මං දිව්‍ය ලෝකේ යනවාමයි - Minister mervyn silva



එතුමා යටතේ මම යුව රජ කෙනෙක් තමයි…, මම මේ මනුෂ්‍ය ලෝකෙ හිටියා ඇති

 

මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා හමුවීමට බම්බලපිටියේ ගාලූ පාර අයිනේ පිහිටි ඔහුගේ අමාත්‍යාංශයට අපි ගියෙමු. අමාත්‍යවරයාගේ නිල කාමරය දෙවොලක් බඳුය. බුද්ධ රූපද, දේව රූපද එක් පසෙකය. අමාත්‍යවරයාගේ දකුණු පසින් දුටුගැමුණු රජතුමාගේ යෝධ සිතුවමක්ද වම් පසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක්ද වෙයි. හඳුන්කූරු දුමාරය නිසා දෑස දැවිලි දෙයි. ඔව්. කතාබහ අපි එතැනින් පටන් ගනිමු.


ප‍්‍රශ්නය: ඇමැතිතුමනි, ඔබේ නිල කාමරය හරිම අමුතුයි. ඇයි මෙහෙම පරිසරයක්.

පිළිතුර: ඒක ඉතින්…… දැන් ඔයා පිටිපස්ස හැරිලා අර කවුළුවෙන් බලන්න. ඔබට පේන්නේ මුහුද. ඒකේ පරක් තෙරක් නෑ. මේ මහා සාගරයේ ලූණු රස විතරයි තියෙන්නේ. මේවා සොබා දහම නිර්මාණය කරපු දේවල්. අපේ ජීවිතක් එහෙම තමයි. අවසානයක් නෑ. අවසානයක් දකින්න නම් තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් හරි ළං කර ගන්න. එහෙම බිඳක් ලංකර ගත්තොත් කාලයක් යනකොට අපට පුළුවන් වෙනවා ඒක මහ වැස්සක් කර ගන්න. එහෙම වුණොත් අපට පුළුවන් සතුටෙන් ඇස් දෙක පියා ගන්න. නිවන් දකින්න නම් මනුස්ස ලෝකයෙම උපදින්න ඕනෑ. දෙවියන්ට නිවන් දකින්න බෑ. ඒ නිසා තමයි මම මේ කාමරය මෙහෙම හදා ගත්තේ. බුදු සරණ හැර වෙන සරණක් ලෝකයේ නෑ. ඊළඟට විෂ්ණු කතරගම, ගණ දෙවියෝ මං ළග වැඩ ඉන්නවා. දුටුගැමුණු රජතුමා මේ පැත්තෙන් ඉන්නවා. රට එක්සේසත් කරපු මහ රජ කෙනෙක්. මේ පැත්තේ ඉන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. හයවැනි පරාක‍්‍රමබාහුට පස්සේ රට එක්සේසත් කළේ එතුමා. පල්ලෙහා පින්තූරයේ ඉන්නේ රාජපක්ෂ පවුලේ ලොකු අයියා. අපේ රජතුමාගේ ලොකු අයියා චමල්. ඒ වාසනාවන්ත දරු උපතක් සමග තමයි කාර්යශූර ප‍්‍රතාපවත් ප‍්‍රඥාවන්න දරු පරපුරක් ඒ පරපුරෙන් බිහිවුණේ. ඒ ඔක්කොම බලලා තමයි මම මේ කාමරය හදා ගත්තේ.

ප‍්‍රශ්නය: සෑම වංචනිකයෙක්ම ආගම සැරසිල්ලක් බවට පත්කර ගන්නා බවට කියමනක් තිබෙනවා. ඔබ එයින් වෙනස් වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද?

පිළිතුර: මමනම් ඒක විශ්වාස කරන්නේ එක එක මෝඩ මිනිස්සු කියපු කතා විදියටයි. ඔය කතා පොත්වලත් ලියවිලා ඇති. සමහර මාධ්‍යවේදීන් ඒ මෝඩ කතා කියලා වැදගත් මාධ්‍යවේදයත් මෝඩ කරනවා. එහෙම නම් ඉතින් බුදුහාමුදුරුවන්ටත් රහතන් වහන්සේලාටත් එහෙම කියන්න ලෑස්ති වුණානම් බුද්ධාගම නෑනේ. අනිකුත් ආගමික ශාස්තෘවරුන්ටත් එහෙම කිව්වානම් ඒ ආගම් නෑ. අනේ මට පුළුවන්නම් ඔය කතාව කියපු එකා හොයලා දෙන්න. අඩු තරමින් හොම්බට දෙකක් අනින්න.

