඇවිත් තිබුණා.
• එහෙනම් ආදර සම්බන්ධතාවලත් පැටලෙන්න ඇති.
ඒ කාලේ නම් ආදරය ගැන තේරුමක් තිබුණෙම නෑ. පිරිමි ළමයි එක්ක රණ්ඩු වෙවී හිටිය එක තමයි කළේ.
• සිනමාවට සම්බන්ධ වුණේ?
මුලින්ම සම්බන්ධ වෙලා හිටියේ වේදිකාවට. ටවර් හෝල් නාට්ය යුගයට සම්බන්ධ වුණා. අක්කා තමයි මුලින්ම සම්බන්ධ වෙලා හිටියේ. එයාගේ තනි නොතනියට ගිහින් තමයි වේදිකාවට සම්බන්ධ වුණේ. විමලනාත් දිසානායකගේ කුණ්ඩලකේසී චිත්රපටයට නිළියක් ඉල්ලල පත්තරේ දැන්වීමක් දාල තිබුණා. ඉතින් මටත් ආස හිතිලා සම්මුඛ පරීක්ෂණයට ගියා. විජය කුමාරණතුංග, තිමති වීරරත්න වගේ අය පරීක්ෂණ මණ්ඩලයේ හිටියා. මට කිව්වා චරිතයක් කරලා පෙන්නන්න කියලා. මම වේදිකා නාට්යයක මම කරපු චරිතයක් කරලා පෙන්නුවා. මෙයා හරි දක්ෂයි, මෙයාව ගමු කියලා කිව්ව. ඒකෙ මම මාලනී ෆොන්සේකාගේ පළමුවැනි ප්රධාන සේවිකාව විදියට රඟපෑවා. එතකොට මං ස්කෝලෙ යනවා. ඒක තමයි මුල්ම වතාවට කැමරාව ඉදිරියේ රඟපාපු අවස්ථාව.
• සිනමාවට එද්දි ගෙදරින් බලපෑමක් ආවෙ නැද්ද?
මගේ අම්මා හරිම ලස්සන කෙනෙක්. කොණ්ඩෙ තිබුණා දණහිසෙනුත් පල්ලෙහාට. රුක්මනී දේවී රඟපාපු චිත්රපටයක් තිබුණා. අපේ අම්මා ඒ චිත්රපටියේ සම්මුඛ පරීක්ෂණයට යන්න හදද්දි අම්මාට ගෙදරින් යන්න දීලා තිබුණේ නෑ. එයා කල්පනා කරලා තියෙනවා, එයාගේ දරුවෙක් හරි රංගනයට යවනවා කියලා. මගේ අම්මයි, තාත්තයි දෙන්නම හොඳ අවබෝධයකින් හිටියේ කලා ක්ෂේත්රය ගැන.
• කාන්තා ගරුත්වය මහ ඉහළින් අගය කරන සාමාජයක සිනමාව වෙනුවෙන් අඩ නිරුවත් ජවනිකාවන් සඳහා පෙනී ඉඳීමේ අභියෝගය බාරගත්තෙ ඇයි?
මෙතන ලොකු පටලැවිල්ලක් අපේ සමාජයෙ තියෙන්නෙ. මම කවදාවත් නූල් පටක් නැතුව රංගනයේ යෙදිලා නෑ. මම කළ අඩ නිරුවත් දර්ශන සියල්ලම චිත්රපටයේ කතා තේමාවට අවශ්යයි. මම එහෙම කළේ සෙලෝලයිඩ් පටියට. එතැනින් එහාට මං ඒකට අදාළ නෑ. එතැනින් එහාට මමත් ගෙවල් ෙදාරවල් අතුගාගෙන ඉන්න සාමාන්ය ගැහැනියක් විතරයි. මට තේරෙන්නෙ නැත්තෙ ඇයි මේ සමාජයට ඒක තේරුම් ගන්න බැරි කියලා.
• ඔබට ඇගේ වෛරයෙන් ආරම්භ වන කාම චිත්රපට රැල්ලට සම්බන්ධ වෙන්න ලැබෙන්න කොහොමද?
