යුරෝපයේ ගණිකා වෘත්තියට එරෙහි කාන්තාවන්ගේ ලොබිය - The European Women's Lobby (EWL)

යුරෝපයෙන් ලිංගික නිදහස තුරන් වෙයිද?

 ලිංගික නිදහස මෙන්ම මුදලට ලිංගික සේවා සැපයීම පිළිබඳ යුරෝපීය රටවල පැවති කතිකාව මේවන විට අලුත් මුහුණුවරක් ගෙන තිබේ. ඒ මුදලට ලිංගික සේවය සැපයීම තහනම් කරන ලෙසට විටෙන් විට කෙරෙන ඉල්ලීම් හේතුවෙනි. ඉකුත් සතියේ මේ පිළිබඳ වඩා අවධානයට ලක්වූයේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරනා සංවිධාන 200 ට වැඩි පිරිසක් යුරෝපීය සංගමයෙන් කරන ලද ඉල්ලීමක් හේතුවෙනි. ලිංගික සේවා සැපයීමට අදාළව නව නීති සම්පාදනය කොට ක්‍රියාත්මක කළ යුතු බව මෙම කාන්තා සංවිධානවල අදහසවී ඇත. ඉකුත් බදාදා දිනයේ මෙම විරෝධතාකරුවන් විසින් බ්‍රසල්ස්වල පිහිටි යුරෝපීය පාර්ලිමේන්තුවට නව නීති සම්පාදනයකට අදාළ ප්‍රතිපත්තිමය කරුණු ගණනාවක් ප්‍රකාශයට පත්කර තිබේ.


යුරෝපා සංගමයේ සාමාජිකයින්ගේ ඡන්දයෙන් වසර 5 ට වරක් තේරීපත්වන යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් කුමන ක්‍රියාමාර්ගයක් ගනීද යන්න පිළිබඳ මෙතෙක් නිශ්චිත කරුණු අනාවරණය වී නැත. එහෙත් මුදලට ලිංගික සේවය ලබාදීමට එරෙහි ව්‍යාපාරයේ විරෝධතාකාරිණියන්ට ස්වකීය අරගලය සම්බන්ධයෙන් නිශ්චිත අරමුණක් ඇති බව පැහැදිලිය.

"Prostitution is a form of violence"

"ගණිකා වෘත්තීය කියන්නේ ප්‍රචණ්ඩත්වයේ එක් ආකෘතියක් "

 එය ලිංග භේද නොසැලකීමේ ආචාර ධර්මයට බාධා කරනවා පමණක් නෙවෙයි,අපරාධ වර්ධනයට රුකුලක් වෙනවා"කාන්තා සංවිධානයක ප්‍රකාශිකාවක බී.බී.සී පුවත් සේවයට සඳහන් කර ඇත. එහෙත් මුදලට ලිංගික සේවා සැපයීම යන කාරණය හුදෙක් මතුපිටින් සලකා බලා විරෝධය පළකිරීම නිරර්ථක ක්‍රියාවක් බව ඇතැමුන්ගේ අදහසයි. මන්දයත් මතුපිටින් පෙනීයන කාරණාවන්ට වඩා ලිංගික වෙළඳපොළ යනු සමාජීය සංස්කෘතික කාරණාවන් බොහොමයක් සමග බැඳී පවත්නා සැඟවුණු සමාජ යථාර්ථයක් බව ඔවුන් පෙන්වාදෙයි.

යුරෝපීය කාන්තාවන්ගේ ලොබිය (EWL)ගණිකා වෘත්තියට එරෙහි මෙම විරෝධතා ව්‍යාපාරයේ නායකත්වය දරයි. දැනට ලිංගික සේවා සපයන ලිංගික ශ්‍රමිකයින් එයින් මුදවාලීමේ වැඩපිළිවෙළකින්ද යුතුවූ ලිංගික සේවා සඳහා තහංචි පැනවීමේ නීති ගෙන ආ යුතු බවට ඔවුන් විසින් අවධාරණය කරයි. ඒ සඳහා මූලික වශයෙන් ප්‍රතිපත්තිමය කාරණා 6 ක් ඔවුන් විසින් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්ය.

" මුදල් ඉපයීම වෙනුවෙන් ලිංගික සබඳතා පැවැත්වීම ප්‍රචණ්ඩත්වය වර්ධනය වීමේ එක් ආකෘතියක් බවත්, අපරාධ සම්බන්ධයෙන් සලකා බලන විට එය නොතකා නොහළ යුතු වැදගත් කාරණාවක් බවත් අප වටහා ගත යුතුයි." යුරෝපීය කාන්තාවන්ගේ ලොබිය වෙනුවෙන් එහි මාධ්‍ය ප්‍රකාශිකා පීරෙට්ටේ පෙපේ බී.බී.සී පුවත් සේවයට පවසා ඇත.

" අප එය තේරුම් ගන්නේනම් පිරිමින් හා ස්ත්‍රීන් අතර ලිංගික සමතුලිතතාවට ගරු කිරීමටත්, සම්පූර්ණ ප්‍රතිපත්තිමය වෙනසකට පුද්ගලයින්ගේ මානසිකත්වය වෙනස් කරන්නට හා ඒ වෙනුවෙන් කටයුතු කරන්නටත් අපට පුළුවන්" පීරෙට්ටේ පෙපේ පෙන්වාදෙයි.