ප‍්‍රශ්නය: ඔබේ ඇමැතිකමට නිශ්චිත විෂය පථයක් නෑ. ඔබ තරහා කර නොගෙන තියා ගන්න මොනවා හරි අටමගලයක් අටවලා දුන්නා කියලා ඔබ හිතන්නෙ නැද්ද?

පිළිතුර: එහෙම හිතන්න බෑනේ. මගේ අමාත්‍යාංශය ගන්නකෝ. ඔබ කිව්වට මට විෂය පථයක් නෑ කියලා. නෑ ඒක හරියට අර මුහුද වගේ විශාලයි. ඕනෑම අමාත්‍යාංශයක අඩුපාඩුවක්, යම්කිසි වැරැුද්දක් වෙනවා නම් ඇමැතිවරුන් අතින් පමණක් නොවෙයි. ඇමතිවරුන් කියන්නේ සර්වතෝ භද්‍ර පිරිසක් නොවෙයිනේ. මමත් සර්වතෝ භද්‍ර නෑනේ. ඒ නිසා අඩුපාඩුවක් වුණොත් ඒ ගැන හොයා බැලීමේ වගකීම මට තියෙනවා. ඒ ඇමැතිවරයා හමුවෙලා ඒ ගැන සාකච්ඡා කරලා ඒ ගැන ක‍්‍රියා කරන්න මට අයිතියක් තියෙනවා. එතුමා මට ඇහුම්කන් නුදුන්නොත් ජනාධිපතිතුමාට, කැබිනට් එකට කියන්නත් මට අයිතියක් තියෙනවා. මේ රටේ ඕනෑම තැනක ඕනෑම අස්සක මුල්ලක පැමිණිල්ලක් ආවොත් ඒ ගැන හොයලා බලන්න මට පුළුවන්. මේ මුළුමහත් විශ්වයේම තියෙන්නේ මහජන කටයුතු. ඉතින් මේ බාරදුර කාර්ය මට එතුමා මට බාර දුන්නේ මා ගැන අධික විශ්වාසයෙන්. ඒක මම තවමත් අබමල් රේණුවක් තරමින්වත් පලූදු කරලා නෑ. සමහර විරුද්ධවාදීන් මොනවා කිව්වත් ඔය කැලෑ පත්තර කාරයෝ කියන ඒවා මම ගණන් ගන්නේ නෑ. කැලෑ පත්තරවලට කැලෑ නාලිකාවලට මගේ මයිල් ගහක්වත් හොල්ලන්න බෑ. මම යන ගමන මම යනවා. මොන ප‍්‍රශ්න ආවත් කරදර ආවත් ඒවා ඉවත් කරගෙන යන්න මට ශක්තිය තියෙනවා. මා නිවැරදි නිසා මම දන්න කීප දෙනකුත් මා සමග ඉන්නවා. ඒ අය මට පෙන්නේ නෑ. ඒත් මම දන්නවා ඉන්නවා කියලා.

අනේ මට පුළුවන්නම් ඔය කතාව කියපු එකා හොයලා දෙන්න. අඩු තරමින් හොම්බට දෙකක් අනින්න

ප‍්‍රශ්නය: ඒ කවුද? අපිත් කැමතියි ඒ අය කවුද කියල දැන ගන්න.

පිළිතුර: මහත්තයො ඔයාටත් ඉන්නවා. ඒ අයම. මනුස්සයාගේ ගති පැවතුම් අනුව ඒ මනුස්සයා රකින්න ඒ අය ඉන්නවා. එතැනදී මිනිසාට වැරදි කරවන්න පොළඹවන කෙනා මහා බලවත්. එයා තමයි කියන්නේ අරූට ගහපන්. අරූ මරාපන්, අඩියක් ගහපන්. අර ගෑනිත් එක්ක ඉඳපන්. අර පවුල කඩාපන් කියලා. මගේ ජීවිතය තුළ ඒ වැරැදි උපදෙස් දෙන කෙනා මම බිම දාලා තියෙන්නේ. මගේ ළග ඉන්නේ හරි උපදෙස් දෙන කෙනා. බුද්ධ ධර්මය ගැන අවබෝධයෙන් කටයුතු කරනවා නම් ඕනෑම කෙනෙකුට ඒක හදා ගන්න පුළුවන්. ලංකාවේ තරම් පන්සිල් ගන්න රටක් ලෝකේ තියෙනවද? පත්තරේ ගත්තොත් කොච්චර ප‍්‍රචණ්ඩ ක‍්‍රියා තියෙනවද? හාමුදුරුවරුන් කියනවනේ. මම පෙළපාලි යනවා. සටන් කරනවා. අරක කරනවා, මේක කරනවා කියලා. හාමුදුවරු නමකට එහෙම කියන්න බෑ. බුදුහාමුදුරුවෝ හෝ රහතන් වහන්සේලා කවදාවත් එහෙම කළේ නෑ. මේ රට හදන්න පටන් ගන්න වෙලා තියෙන්නේ එතැනින්.