සිනමා ක්ෂේත්රයේ කාලයෙන් කාලයට එක එක රැලි ආවා. කාලෙකදී කලාත්මක චිත්රපට ආවා. තවත් කාලෙකදි වාණිජ, විකට, ළමා චිත්රපට ආවානේ. එක්තරා කාලෙක සිනමාව වැටිලා තියෙද්දී අනෝජා වීරසිංහ රංගනයෙන් දායක වුණු දිවුරා කියන්නම් චිත්රපටයෙන් ලොකු ප්රබෝධයක් ඇති වුණා. ඊට පස්සෙ කාම චිත්රපට රැල්ලක් ආවා. ඒ චිත්රපටවලට මට මුලින්ම ආරාධනා කළේ සුනිල් ටී. ප්රනාන්දු. මුලින්ම හිටියේ චන්දි රසිකා. ඊට පස්සේ මට අඬගැහුවා එහෙම තමයි මම සම්බන්ධ වුණේ.
• නමුත් මේ කාම චිත්රපට රැල්ලෙන් සිනමාවට වුණු
යහපතක් නෑ කියලා කියන්නේ ඇයි?.
කවුද එහෙම කියන්නෙ මම මේ චිත්රපටවලට සම්බන්ධ වුණාට පස්සෙ මිනිස්සු හෝ ගාලා සිනමා ශාලාවලට ඇදෙන්න පටන් ගත්තා. කවුරු ෙදාස් කිව්වත් මගේ චිත්රපට ඔක්කොම BOX OFFICE තිබ්බා. ඒකෙන් වැටිලා තිබුණ සිංහල සිනමාව ගොඩ ආව. ඔය වගේ කතා කියන්නෙ රසිකයෝ නොවෙයි. කලාවෙම ඉන්න අය තමයි ඕවා කියන්නෙ. එක අවස්ථාවක් තබුණා. ධර්මසිරි බණ්ඩාරනායකගේ බවතරණය චිත්රපටය ප්රදර්ශනය වුණු කාලෙම මගේ රාගයේ උණුසුම චිත්රපටයත් තිරගත වුණා. ඉතින් බවතරණය දුවන්නෙ නැති වුණාම එයා ගිහින් චිත්රපට සංස්ථාවට කියනවා කාම රැල්ලේ චිත්රපට ඇවිත් මගේ චිත්රපටය දුවන්නේ නෑ කියලා. එහෙම කොහොමද දෝෂාරෝපණය කරන්නෙ. ඒක තීරණය කරන්න ඕන රසිකයන්නේ. මට පුළුවන්ද මගේ රසිකයන්ට කියන්න ඔයාලා මගේ චිත්රපටය බලන්න එපා ගිහින් "බවතරණය" බලන්න කියලා. ඒකෙන් තේරෙනවා නේද මේ කලා ක්ෂේත්රයේ ඉන්න මිනිස්සුම නේද මට ගල් ගහන්නෙ කියලා.
• ඔබටම එවැනි විවේචන එල්ල කරන්න හේතුව මොකක්ද?
හැම තැනම මගේ කටවුට්ස් තිබුණානේ. ඒකටත් ෆීල්ඩ් එකේ අය හරියට ලෙඩ දැම්මා. සාමාන්යයෙන් කටවුට් එකක් නිෂ්පාදකට ඕන විදියටවත්, නිළියට ඕන විදියටවත් ගහන්න බෑ. ඒකට චිත්රපට සංස්ථාවේ සභාපතිගේ අනුමැතිය ඕන. ඒ අනුමැතිය ලැබුණාම තමයි ඒ කටවුට්ස් එල්ලන්න පුළුවන්. අපේ ෆීල්ඩ් එකේ ඉන්න සමහර අයට මේක දැක්කම ඇස්වල කටු අනිනවා වගේ වුණා. "ළමයි ස්කෝලෙ යනවා, මේවා දකිනවා, අනාචාරයේ හැසිරෙනවා" වගේ දේවල් කියලා, පෙත්සම් ගහලා ජංජාල ගොඩක් කෙරුවා. එතකොට ළමයි නොමඟ යන්නේ, මගේ කකුලක්, අතක් දැක්කොත් විතරද? ළමයි නරක් වෙනවා නම් වෙන දේවල් ඇත්තෙම නැද්ද මේ රටේ.....?
• ජනප්රිය වුණාට පස්සෙ මොන වගේ ප්රතිචාරද ලැබුණේ?
