තාම මට හරියන කෙනෙක් ලැබුණෙ නෑ - Chat With Tharushi Perera

 පවිත්‍රාට ලැබෙන්නේ මොන වගෙ ප්‍රතිචාරද?

හුඟක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. බොහෝ අය අගය කරනවා. හැබෑ තරුෂිත් ඒ වගේ වුණානම් කියලා සමහරු කියනවා. මාව දන්න අය කියනවා මගේ චරිතයත් ඊට ළඟින් යනවා කියලා.

ඇයි තරුෂි, පවිත්‍රාට සමානයි කියන්නෙ.

පෞද්ගලික ජීවිතේ මං හිතුවක්කාරයි. මට නරකයි, හානියක් වෙයි කියන දේදි එහෙම නොවෙන්න මං හිතුවක්කාර වෙනවා. වචනයක් අහන් නෑ, නරක නාමයක් ගාවගන්නෙ නෑ කියන හිතුවක්කාරකම ඇතිකර ගන්නවා. පවිත්‍රාට වගේ ස්ථිර අධිෂ්ඨානයක් මට තියෙනවා. මේ ක්‍ෂේත්‍රයට ආව දවස්වල මට ගොඩක් දෙනෙක් කියල තියෙනවා දුර ගමනක් යන්න පුළුවන් පෙනුමක්, දක්‍ෂතාවක් හොඳ ගුණාංග තියෙනවා කියලා. තවත් සමහරු කිව්වෙ ඔය හොඳ හැමදාම තියෙන්නෙ නෑ කියලයි. සමහරු ඉතින් වැරැදි හොයන්නත් බලාගෙන ඉන්නවනෙ. මම ඒ හොඳ දේවල් කල්පනා කොට අඩු කර ගන්නේ නැතිව පරිස්සම් කර ගත්තා.

ඔයත් එක්ක වැඩ කරන්න පහසුයිලු.


ඔව්. මාත් එක්ක වැඩ කරන්න හරිම පහසුයි කියල කියනවා. ඒ ගැන මට සතුටුයි. මං කාටවත් කරදරයක් වෙන්න කැමැති නෑ. මම මගේ වැඩේට අවංකයි. හරියටම කරනවා කියන විශ්වාසය මා තුළ තියෙනවා. අනෙක් එක මම කරන වැඩේට කැපවෙනවා. අධ්‍යක්‍ෂවරයාගෙ වගේම අනෙක් ශිල්පීන්ගෙත් ඔළුවට නිදහසක් ලැබෙන විදිහට කටයුතු කරන්න පුළුවන්නම් ගැටලු මතුවෙන්නෙ නෑ.

සමහරු කියනවා ඔයාව දකිනකොට අපේ සිනමාවෙ කලින් හිටපු නිළියක්ව මතක් වෙනවා කියලා.

සිනමාවෙ කලින් හිටපු නිළියක් ගැන මතක් වෙනව කියලත් කියනවා. සමහරු පුණ්‍යා හීන්දෙනිය ගැන මතක් කරනවා. ඒ ගැන මට හරිම සතුටුයි. මං රඟපාන චරිත නිසා එවැනි ප්‍රවීණ නිළියක් ගැන මතකයක් ඇතිවෙනවා නම් ඇත්තටම මට සතුටුයි. ඒත් මම ඒ හින්දා ඔළුව උදුම්මවා ගන්නේ නම් නෑ. එතකොට පණ්ඩිත පැත්තක්නෙ මතුවෙන්නෙ. ව්‍යාජ බවක්නෙ පේන්නෙ. මං එහෙම කෙනෙක් වෙන්න කැමැති නෑ.

මේ වෙනකොට නිළියක් විදියට ඔයාට මොකද හිතෙන්නෙ?


මම තාම ඉන්නෙ සුළු තැනක. මීටත් එහාට යන්නයි මට ඕනෑ. තව තවත් කියන දේ. අන්න ඒ වගේ හැඟීමක් මට තියෙන්නෙ. මේ දවස්වල රන්සිරිමල් ටෙලිනාට්‍යයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක මට ලොකු තෘප්තියක් තියෙනවා. අනුරසිරි හෙට්ටිගේ අයියගෙ තිර පිටපත වගේම ගයා රම්‍ය අල්විස් අයියාගෙ අධ්‍යක්‍ෂණයත්, සෙසු අයගේ සහයෝගයත් මට ලොකු පිටිවහලක් වුණා.

අධ්‍යක්‍ෂවරයෙක් හැටියට ගයා රම්‍ය අයියා මට ලොකු නිදහසකුත් ලබා දුන්නා. ඒ හැම දෙයකම ප්‍රතිඵල තමයි මේ ලැබෙන ප්‍රතිචාර. ඒත් මේ ප්‍රතිචාර ඔළුවට දාගෙන මං පණ්ඩිතකමක් ඇති කරගන්නෙ නෑ. එහෙම වුණොත් ඊළඟ රූප රාමුවලින් ඒක පේනවා. හොඳ ප්‍රතිචාර ලැබෙන තරමට අපි අපේ හිත පාවෙන්න දාන්න ඕනෑ. ඊට පස්සෙ ආයෙ අලුතෙන්ම පටන් ගන්න ඕනෑ. එහෙම නොවී අධි තක්සේරුවක් ඇති කරගත්තොත් ඒක අපරාධයක්. ටෝනි රණසිංහ, අනුලා කරුණාතිලක වගේ ප්‍රවීණයන් අදටත් වැඩ කරනකොට බලා ඉන්න ආසයි. ඒ අය මොනතරම් නිහතමානීද? මොන තරම් දක්‍ෂයිද? හරිම සාමාන්‍ය විදිහට අදටත් ඒ ගොල්ලො පොළොවෙ පය ගහල ඉන්නවා.