ප‍්‍රශ්නය: නමුත් ඔයිට වඩා බරපතළ ප‍්‍රශ්න තියෙනවා. අද අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් බරපතළ ප‍්‍රශ්න මතු කෙරෙමින් තිබෙනවා. ඇයි ඔබ ඒවා ගැන කතා නොකරන්නේ?

පිළිතුර: කෝ, ඉතින් මට කියන්න දුන්නේ නෑනේ. බුදුහාමුදුරුවන්ගේ කාලයේ හිටියා අම්බපාලි කියල ගණිකාවක්. මේ අම්බපාලි බුදුහාමුදුරුවන්ට දානයට ආරාධනා කළා. බුදුහාමුදුරුවෝ ආරාධනාව පිළිගත්තා. මේක ආරංචි වෙලා රජ්ජුරුවොත් ඒ දවසේම දානයට ආරාධනා කළා. බුදුහාමුදුරුවෝ ඒ ආරාධනාව ප‍්‍රතික්ෂේප කළා. බුදුහාමුදුරුවෝ වැඩම කළේ අම්බපාලිගේ දානයට. නායකයෙක් වුණාම එහෙම කෙළින් තීරණ ගන්න ඕනෑ.

දැන් මම ඔබේ ප‍්‍රශ්නයට උත්තරයක් දෙන්නම්. අග‍්‍රවිනිශ්චයකාරතුමියට එරෙහිව චෝදනා නැගිලා තියෙනවා. එතුමියගේ සැමියාට එරෙහිව අල්ලස් චෝදනාවක්. සෙලින්කෝ ප‍්‍රශ්නය ගැන චෝදනාවක් තියෙනවා. ඊට අමතරව අපි කවුරුත් ඇස් වලින් දැක්ක දෙයකුත් තියෙනවා. ඒ තමයි දැන් පාර්ලිමේන්තුවේ තියෙනවා. මන්ත‍්‍රී පිවිසුම. අපි යන්න එන්න ඕනෑ එතැනින්. ඒ වුණත් අපිටත් පුළුවන් යාළුවන් එක්ක මහජන පිවිසුමෙන් යන්න එන්න. අග‍්‍රවිනිශ්චයකාරතුමියට තියෙනවා සුවිශේෂ දොරටුවක් ඒත් එදා එතුමිය පාර්ලිමේන්තුවට එන්න පාවිච්චි කළේ අර විශේෂ දොරටුව නොවෙයි මහජන දොරටුවයි. එතැන තමයි එතුමියට සුබ පතන පිරිස, සටන්පාඨ කියන පිරිස. අතට අතදෙන පිරිස හිටියේ. කැමරාකාරයෝ වට කරගෙන හරියට ඡන්දයකට නාම යෝජනා බාර දෙන්න ගියා වගේ. මම කෙලින් කියන්නේ මේ එතැන අතට අත දීපු….. ජය ඝෝෂා නගපු කළුකෝට් ඇඳගත්ත අය මම දන්නෑ මේ අය නීතිඥයෝද කියලා. කළුකෝට් ඇඳලා හිටපු නිසා මම හිතනවා නීතිඥයෝ කියලා. ඒ නිසා ඒ අයට මම අපහාස කරන්නේ නෑ. නමුත් ඒ අයගේ හැසිරීමත් කියන්න දුකයි. අර ඔල්වරසන් දුන්න අය ඇවිත් එතුමියගෙන් උදව්වක් ඉල්ලූවොත් එතුමියට පුළුවන්ද පිටුපාන්න. එතුමිය වෙනුවෙන් පෙනී ඉන්න කොම්පැණියට එරෙහිව පිටුපාන්න එතුමියට පුළුවන්ද? ඇයි මේ බෝධියක් ඉස්සරහා පොල් ගහන්නේ. ඒක ශීලාචාරද? මේ ගති එදා ඉස්මතු වුණා.