ලැබුණු ප්රතිචාර බොහොම ඉහළයි. යුද හමුදාවේ විශාල රසිකයන් ප්රමාණයක් හිටියා. මගේ සහෝදර කලාකරුවෙක් වුණු අනුර බණ්ඩාර රාජගුරු එක පාරක් යාපනේ ගියා චෙරියෝ සාජන් නාට්යයත් එක්ක. ගිහින් ඇවිත් අනුර අයියා මට හිනාවෙලා කිව්වා 'උඹ නම් ඒ පැත්තෙ යන්න හිතන්නවත් එපා, ඔළුවෙ කෙස් ගහක්වත් බේරගන්න බැරි වෙයි කියලා. කෑම්ප්වල බිත්තිවල, සූට්කේස්වල හැමතැනම මගේ පින්තූර තිබිලා තියෙනවා. ඒ හැමෝගෙම මාතෘකාව වෙලා තිබුණෙත් මම. එච්චරට මට ප්රසිද්ධියක් තිබුණා. මම SHORT SKIRT එකක් ඇඳලා පින්තූරයක හිටියත් ඒ පත්තරේ හොයා ගන්නවත් බැරි තරමට විකුණුනා.
• ඒ තරම් ජනප්රිය වෙලා හිටිය වෙලාවේ ඇයි රට අත ඇරලා ගියේ?
මම මේ රටෙන් පිටත් වෙලා ගියේ මම ප්රසිද්ධියේ උපරිමයෙන් හිටිය වෙලාවේ. සාමාන්යයෙන් ප්රසිද්ධියේ උපරිමයේ ඉන්න කිසිම කෙනෙක් ඒ ප්රසිද්ධිය දාලා යන්න හිතන්නෙවත් නෑ. මං එහෙම රට ඇරලා ගියේ මේ රටේ ඉන්න බැරිකමටවත් මිනිස්සු මං ඉන්න ගෙදරට ඇවිත් මගේ ගෙදර කඩලවත් නෙවෙයි. මගේ යාළුවෙක් ගියා ඒ රටට. මං කිව්වා මාවත් කොහොම හරි ගන්න කියලා. චෙරියෝ සාජන්ට් ටීම් එකත් එක්ක අමෙරිකාවට ගිය වෙලාවේ මං යාළුවත් එක්ක නැවතුණා.
• නිළියක් විදියට ක්ෂේත්රය වෙනුවෙන් කරපු කැපවීම නිසා පෞද්ගලික ජීවිතයත් කැප කරන්න වුණා කියලා හිතෙන්නෙ නැද්ද?
මගේ පෞද්ගලික ජීවිතයට කිසිම හානියක් වුණේ නෑ. මං මොන චරිතය රඟපෑවත්, මගේ ගමේ පයින් ඇවිදගෙන යන්න පුළුවන්කම මට තිබුණා. බොහොම සාමාන්ය කාන්තාවක් විදියට මං ජීවත් වුණා.
• නමුත් ඔබේ විවාහ ජීවිතය ප්රමාද වෙනවා. බිරිඳක් මවක් විදියට සාමාන්ය පවුල් ජීවිතයක් ගත කරන්න බැරි වෙනවා. පසුතැවීමක් නැද්ද?
මං මගේ මුළු ජීවිතයම සිනමාව වෙනුවෙන් කැපකරපු කෙනෙක්. මං චිත්රපටයක් කළාම ඒ චිත්රපටය අනිවාර්යයෙන්ම BOX OFFICE කළා. මං ජීවිතය ගැන විවාහය ගැන හිතුවෙ නෑ. ඒ ගැන පසුතැවීමක් නැත්තෙ නෑ. නමුත් මං ඒ ගැන වැඩිපුර දුක් වෙන්න යන්නෙ නෑ. සිනමාවට දරුවෙකුට වගේ ආදරෙයි. මගේ දරුවෙක් මගේ කුසෙන් ආව නැති වුණාට මගේ සහෝදරයන්ගේ දරුවන්ට මං පණ වගේ ආදරෙයි.
• ඇයි විදේශිකයෙක් එක්ක විවාහ වෙන්න සිද්ධ වුණේ?
