අලුත්කඩේ ව්‍යාපෘතියත් එන්.ජි.ඕ. කුමන්ත්‍රණයක් !! Dr Gunadasa Amarasekera

දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර
ශ්‍රී ලංකාවට එරෙහි විදේශ බලපෑම් සහ රට අස්ථාවර කිරීමේ ප්‍රයත්නයන් ගැනත්, 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත්, අගවිනිසුරුතුමියට එරෙහි දෝෂාභියෝගය ඇතැම් දෙස් - විදෙස් බලවේග විසින් දේශපාලනිකව යොදා ගැනීම ගැනත් දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර සමඟ කළ සංවාදයකි.

* ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය පරාජය කිරීම ගැන ඇතැම් ජාත්‍යන්තර බලවේගවලට, සමහර බලවත් රටවලට ඇති වේදනාව රටට එල්ල වන බලපෑම්වලින් පෙනෙනවා. ඔබ මේ කාරණය විග්‍රහ කරන්නෙ මොන විදිහටද



යුද්ධය නිමාවීමටත් කලින් ඉඳන්ම අමෙරිකාව සහ බටහිර රටවල් අපේ රටට බලපෑම් එල්ල කළා. මුල පටන්ම ඔවුන් උත්සාහ කළේ සාම ක්‍රියාදාමය කියල එකක් හදලා රට දෙකඩ බෙදන්න. ටෝකියෝ, ඔස්ලෝ ආදී සාකච්ඡාවල තේරුමත් මේකයි. ඒ වැඩේ වෙනව නම් ලොකු ණයක් අපට දෙන්නත් මේ අය ඉදිරිපත් වුණා.

මේ ක්‍රියාවලිය පිටුපස ඉන්දියාව පවා සිටියා. අවසාන වශයෙන් මේ හරහා අපේක්ෂා කළේ ඊළාමය කියල නොකිව්වත් උතුර සහ නැගෙනහිර ප්‍රභාකරන්ට අවශ්‍ය පාලනය හදල දෙන එකයි. ඔවුන්ට ඕනෑ කළේ රටෙන් කොටසක් ප්‍රභාකරන්ට දෙන්න. ඒ සඳහා ඔවුන් මතයකුත් හැදුවා, ශ්‍රී ලංකා රජයට ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය කළ නොහැකියි කිව්වා. හොඳම දේ වෙනම පාලනයක් දෙන එක කියල කිව්වා.

මහින්ද රාජපක්ෂ මහතා 2005 දී ජනාධිපතිවරණයට තරඟ කරන කොට ප්‍රභාකරන් උතුරේ මිනිස්සුන්ට ඡන්දය දෙන්න එපා කිව්වෙ ඔහු බලයට පත් වුණොත් යුද්ධය දිනන්න පුලුවන්ය කියල කල්පනා කළ නිසා. ප්‍රභාකරන්ට ඕන කළේ මේක යුද්ධයෙන් අතට ගන්න ඉන්දියාවට වෙනම න්‍යාය පත්‍රයකුත්, අමෙරිකාව සහ බටහිරට වෙනම න්‍යාය පත්‍රයකුත් තිබුණා.

මේ රට බෙදලා තම තමන්ගේ දේශපාලන වුවමනාකම් ඉටුකර ගන්නයි ඔවුන්ට ඕන කළේ. ඒ නිසා මේ ක්‍රියාවලිය පිටුපස තිබුණේ අන්තර් ජාතික දේශපාලනයයි. මේක චීනයට එරෙහි බටහිර ක්‍රියාදාමයේම එක් අවස්ථාවක්. මේ රටේ පය ගැහුවොත් තමන් ට මේ කලාපයම පාලනය කරන්න පුලුවන් බව ඔවුන් දන්නවා. විශේෂයෙන් එමඟින් චීනයට බලපෑම් කිරීමට ඔවුන් කල්පනා කළා. චීනය තමන්ගේ සතුරා නිසා ඉන්දියාවත් මේකට උදව් දුන්නා.