ප‍්‍රශ්නය: එතුමියටත් යුක්තිය ඉටු කරගන්න අයිතියක් තියෙනවනේ?

පිළිතුර: ඒ වෙනුවෙන්ද එතුමිය මහජන පිවිසුමෙන් එළියට ආවේ. මේවා වෙනුවෙන් රටේ ජනාධිපතිතුමා බොහොම නිසොල්මන්ව දුරදකිනා නුවණින් ක‍්‍රියා කරනවා. ඒකට තමයි එතුමියට කරුණු කියන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් දැම්මේ. ඒක ව්‍යවස්ථානුකූලව දාපු එකක්. එතුමියගේ චෝදනා ගැන මහජනතාවට වුණත් තේරෙනවානේ මොනවද වෙලා තියෙන්නේ කියලා.

ප‍්‍රශ්නය: නීතිය ගැන මෙහෙම කතා කරන ඔබ සමෘද්ධි නිලධාරියෙක් ගස් බැන්ඳා?

පිළිතුර: ඔව්. එහෙම චෝදනාවක් ආවා. මම මොකක්ද කළේ? මම ඉල්ලා අස්වුණා. පරීක්ෂණයෙන් මම නිවැරදිකාරයා වුණා. ඊට පස්සෙයි ඇමතිකම ආපසු මට ලැබුණේ. උත්තරීතර අධිකරණයේ ප‍්‍රධානියා හැටියට එතුමියට තිබුණේ තාවකාලිකව හරි පසුබසින්න. ඉල්ලා අස්වෙලා මුහුණ දෙන්න. ජනාධිපතිතුමාටත් මම කියන්නේ ඒ වාර්තාවන් බලලා රටේ කවුරු කෑගැහුවත් රටට යුක්තිය ඉටු කරන්න කියලයි.

ප‍්‍රශ්නය: දෝෂාභියෝගය ගැන සලකා බලන්න කියලා මහානායක ස්වාමීන් වහන්සේලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලලා තියෙනවා.

පිළිතුර: මම දැක්කා. ඒ ඉල්ලීම ඇහින් බලන්න. ඒ ඉල්ලීමට සවන් දෙන්න. නමුත් අවශ්‍ය දේ ක‍්‍රියාත්මක කරන්න. අර අම්බපාලිගේ දානයට වැඩම කරලා බුදුහාමුදුරුවෝ පෙන්නුම් කළේ ඒකයි. තමන් ගන්න තීන්දු වෙනස් කරන්න එපා කියලයි බුදුහාමුදුරුවෝ ඒ ආදර්ශයෙන් දුන්නේ. එතුමා යුද්ධය වෙනුවෙන් තීන්දුවක් ගත්තා. සියලූම රාජ්‍ය නායකයෝ යුද්ධය ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා තිබියදී බලපෑම් කළා. ඒත් ජනාධිපතිතුමා තීරණය වෙනස් කළාද? එතුමා රණවිරුවන් සමග ඒ ක‍්‍රියාදාමය කළා. යුද්ධයේ අවසන් කාලය කියලා කියන්නේ මාස 15යි. ඒ මාස 15න් මාස එකොලහමාරක් සරත් ෆොන්සේකා අසනීපයෙන් හිටියේ. ස්පිරිතාලේ හිටියේ. කවුද යුද්දේ ඇදගෙන ගියේ ජනාධිපතිතුමයි ආරක්ෂක ලේකම්තුමයි. හමුදා පතිවරයාට පහළින් හිටපු නිලධාරීන් පිරිසයි. සරත් ෆොන්සේකා හිටියේ නෑ. ඒ නිසා අපි ගත්ත තීරණ ගන්නේ බුද්ධියෙන් නම් ඒ තීරණ වෙනස් කළ යුතු නෑ.

ප‍්‍රශ්නය: දැන් චෝදනා කළාට මේ අයට පත්වීම් දුන්නෙත් රජයෙන්මයි.

