බත්තරමුල්ල වෝටර්ස්එජ් හි නව පාවෙන අවන්හලක් - Floating Restaurant in Battaramulla Water's Edge

බත්තරමුල්ල වෝටර්ස්එජ් හි නව පාවෙන අවන්හලක් (Floating Restaurant) පෙරේදා (22) සන්ධ්‍යාවේ රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත විය.
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සේවාවනිත ඒකකයේ සභාපතිනි අයෝමා රාජපක්ෂ මහත්මිය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් මාෂල් රොෂාන් ගුණතිලක මහතා සහ ගුණතිලක මහත්මිය, හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) සෝමතිලක දිසානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා, ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හර්ෂණ ද සිල්වා මහතා සහ එම මහත්මිය ඇතුළු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා වෝටර්ස්එජ් හෝටල් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාග වී සිටියහ.


සංචාරක කර්මාන්තය දියුණු කිරීමට සහ කොළඹ නගරයේ දර්ශනීය ස්ථාන සඳහා සංචාරක ආකර්ෂණය වැඩි කිරීම වෙනුවෙන් මෙම පාවෙන අවන්හල නිර්මාණ කාර්යයට දායකවී ඇත්තේ, ශ්‍රී ලංකා නාවික හමුදාවයි.

නාවික හමුදාවේ වෙරළ ආරක්ෂක කුඩා යාත්‍රා නිෂ්පාදන ව්‍යාපෘතිය (off shore patrol construction project) මගින් දේශීය නිර්මාණ සැලසුමකට අනුව රුපියල් මිලියන් 18.3 ක වියදමකින් නිර්මාණය වන මෙම පාවෙන අවන්හල සහිත යාත්‍රාව දිගින් අඩි 51 සහ පළලින් අඩි 31 ක් වේ. 36 දෙනෙකුට පහසුවෙන් අසුන් ගත හැකි අතර 55 දෙනෙක් දක්වා පිරිසකට (කාර්ය මණ්ඩලය හැර) උත්සව අවස්ථාවකට සහභාග වීමේ හැකියාව පවතී.

අශ්වබල 115 ක බලය සහිත පිටත සවිකරන (Out Board Motor ) එන්ජින් දෙකකින් බලගැන්වෙන මෙම යාත්‍රාව සඳහා කිලෝවොට් 12.3ක ධාරිතාවයකින් යුත් විදුලිජනක යන්ත්‍රයක් මගින් බලය සැපයේ.

නාවික හමුදාවේ සුළු නිලධාරියෙක් ඇතුළු 10 දෙනෙක් ගෙන සමන්විත කාර්ය මණ්ඩලයකින් යාත්‍රාවේ නඩත්තු සහ පාලන කටයුතු සිදු කෙරෙන අතර සංග්‍රහ කටයුතු සහ අවන්හල කටයුතු වෙනුවෙන් සුපවේදියෙකු ඇතුළු හෝටල් කාර්ය මණ්ඩලයකින් ද සමන්විත මෙම අවන්හලේ සියලුම උත්සව කටයුතු සංවිධානය ඇතුළු සියලුම කළමණාකරන කටයුතු සිදුකෙරෙන්නේ වෝටර්ස්ඒජ් හොටල් කළමණාකරන සමාගම මගිනි.

මෙය ජනතාවට නව අත්දැකීමක් නව මුහුණුවරකින් ලබා දීමට හැකි අවස්ථාවක් බවත්, ඉතා පහසු මිළ ගණන් යටතේ ඔවුන් පාවෙන අවන්හලේ සේවය මහජනතාව වෙනුවෙන් විවෘත කරන බවත් වෝටර්ස්එජ් හෝටලයේ සාමාන්‍ය අධිකාරි තුසිත් සමරවීර මහතා පවසයි.

සෑම සිකුරාදා සෙනසුරාදා සහ ඉරිදාවකම සවස 3 සිට 6 දක්වා එක ගමන් වාරයක් පැයක් බැගින් වන ගමන් වාර තුනක් දිනකට සංවිධානය කර ඇති බවත්, මෙම දර්ශනීය පරිසරයේ සුවය විඳීමට පැමිනෙන ජනතාව වෙනුවෙන් අවස්තාව සලසා ඇති බවත් ඔහු සදහන් කරයි.

එයට අමතරව සංචාරකයන් ආකර්ෂණය කරගැනීම වෙනුවෙන් මෙන්ම දේශීය පිරිස් වෙනුවෙන් මෙම පාවෙන අවන්හලේ බටහිර සංගීතය ප්‍රනීත ආහාර පාන සහිතව විශේෂ රාත්‍රී සංචාර සංවිධානය කර ඇති බවත්, එයට අමතරව තමන්ගේ කැමැත්ත අනුව ඉතා පහසු මිලට තම උත්සව අවස්ථාවන් සංවිධානය කිරීමට ඔවුන් සුදානම් බවත් අවශ්‍ය වෙන්කර ගැනීම් සඳහා පහසුකම් සලසා ඇති බවත්, දුරකථනයෙන් (2864864) හෝ වෝටර්ස්එජ් ආයතනය වෙත පැමිණීමෙන් ඒ පිලිබදව වැඩිවිස්තර ලබාගත හැකි බවත් තුසිත් සමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියි.















Gossip Lanka Hot News Previous News Archive