අභියෝග කළොත් මමත් අතහරින්නේ නෑ...
විටෙක ඔහු මෝස්තර නිරූපණ ශිල්පියෙක්. තවත් විටෙක රංගන ශිල්පියෙක්. ඒ සියල්ල අභිබවා යන නර්තන ශිල්පියකු ලෙසද ඔහු බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණ චරිතයක්. මනා කඩවසම් පෙනුමකින් හෙබි ඔහු නමින් හේමාල් රණසිංහය. අද දවසේ අපි හේමාල් සමග ටිකක් කතාබහ කරන්න අදහස් කළා.
මේ දවස්වල මොනවද කරන්නේ ?
හිරු ටීවී නාලිකාවේ ආදරය සම්බන්ධයෙන් වැඩසටහනක් කරගෙන යනවා.
සුපර් සික්ස්වලින් පසුව නැවත සිනමාවට ආරාධනා ලැබුණේ නැතිද?
සුපර් සික්ස්වලින් පසුව ඊළඟට ලැබුණු ආරාධනාව තමයි ප්‍රවේගය කියන චිත්‍රපටය. ශ්‍රී ලාංකීය සිනමාවට තිළිණ කරන ක්‍රියාදාම ඝනයේ චිත්‍රපටයක්. මෙහි වැඩකටයුතු මේ වන විට අවසන්. චිත්‍රපටය එළිදැක්වීම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. මොකද ලංකාවේ මේ වෙනකොට පවතින සිනමාශාලාවල චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට නිෂ්පාදකවරුන්ට පෝළිම්වල ඉන්න වෙලා තියෙනවා.
දැන් නළුවෙක් කියලද හිතන්නේ ?
මම හිතන්නේ නැහැ මම නළුවෙක් කියලා. ජීවිතය කියන්නේ එක්තරා විදිහක වේදිකාවක්. ඉතිං එතැනදී අපි හැමෝම නළුවෝ.
නළුවෙක් වෙන එක ලෙහෙසිද ?
නළුවෙක් වෙන එක ලෙහෙසි නැහැ. මම නළුවෙක්ද කියලා මම දන්නේ නැහැ. මේ ක්ෂේත්රයට ඇතුළත් වුණේ මට කරකියා ගන්න දෙයක් නැතිව නෙමෙයි. ඉන් අදහස් කරන්නේ නැහැ අනිත් ඉන්න අය කරකියාගන්න දෙයක් නැතිව මෙතැනට ඇවිත් ඉන්නවා කියලා. මම සැලකිය යුතු වැටුපක් ලැබුණු ඉතාමත් හොඳ රැකියාවක නියුතු වුණ කෙනෙක්. ආසාව නිසයි මේ ක්ෂේත්රයට ආවේ.
මේ සියලු දේවල් ලැබුණේ රියෑලිටි තරුවක් වූ නිසානේ ?
නැහැ. මම රියෑලිටි තරුවක් වෙන්න කලින් නිරූපණ ශිල්පියෙක් විදිහට වැඩකළා. 2007 වසරේදී තමයි මගේ ගමන ආරම්භ වන්නේ. ලංකාවේ තරග දෙකක් සහ ජාත්‍යන්තර තරගයකදී පළමු තැන ලබාගන්නවා. ඒ වගේ වටපිටාවක ඉඳගෙන තමයි රියෑලිටිකරණයට පිවිසුණේ.
ඔබ නර්තන ශිල්පියෙක් නෙමෙයි ද?
මම නර්තන ශිල්පියෙක් නෙමෙයි. මම ඕල්රවුන්ඩර් කෙනෙක්.
ඕල්රවුන්ඩර් කෙනෙක් වෙන්න හැමදේකින්ම හැකියාවන් පෙන්වලා තිබෙනවාද?
මම හිතනවා, ඒ හා සම්බන්ධව යම්තාක් දුරට සාර්ථකයි කියලා. හැබැයි සර්වසම්පූර්ණයි කියලා හිතන්නේ නැහැ. නමුත් ඒ ඒ ව්‍යාපෘතීන්වලට ඊට සාධාරණයක් ඉටුකරලා තියෙනවා කියලා හිතනවා.
පෙනුම රැකගන්න මහන්සි වෙනවා කියන්නේ ?
ඒක බොරු කතාවක්. පෙනුම ගැන ලොකුවට හිතන කෙනෙක් නෙමෙයි. මට දෙයක් ලැබිලා තියෙනවා නම් ඒ දේ ලැබුණේ දෙමවුපියන්ගෙන්. පෙනුම කියන දෙය හැමදාමත් තියෙන දෙයක් නෙමෙයි. ඒ යථාර්ථය තේරුම් අරගෙන ජීවත්වෙන මිනිහෙක් හැටියට මම හමේ ක්‍රීම් ගාන කොල්ලෙක් නෙමෙයි.
පෙනුම තිබූ පමණින් නළුවෙක් වෙන්න පුළුවන්ද?
මම හිතන්නේ නැහැ පෙනුම තිබූ පමණින් නළුවෙක් වෙන්න පුළුවන් කියලා. අද ලංකාවේ ජීවත්වෙන අපි දැකලා තියෙන ගොඩක් ජනප්‍රිය චරිතවලට ලොකු පෙනුමක් තියෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. පෙනුමට වඩා මම හිතන්නේ දක්ෂතාව වැදගත් කියලයි.
මේ ලැබෙන ජනප්‍රියත්වය විඳදරා ගන්න පුළුවන්ද?
මම ප්‍රසිද්ධිය සහ ජනප්‍රියත්වය කියන දෙය අඳුරගෙන ජීවත්වෙන කෙනෙක්. මට අදාළ නැහැ මම ප්‍රසිද්ධද ජනප්‍රියද කියන එක ගැන. මට අවශ්‍ය ජනප්‍රිය වෙන්න. හැබැයි ඒක විඳදරාගන්න බැරි දෙයක් නෙමෙයි.
ජනප්‍රියත්වය පුද්ගලිකත්වයට බාධාවක්ද ?
පුද්ගලිකත්වයට බාධාවක් වෙන අවස්ථා තිබෙනවා. ඒ අවස්ථාවලදී මම එය පාලනය කරගන්න නෙයෙකුත් ක්‍රියාමාර්ග ගන්න සිද්ධවෙලා තියෙනවා. කිසිම කෙනෙක් මගේ පුද්ගලිකත්වයට ඇඟිලි ගහනවාට මම කැමැති නැහැ. මගේ ජීවිතය මට ඕනෑ විදිහට පාඩුවේ ගෙවන්න කැමැති කෙනෙක්.
නිරූපණ ක්ෂේත්රයේ ඔබට අභියෝග නැතිද ?
මට නිරූපණ ක්ෂේත්රයේ අභියෝග නැහැ. මම කාටවත් අභියෝගයක් කරන්න කැමැතිත් නැහැ. හැබැයි නිරූපණ ක්ෂේත්රය හැම තත්පරයෙන් තත්පරයම වෙනස් වන දෙයක්. මගේ ජීවිතයේ හොඳම කාලයේ නිරූපණ ක්ෂේත්රයේ යමක් කරලා තියෙනවා. අභියෝග කළොත් මම අතහරින්නේ නැහැ.
දිනේෂ් විතාන
ඡායා - ලක්මාල් ස්පෙන්සර්, Divaina news