ලංකාවේ තරුණයෙක් අකැමැති නිසා නම් නෙවෙයි. නිළියක් කියන්නෙත් කාන්තාවක්. සුමනා ගෝමස් කියන නිළිය පැත්තකින් තිබ්බාම මටත් ඒක එහෙමම අදාළයි. ඕනම කෙනෙක්ගේ ජීවිතය වකවානුවෙන් වකවානුවට වෙනස් වෙනවා. විවිධ හැලහැප්පීම්වලට මුහුණ දෙනවා. පෙම්වතුන් වෙනවා. ඒ සම්බන්ධතා නැති වෙනවා. මටත් ඒ වගේ කාලයක් තිබුණා. රට ගියාට පස්සෙ හැලහැප්පීම් තිබුණා. රස්සාව කරද්දි අනිත් දේවල්වලට හිත යොමු කරන්නත් බෑ. ඒ රටේ රස්සාවක් නැතුව ජීවත් වෙන්නත් බෑ. ගෙවල් කුලී අද දුන්නෙ නැති වුණොත් හෙට එළියේ. බඳින්නෙත් නෑ කියලා හිතාගෙන ඉන්නකොට මගේ යාළුවෙක් ඉන්නවා INDIAN LADY කෙනෙක්. එයා කිව්වා එයාගේ යාළුවෙක් ගැන. වෙනසකටත් එක්ක මං ඒ යාළුවත් එක්ක එයාව බලන්න APARTMENT එකට ගියා. එයා ඒඵඪචද කෙනෙක් බඳින්න කැමැත්තෙනුත් හිටියේ. එහේ චෙෆ් කෙනෙක්. මාව දැක්කට පස්සෙ කසාද බඳින්න කැමැති කියලා මගේ යාළුවට දන්වලා තිබුණා. ඉතින් ගිය අවුරුද්දෙ ක්රිස්මස් දවසේ අපි දෙන්නා විවාහ වුණා.
• අවුරුදු දහතුනකට පස්සෙ ලංකාවට ආව වෙලාවෙ අපේ කලා ක්ෂේත්රය වෙනස් වෙලා කියලා හිතනවද?
මට නම් පේන විදියට දැන් කලාවක් නෑ. අද ඉන්න නළු නිළියන් ගැන පැහැදීමක් නෑ. වැඩිහිටි නළු නිළියන්ට ගරු කිරීමක් නෑ. ආවා ගියෝ කට්ටියක් තමයි ඉන්නෙ. ගොඩක් නිළියන් ක්ෂේත්රයට එන්නෙ ප්රසිද්ධ ව්යාපාරිකයන් අල්ලාගෙන කසාද බඳින්න බලාගෙන. මේ ඉන්න අයට වඩා පරණ නළු නිළියන්ට මම දහස් ගුණයක් ගරු කරනවා. කලාව වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැප කරපු නිළියන් ඉන්නවා. තිරයේ අපි රඟ දක්වපු දෙයින් පිටත එළියට ආවට පස්සෙ අපි නයිට් ක්ලබ් ගානේ ගියේ නෑ. අවුරුදු දහතුනකට පස්සෙ ඇවිල්ලත් මිනිස්සු තාමත් ඒ ගරුත්වය දෙන්නෙ ඒකයි.
• ජීවිතේ වැඩියෙන්ම සතුටුවුණු දවස මතකයිද?
මම විවාහ වුණු දවස සහ එයත් එක්කම අවුරුදු දහතුනකට පස්සෙ මගේ අම්මා නැවත දකින්න ලැබුණු දවස.
• වැඩියෙන්ම දුක් වුණේ...?
මගේ අම්මා ගැන මතක් වෙන හැම මොහොතකම දුක් වෙනවා.
• නැවත සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
මං මේ මාසෙ ආපසු අමෙරිකාව බලා යනවා. සුනිල් ටී. මහත්තයා එයාගේ චිත්රපටයක පොඩි චරිතයක් අලුතින් හදලා මං වෙනුවෙන්. මිනිස්සුන්ට මාව මතක් වෙන්නත් ඕන නිසා ඒ ආරාධනය පිළිගත්තා.
• අනාගත බලාපොරොත්තු මොනවද?
මගේ අම්මා මං ඉන්න රටට ගෙන්න ගන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ඇර මියයන තුරු මගේ මහත්තය ළඟින් ඉඳගෙන එයාට සලකන්න ඕන.
කතාබහ - සුභාෂිණී ගුණරත්න
උපුටා ගැනීම - මව්බිම පුවත්