හැබැයි, මේ කවුරුත් නොසිතූ දෙයක් වුණා. ප්‍රභාකරන් ඉවර කරලා ශ්‍රී ලංකාව යුද්ධය අවසන් කළා. එතැන් පටන් මේ බාහිර බලවේග තමන්ගේ ගමන් මඟ වෙනස් කළා. රටට එරෙහිව දේශපාලන බලපෑම් එල්ල කිරීම සිදුවුණේ ඊට අනුවයි. ඔවුන් නොයෙක් දේවල් කියන්න පටන් ගත්තා. යුද්ධයේ අවසන් වකවානුවේ ශ්‍රී‍ ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කළා කිව්වා. හැබැයි අවුරුදු 30ක් තිස්සේ ප්‍රභාකරන් මේ රටේ මිනිසුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කර තිබීම මේ අය ප්‍රශ්න කළේ නෑ. ත්‍රස්තවාදය පරාජය කිරීමේදී ඇති වූ සුළු සුළු දේවල් තමයි ඔවුන් ලොකු කළේ.

* 13 වෙනි සංශෝධනයට එරෙහිව ඔබ ප්‍රබල ස්ථාවරයක සිටිනවා...?


යුද්ධයෙන් කරගන්න බැරිවුණ දේ 13න් කර ගන්නයි හදන්නෙ. ඒක එක පියවරක්. ඊළඟ පියවර තමන් කියන දේ අහන්නෙ නැතුව මේ යුද්ධය කළ ජනාධිපති, ආරක්ෂක ලේකම් සහ හමුදා නායකයන් යුද අධිකරණයට ගෙනියන එකයි. මේ වැඩේ මීට කලින් සූඩානයෙදි අත්හදා බලල තිබුණා. ඉස්සෙල්ල කරන්නෙ රට බෙදන එක. ඊළඟට ඒ දෙක අතර ගැටුමක් හැදෙනවා. එතැනදි ජනමත විචාරණයකට යන්න එක කට්ටියක් බය ගන්වනවා. එමඟින් වෙනම රාජ්‍යක් හදනවා. ඔමාර් අල් බෂීර් ජනාධිපතිවරයාට අදටත් රටින් පිටවෙන්න අමාරුයි. යුද අපරාධ චෝදනා දාලා අත්අඩංගුවට ගන්න බලාගෙන ඉන්නවා.

මෙහෙත් මේ වැඩේ තමයි 13 දීලා කරන්න හදන්නෙ. 13 යටතේ කොහොම හරි පොලිස් බලතලත් දුන්නාම සම්බන්ධන් වගේ දේශපාලනඥයො එහෙ වෙනම රාජ්‍යය හදනවා. ඊට පස්සෙ ගැටුමක් එනවා. මැදිහත් වෙන්න බලාගෙන ඉන්න අයට මේ ගැටුම් අවශ්‍යයයි. ඒක පාවිච්චි කරලා ජනමත විචාරණයකට යන්න කියල බය කරනවා. ඊළඟට වෙනම කොටසක් දෙන්නයි වෙන්නෙ.

පසුගිය මාර්තු මාසයේ ජිනීවා නුවරදී දිගහැරුණෙත් මේ සැලැස්මේ කොටස්. මානව හිමිකම් කඩවූ බව, යුද අපරාධ සිදුවූ බව කියමින් පරීක්ෂණ ඉල්ලුවා. ඊලඟ මාර්තුවේ මේක තවත් වටයකින් ඉදිරියට ගන්නවා. පසුගිය දවසක හියුමන් රයිට්ස් ක්‍රයිසිස් ග්‍රෲප් එකේ ඇලන්ඩීන් වැදගත් ප්‍රකාශයක් කළා. ඔහු කියනවා, බය වෙන්න එපා අද, හෙට නොවුණත් තව අවුරුදු 20කින් හරි අපි මේක කරනවා කියලා. ඒ කියන්නෙ මේ යුද අධිකරණයට ‍ෙගනියන කතාව. මේකට අවශ්‍ය පසුබිම තමයි.

* වසරක, දෙකක කාලය ඇතුළත යම් යම් සිද්ධීන් හා තත්ත්වයන් උපයෝගී කරගනිමින් මේ බලවේග රටට බලපෑම් ඇති කළා. ඒවාත් මේ සැලැස්මේම කොටස් ලෙස හඳුනාගත හැකිද?