පිළිතුර: ජනාධිපතිතුමා සුදු නෙළුම් මලක් වගේ මේ අයව පූජාසනය මත තිබ්වා. කිඩාරම් මලක් වගේ ගඳ ගහන්න කිව්වේ නෑනේ. මම බෙලිඅත්තේ කෙනෙක්. මට ජනාධිපතිතුමා ඇමතිකමත් දුන්නා. මේකේ මම වැරැදි කරන්න ගියොත් එතුමා පලිද? ඒකට දඬුවම් විඳින්න ඕනෑ මර්වින් සිල්වායි. එතුමා පිරිසිදුව බාර දුන්නා. ඒකේ පිරිසිදුකම රැක ගන්න අපි දැන ගන්න ඕනෑ.

ප‍්‍රශ්නය: මහජන සම්න්ධතා ගැන කතා කරනකොට ඇයි මහ ජනතාවගේ බඩගින්න ගැන හිතන්නේ නැත්තේ?

පිළිතුර: මේ රටේ කන්න තිබියදී ලෝබකම නිසා නොකන පිරිසක් ඉන්නවා. වැඩ වැඩි නිසා කන්න වෙලාවක් නැති පිරිසක් ඉන්නවා. කම්ැමැලිකිකම නිසා කන්න දෙයක් සොයා ගන්න බැරි පිරිසක් ඉන්නවා. ශ්‍රී ලංකාව තුළ කන්න ඕනෑ තරම් දේවල් තියෙනවා. කොස් ගසේ කොස් තියෙනවා. දෙල් ගහේ දෙල් තියෙනවා. පඳුරක මඤ්ඤොක්කා තියෙනවා. වැලක බතල තියෙනවා. හැම දෙයක්ම තියෙනවා. ජනාධිපතිතුමාගේ පාලන කාලය තුළ ආර්ථික සංවර්ධනය ඉහළටම බැසිල් ඇමතිතුමා නැංගුවා. ඒක ඇත්ත. ඔය හුග දෙනෙක් කතාකරන්නේ ගමට යන්නෙ නැතිවනේ. ගමට ගිහින් බලන්න අද පලතුරු කොච්චර තියෙනවද කියලා. අද කෘෂිකර්මය කොච්චර දියුණුද කියල බලන්න. තමන්ගේ ගෙදර වම්බටු ගෙඩියක් කඩාගන්න, මිරිස් කරලක් කඩා ගන්න පැලයක් සිටුවා ගන්න බැරි ඇයි?

ප‍්‍රශ්නය: ජනතාවට අල බතල, මැති ඇමතිවරුන්ගේ පුතුන්ට ලැම්බෝගිනි. ලොකු වෙනසක් නේද?

පිළිතුර: ඒකත් හරි මෝඩකමක්නේ. ලැම්බෝගිනි දෙනවා කියලා කවුද කිව්වේ. ඒ කතාව කිව්වේ මේ පත්තරවල මිනිසුස්නේ. කවුද කිව්වේ මට කියන්න බජට් එකේ ලැම්බෝගිනි ගැන කොතැනද තියෙන්නේ. දැන් පෙන්වලා දුන්නොත් මේ දැන් මම ඇමැතිකමෙන් අස්වෙලා යනවා. ඕක මේ පත්තර උදවිය හදපු කතාවක්නේ. මෝඩකමට හෝ විනෝදයට හෝ නොදන්නාකමට දුන්න කතාවක් මේක. අඩු කරනවා කිව්වේ රේසිං කාර්. ඒවා මේ පාරවල්වල දුවන්න බෑ. ඉතින් නරකද ධනේෂ්වර පංතියේ ළමයින්ට තිබුණ වරප‍්‍රසාදයක් ගමේ ගොඬේ කොල්ලන්ට ලැබුණාම. ඒ කොල්ලන්ට මේවා ලාබෙට ලැබුණාම උන් රේස් යන්නේ නැද්ද? පදින්න පුළුවන් එකා පදියි. ඒත් මේ සමාජයේ හැටි බලන්න. දැන් චන්ද්‍රිකාවක් අල්ලාගෙන විපක්ෂය කෑගහනවා. ජනාධිපතිතුමාගේ පුතා නිසාද මිනිස්සු මේකට දොස් කියන්නේ. ඒ දරුවා කැමති විද්‍යාවට නම් ඒ දරුවා කැමති ගගනගාමියකු වෙන්න නම් ඒ දරුවා ලංකාවෙන් උඩු ගුවනට යන පළමු දරුවා වෙනවා නම් අපි සතුටු වෙන්න එපැයි. ඒ දරුවා කොහේද? හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ වීරකැටියෙ මැදමුලනේ. කුරහන් සුවඳ එන ගමේ. ජනාධිපතිතුමාගේ පුතා නොවුණා නම් මේ අය මෙහෙම කෑගහයිද?