නිළියක් වෙන්න ඕනැයි කියලා හිතුණෙ පුංචි කාලෙ ඉඳලමද?


අනේ නෑ. පුංචි කාලෙ මට නිළියක් වෙන්න ඕනැයි කියල සිතුවිල්ලක්, හැඟීමක් තිබුණෙ නෑ. ඒත් සෙල්ලම් ගෙවල්වල කතන්දර කියල චරිත මවාගෙන ඉඳල තියෙනවා. කවදා හරි සැබෑ කරගන්න ඕනෑ සිහිනයක් නොවුණත් සමහරවිට යටි හිතේ මූලාරම්භයක් විදියට රඟපෑම කියන දේවල් තියෙන්නත් ඇති.

එතකොට ඔයා ඒ දවස්වල ආස කළේ කවුරු වෙන්නද?


ප්‍රවෘත්ති නිවේදිකාවක් නැත්නම් නැටුම් ගුරුවරියක් වෙන්න.

ඇයි එහෙම හිතුණෙ?

නාවලපිටිය මගේ ගම. මම ඉස්කෝලෙ ගියේ එහේ. ඒ කාලෙ චිත්‍ර, නැටුම්, සංගීතය විෂයයන් තුනටම මම හරිම ආසයි. ඒ වගේම දක්‍ෂයි. ඒත් විෂයක් විදියට හැදෑරුවෙ නර්තනය. ඒ හින්ද වෙන්නැති නැටුම් ගුරුවරියක් වෙන්න හිතුණෙ. ඒත් මම සිංදු කිව්වා. පත්තරවලට චිත්‍ර කතාත් ඇන්දා. මට හොඳට අඳින්න පුළුවන්. කොහොමටත් කලාවට සම්බන්ධ ගොඩක් දේවල් මගේ අතේ තියෙනවා. මහරගම පිළියන්දල පාරෙ 'සැලෝන් තරු' පටන් ගත්තෙත් ඒ හැකියාවන් එක්කයි.


එතකොට දැන් ගීත ගයන්නෙ චිත්‍ර අඳින්නෙ නැද්ද?

කම්මැළිකමට නිකන් ඉඳිද්දි චිත්‍ර අඳිනවා. මේ දවස්වල ප්‍රසංග වේදිකාවෙ සිංදුත් කියනවා. ඒත් ගායිකාවක් වීමේ හීනයක් නම් මට නෑ.

ඔයා ජීවිතේ බරපතල තීන්දු අරගෙන තියෙනවද?


බරපතළ තීන්දු මෑතක ඉඳන් ගත්තෙම නෑ. දැන් ඉස්සර තරම්ම හිතුවක්කාර දේවල් කරන්නෙ නෑ. ඒත් ඉතින් ඒවාගෙ තීන්දුවක් ගත්තොත් ඒ ලංකාවෙන් යනවා වාගෙ දෙයක් තමයි. වෙලාවකට එහෙම ආසාවකුත් ඇතිවෙනවා. ඒ කලකිරිල. එපාවෙලා එහෙම නෙවෙයි. ජීවත්වෙන රටාවෙ වෙනසක් ඕනැයි කියල හිතුණොත් තමයි.

"බිරියක් වෙලා පෙම්වතියක් වෙනවා"

ආදරය වාගෙ දේවල්වලදී ඔයා හිතුවක්කාර වෙලා නැද්ද?


මම ගැන කතා කරනවා නම් ආදරය නෙමෙයි විවාහය ගැනනෙ කතාකරන්න වෙන්නෙ. පෙම්වතිය වෙලා ඊට පස්සෙ බිරියක් වෙන එකට වඩා බිරියක් වෙලා පෙම්වතිය වෙන්නයි මට පුළුවන්. ඒත් තාම මට හරියන කෙනෙක් ලැබුණෙ නෑ. ගෙදරින් නම් කියනවා. අම්මා ඒ ගැන උනන්දුයි. ඒත් මම කියන්නෙ හරි කෙනෙක් ලැබුණොත් අම්මාට සතුට දෙන්න පුළුවන්. වැරැදි කෙනෙක් ලැබුණොත්. ඒ සතුට දෙන්න බැරිවෙයිනෙ කියලයි.

ඔයාගෙ ජීවිතයට ආදරය ගැන අත්දැකීම් ලැබිලම නැද්ද?


ලැබිල තියෙනවා. ඒත් ඒවා අතීතයේ දේවල්නෙ.








Gossip Lanka Hot News Previous News Archive