නිදහස් වෙළෙඳ කලාපයේ සිද්ධිය, මන්නාරමේ ධීවර උද්ඝෝෂණය, සරත් ෆොන්සේකා, ඉසෙඩ් ස්කොර් ප්‍රශ්නය කියන සැලසුම් සහගත සිද්ධි දාමයේ අලුත්ම එක තමයි අලුත්කඩේ වසන්තය. මේ හැම තැනකම සිටියෙ,ඉන්නෙ එන්.ජී.ඕ, ආණ්ඩු විරෝධීන්, අමෙරිකා සහ බටහිර ගැත්තන්. අලුත්ම එක ගත්තොත් මේ දෝෂාභියෝග ප්‍රශ්නය. මේක හරියට විභාග කරන්න කියලා අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව, යුරෝපා සංගමය බලපෑම් කරනවා.

පළමු පියවර හැටියට බය කරන්න හදනවා. බය කරලා හරි 13 ගත්තොත් දෙවෙනි පියවරට යන්න පුලුවන් බව මේ අය දන්නවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නෙ මේ තර්ජනවලට බයේ හරි, ආධාර කොන්දේසිවලට යටවෙලා හරි 13 දෙන්න ගියොත් වෙන්නෙ තමන්ගේ වළ තමන්ම කපා ගැනීමයි. 13 දෙන්න කියන අය කියන්නෙ බය නැතුව මේක දෙන්න. එතකොට ප්‍රශ්නෙ ඉවරයි කියලා. හැබැයි අපි කියන්නෙ නෑ ප්‍රශ්නෙ ඉවර නෑ ප්‍රශ්නෙ පටන් ගන්නෙ එතැනින්.

* තමන්ට අවනත නොවන පාලනයක්, නායකයන්, ඉවත් කිරීම සඳහා අමෙරිකාව සහ බටහිර බලවතුන් රෙජීම් චේන්ජ් වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඔබ එය පැහැදිළි කරන්නෙ කොහොමද?


ඊජිප්තුව, ලිබියාව, ඉරාකය, ඇෆ්ගනිස්තානය ආදී තැන්වල ඔවුන් කළේ ඔය වැඩේ තයි. මේ හැම තැනදීම ඔවුන් සාර්ථක වුණා. හැබැයි ඊශ්‍රායලය සම්බන්ධයෙන් මේක කරන්න තවමත් බැරි වුණා. මොකද, ඊශ්‍රායලය ඉන්නෙ ඔවුන් සමඟ නිසාත් ඊශ්‍රායලය ඔවුන් කියන දේ අහන්නෙ නැති නිසාත්, සිරියාවෙන් තවම මේක කරගන්න බැරි වුණා.

මං හිතන්නෙ රුසියාව සිරියාවට අාධාර කිරීම නිසා මේ වැඩේ අසීරුයි. ලංකාවෙත් කරන්න හදන්නෙ මේකම තමයි. හැබැයි, මං හිතන්නෙ නෑ අපි මේ භයානක පින්තූරය තවමත් අපේ රටේ ජනයාට පෙන්වලා තියෙනවයි කියලා පාලකයොත් මේ ගැන කට ඇරලා කියන්න ඕන. මේ පිංතූරය හරියට පෙන්නන්න ඕන. එතකොට තමයි මේ ගැන ජනතාව හරියාකාර තේරුම් ගන්නෙ.

* මෙතැන තවත් කාරණයක් තියෙනවා. මේ විදිහට අස්ථාවර කරල විනාශ කරල දාන බොහෝ රටවල් වසර 4000 - 5000 තවත් ලිඛිත ඉතිහාසයක් ඇති රටවල්. මේ වැඩේ කරන රටවලට වසර 400 - 500 තවත් ඉතිහාසයක් නෑ...?


ශිෂ්ටාචාර සංහාරයක් නෙ මේ කරන්නෙ. වසර දහස් ගණනක ඉතිහාසයක් තියෙන මේ රටේ මිනිස්සුත් මේ දිහා උදාසීනව බලාගෙන ඉන්නවා. එහෙම වෙලා තියෙන්නෙ මේ හරි පින්තූරය මිනිස්සු දැක නැති නිසා. අපි ඒක පෙන්නන්න ගියාම අපිට විනාශකාරී අදහස් ඇති ජාතිවාදියො කියල ලේබල් ගහනවා. නමුත්, අපි මේ ඇත්ත මිනිස්සුන්ට පෙන්වා දිය යුතුයි.

