මම වැරදි නෑ... ඔප්පු කරන්න සුදානම් - Chief Justice Shirani Bandaranayake

දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ආණ්ඩුවේ නියෝජිතයින්, චෝදනා කීපයක් සම්බන්ධයෙන් තමන් වැරදිකාරිය ලෙස ප්‍රකාශ කර තිබුණද, එම වාර්තාව එළිදැක්වූ සැනින් තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට තමන් සූදානම් යැයි අගවිනිසුරු ආචාර්ය ශිරාණී බණ්ඩාරනායක මහත්මිය පවසා ඇත.

දෝෂාභියෝග චෝදනාව එල්ල වීමෙන් පසුව පළමුවැනි වරට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ජනමාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ බව අවධාරණය කර ඇත.


අගවිනිසුරුවරිය වෙනුවෙන් ඇගේ නීතිඥයන් විසින් නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට රජයේ පාර්ශ්වයෙන් එක් වූ නියෝජිතයන් වාර්තාවක් සකස් නොකළ බවයි.

විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් මෙම කාරක සභාවෙන් ඉවත් වූ නිසා ඔවුන්ගේ අදහස් වාර්තාවට ඇතුළත් කිරීමට අවස්ථාවක් නොවීම නිසා පූර්ණ වාර්තාවක් සකස් නොවුණු බව එහි දක්වා තිබේ.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය දෝෂාභියෝගයෙන් එල්ල කළ 1, 4 සහ 5 වැනි වගන්තිවලට වැරදිකාරිය වූ බවත්, 2 සහ 3 වැනි වගන්තිවලට නිවැරදිකාරිය වූ බවත්, චෝදනා විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අයත් රජයේ සාමාජිකයන් ප‍්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කළද, කමිටුවට අයත් වූ රජයේ සාමාජිකයන් විසින් ඉදිරිපත් කළ සාක්ෂි පිළිබඳ වාර්තාව අගවිනිසුරුතුමියට තවමත් නොලැබුණු බව මෙම නිවේදනයේ දක්වා තිබේ.

එසේම ඉතාම ඉක්මනින් සහ හදිසියෙන් මෙන්ම අගවිනිසුරුතුමියට නොදන්වා ඇය නොමැතිව මෙම සාක්ෂි විමසීම කර ඇති බවද යම් ආකාරයකින් තමන්ගේ නීතිඥයන් ඉදිරියේ සාක්ෂිකරුවන්ගෙන් හරස් ප‍්‍රශ්න ඇසීමට අවස්ථාවක් ලැබුණේ නම් සාක්ෂිවල ඇති අසත්‍යතාව ඔප්පු කිරීමට හැකියාවක් තිබූ බවද නිවේදනයේ දැක්වෙයි.

එසේම රජයේ නියෝජිතයන් විසින් සිදු කළ තේරීම් කාරක සභාවේ කටයුතු මූලික සිද්ධාන්ත බිඳිමින්, අසාධාරණ ලෙසත්, නිවැරදි කි‍්‍රයාවලියක් අනුව නොයමින් සිදු කළ බවත්, සාක්ෂිකරුවන්ගෙන් හරස් ප‍්‍රශ්න ඇසීමට අගවිනිසුරුතුමියගේ පාර්ශ්වයට අවස්ථාවක් නොදෙමින් සිදුවූ බවත් නිවේදනයේ දක්වා තිබේ.

ඒ අනුව වාර්තාව ඉදිරිපත් වූ වහාම එහි ඉදිරිපත් කර ඇති කරුණු අසත්‍ය බවත් සියලු චෝදනා සම්බන්ධයෙන් තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට අගවිනිසුරුවරිය සූදානමින් සිටින බවත් එම නිවේදනයේ තවදුරටත් සඳහන් කර ඇත.

Gossip Lanka Hot News Previous News Archive