“යුරෝපීය කාන්තාවන්ගේ ලොබිය” ප්‍රධාන වශයෙන් කටයුතු කරන ස්වීඩනයේ වත්මන් ස්වරූපය කෙරෙහි අවධානය යොමුකිරීමෙන් තමාට සාර්ථකත්වය අත්පත් කරගත හැකි බව ඔවුන්ගේ අදහසයි. ස්වීඩනයේ වීදි ගණිකා වෘත්තිය තහනම් කොට මේවන විට දශකයක් පමණ ගතවී ඇත. එහි වීදි ගණිකා වෘත්තීය දරුණු අපරාධයක් ලෙස සැලකෙන බැවින් මේ වන විට සමාජය තුළ එකී අදහස පැළපදියම් වී තිබේ. එහෙත් ඊට ප්‍රතිපක්ෂව නෙදර්ලන්තයේ මුදලට ලිංගික සේවා සැපයීම වඩා නීත්‍යනුකූල කර ඇතිවා පමණක් නොව ලිංගික ශ්‍රමිකයින්ගේ තත්ත්වය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක්ද ක්‍රියාවට නංවා ඇති බව පෙපේ සඳහන් කරයි.
ඒ නිසාම ර‍ටේ සුවිශේෂී නීති වෙනුවට ජාත්‍යන්තර මට්ටමින් මෙම ලිංගික වෙළඳපොළ පාලනය කිරීම‍ට නීති රෙගුලාසි හඳුන්වාදීමේ වැදගත්කම ඇය අවධාරණය කරයි.

"මේක දේශපාලන හා භූගෝලීය සීමාවන් අභිබවා ගිය ප්‍රශ්නයක්. ගණිකා වෘත්තියට අදාළ කර නොගන්නේනම් මිනිස් ජාවාරම් පිළිබඳ යුරෝපා සංගමයේ ප්‍රතිපත්ති වැඩදායක වෙන්නේ නෑ"ඇය කියා සිටියි.
"ස්ත්‍රීන් හා ළමුන්ගේ ලිංගික සූරාකෑමේ පාරජාතික අපරාධ සඳහා කටයුතු කිරීමට ශක්තිමත් නීතිමය පදනමක් වේවි" මේවන විට යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 36 දෙනකු මෙම යෝජනාවලියට සහය පළකර ඇති බව ඇය තවදුරටත් කියා සිටියාය.

එසේ වුවද මෙම යෝජනාවලියට විරුද්ධ අදහස් පළකරන උදවිය කියා සිටින්නේ ලිංගික සේවා තහනම් කරනු ලැබුවහොත් ස්ත්‍රී දූෂණ හා අපරාධවල වර්ධනයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.
ලිංගික ක්‍රියා ව්‍යාපෘති පිළිබඳ එක්සත් රාජධාණි ජාලය (The UK Network of Sex Work Projects (UNSWP) මෙම නව යෝජනා මගින් ගණිකා වෘත්තියට දැඩි පහරක් එල්ලවන බව පෙන්වාදෙයි.

" මෙසේ ‍සම්පාදනය කරනු ලබන නීතිමය හා ප්‍රතිපත්තිමය වාතාවරණය තුළින් ලිංගික ශ්‍රමිකයින් වඩා නින්දිත තත්ත්වයට පත්කරනවා. ඒ හේතුවෙන් ඒ අයට සහයදීම අසීරු කරනවා" UNSWP සංවිධානය බී.බී.සී සේවයට පවසා තිබේ.

"මෙමගින් ලිංගික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව හා අයිතිවාසිකම් උල්ලංඝණය වෙනවා. යුරෝපා සංගමය මෙම නීති හා යෝජනා ප්‍රතික්ෂේප කළ යුතුයි. ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනයවීම වැළැක්වීමේ මුවාවෙන් තවත් ප්‍රචණ්ඩ ක්‍රියා හා අපරාධවලට උඩගෙඩිදීම නොකළ යුතුයි. සමාජ තත්ත්වයන් පහත නොදැමිය යුතුයි. ලිංගික ශ්‍රමිකයින්ට එරෙහිව අපරාධ නොකරන තැනට අපරාධ විනිශ්චය බලධාරීන් තමන්ගේ සීමාව ස්ථානගත කරගත යුතුයි."UNSWP සංවිධානය පෙන්වාදෙයි.

නෙදර්ලන්තය,ඕස්ට්‍රේලියාව,ජර්මනිය යන රටවල මුදලට ලිංගික සේවා සැපයීම නීත්‍යනුකූලව ලියාපදිංචි කර තිබේ. ඒ අනුව ලිංගික ශ්‍රමිකයින්ට අනෙක් වෘත්තිකයින්ට සේම වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු පොදු පිළිගැනීමක් ජීවන තත්ත්වයක් හිමිය. මෙහෙව් පසුබිමක් තුළදී “යුරෝපීය කාන්තාවන්ගේ ලොබිය” ප්‍රධාන කරගත් කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් හඬනඟන සංවිධාන විසින් ගෙන යන අරගලයේ අනාගතය කෙබඳු වේදැයි තාමත් අනාවැකි පළ කළ නොහැකිය.

BBC ඇසුරිණි.
(Ada derana)

Gossip Lanka Hot News Previous News Archive