අරාබිකරයෙ මුල්සිම් ශිෂ්ටාචාරය වනසමින් තිබෙනවා. ඉරානයටත් නුදුරේදී අත තියන්න වෑයම් කරනවා. බොහෝ විට පලස්තීනය හරහා ඒ වැඩෙත් කරගන්න බලයි.

හැබැයි මෙතැනදි මෙහෙ සහ මේ වෙනස්කම් ඇති වූ රටවල් අතර වෙනසකුත් තිබෙනවා. ඒ තමයි, ඔය බොහොමයක් රටවල සිටියෙ ඒකාධිපති, වංචනික, දුෂ්ට පාලකයන් වීම. ඒ අය ගැන ජනතාවට කළකිරීමක් තිබුණා. බාහිර බලවේග ඒ තත්ත්වය මෙතැනදි පාවිච්චි කළා.

* ලංකාව තුළ අපි අලුත්ම උදාරහණය ගත්තොත්, අගවිනිසුරුතුමියට එරෙහි දෝෂාභියෝගය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ගැටුමක් ලෙස හා නීතියේ පාලනය බිඳවැටීමක් ලෙසත් අර්ථ නිරූපණය කිරීමේ වෑයමක් තිබෙනවා. ඔබ මෙය කාහොමද දකින්නෙ?


පළමුවැනි කාරණය තමයි, එවැනි කිසිම ගැටුමක් නෑ. අගවිනිසුරුතුමියට එරෙහි දෝෂාභියෝගයක් ගෙනාවයි කියලා නීතියේ පාලනය බිඳවැටීමක් වෙලත් නෑ. ඇත්තටම, අපට කියන්න තියෙන්නෙ ඕනෑනම් මේකෙන් නීතියෙ පාලනය ස්ථාපිත වුණා කියලා. දෙවැනි කාරණය, මේක සිදුවුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවයි.

78’ ව්‍යවස්ථාව කුණුහරුපයක් වෙන්න පුලුවන්. ජේ.ආර්. මේ ව්‍යවස්ථාව හදල විනිසුරුවරු 8 දෙනෙක් ගෙදර ඇරියා, කවුරුවත් කට හෙලෙව්වෙවත් නෑ. මේක කුණු හරුපයක් වුණත් අවුරුදු 30ක් තිස්සේ තවමත් මේක මේ රටේ ව්‍යවස්ථාව. එතකොට මේක වෙලා තියෙන්නෙත් මේ ව්‍යවස්ථාවට අනුකූලවයි.


* දෝෂාභියෝග සිද්ධියේදී වගේම අන් ඕනෑම අවස්ථාවකත් රටට අත පෙවීමට බාහිර බලවේග ඉඩ නොලැබෙන පරිදි ක්‍රියාකිරීමේ අවශ්‍යතාව ඔබ පැහැදිළි කරන්නෙ කොහොමද?


දැන්, මේ අවස්ථාව ගත්තොත් අගවිනිසුරුතුමියට මුලින්ම වුණත් කරන්න තිබුණේ, දැන් හරි කරන්න තියෙන්නෙ තමන්ගේ ආත්ම ගෞරවය රැකගෙන පුටුවෙන් නැඟිටින එකයි. එහෙම නැතිව දේශපාලන කරළියට ඒම නෙවෙයි. මේ වෙන විදිහට වුණොත් අවසාන වශයෙන් මේ ප්‍රශ්නය සතුරන් අතට යනවා.

අපට අගවිනිසුරුතුමියගෙන් ඉල්ලන්න තියෙන්නෙ ඒ පාප කර්මයට හවුල්වෙන්න එපා කියලයි. අනෙක, දැන් ඔය නීතිඥයො කිහිප දෙනෙක් කෑගහනවනෙ මේකෙන් අධිකරණයට බලපෑමක් වුණා කියලා. ඕවාට ඇහුම්කන් දෙන්න තරම් මේ රටේ පොදු ජනයා මෝඩ නෑ. මේ අයට පුළුල් ජනමතයක් ගොඩනඟන්නත් බෑ. ඕන නම් ඉහළ පැළැන්තියේ ඉංගිරිසි කතාකරන, ඉංගිරිසි පත්තර බලන අතළොස්සකට ඔය පණිවිඩය දැනෙයි. එපමණයි.

 උපුටා ගැනීම -  දිනමිණ

Gossip Lanka Hot News Previous News Archive