ප‍්‍රශ්නය: ඔබේ පුතා මාලක සිල්වා මේ රටේ අධ්‍යාපන ඇමැති වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න බව උසාවියේදී කියැවුණා

පිළිතුර: අනේ මන්දා. එක එක්කෙනා එක එක දේවල් කියනවා. ඒක මම කියලා නෑ. ඒක මම කිව්වේ නෑනේ. මගේ පුතා කිව්වෙත් නෑ. ඔබතුමා කරුණාකරලා ඒ කියපු කෙනාගෙන් අහන්න. ඇයි එහෙම කිව්වේ කියලා. පුතා දැන් ඉගෙන ගෙන ඉවරයි. පිටරටත් ඉගෙන ගත්තා. කොම්පියුර් තාක්ෂණය ගැන පුතාට ඉහළම සාමාර්ථයක් ලැබිලා තියෙනවා. පුතා පුතාගේ ව්‍යාපාර කරනවා. මගේ පුතා දෙමාපියන්ට අවනතව දෙමාපියන් සමග ජීවත්වන ව්‍යාපාර කරන පිරිසක් සමග සම්බන්ධකම් පවත්වන තමන්ගේ ජීවත්වීමේ අයිතිය හදාගෙන ඉන්න කෙනෙක්.

ප‍්‍රශ්නය: ඔහු දේශපාලනයට ඒවිද?

පිළිතුර: අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම එදා තිබුණා කතාවක් පැඟිරි කපන එකාගේ පුතා පැඟිරි කපන්නම ඕනෑ. ගස් යන එකාගේ පුතා ගස් යන්නම ඕනෑ. ධීවරයගේ පුතා ධීවරයෙක් වෙන්නම ඕනෑ. 1956 විප්ලවයෙන් පස්සේ ඒක වෙනස් වුණා. මගේ පුතාට අශාවක් තියෙනවා නම් මම ඒ පාර හදලා තියෙනවා. පුතාට හෝ දුවට ඕනෑනම් දේශපාලනය කරන්න පුළුවන්. ඒක අපි ගෙනල්ලා බාර දෙන්න ඕනැ නෑ. දේශපාලනය ලේවල තියෙන්න ඕනෑ. මහජන සම්බන්ධතා හොඳට තියෙන්න ඕනෑ. මගේ හිත හොඳ නිසා මම බෙලිඅත්තේ ඉඳලා ඇවිල්ලා මහජන සම්බන්ධතා ඇමැති වෙලා ඉන්නවා.

ප‍්‍රශ්නය: ඔබ කියලා තිබුණා රාජපක්ෂ පවුල ඔබව ආරක්ෂා කරනවා කියලා?

පිළිතුර: උඩ ඉන්න දෙවියන්ට වඩා උඩින් ඉන්නවා ජනාධිපතිතුමා. එතුමා බේර ගත්තේ මාව විතරක් නොවෙයි. මුළු සමස්ත රටවැසියම බේරා ගත්තනේ එතුමා. ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන් විතරක් නොවෙයි. විපක්ෂයේ අයවත් බේර ගත්තෙ එතුමානෙ. බෙලිඅත්තේ මිනිහෙක් හැටියට මාව බේරා ගන්න එතුමාට යුතුකමත් තියෙනවා. මම වැරදි වැඩ කරන කෙනෙක් නොවෙයිනේ. එක්තරා අවස්ථාවකදී එතුමා මාව ඇමතිකමින් අස් කළානේ. ඒක හොඳ ආදර්ශයක්.

ප‍්‍රශ්නය: ඇමතිකම ඔබ ගිහින් ආපහු ඉල්ලූවාද?

පිළිතුර: නෑනේ. මම නිදහස් වුණානේ. ඊට පස්සේ එතුමා මාව ආපසු පත් කළානේ.

ප‍්‍රශ්නය: ඔබට තරම් වෙනත් කිසිම ඇමැති කෙනෙකුට චෝදනා එල්ල වුණේ නෑ.

පිළිතුර: චෝදනා කියන්නේ. බුදු වෙනකොට මරඟනන් රැගුවා වගේ මටත් චෝදනා ආවා. මට කොච්චර චෝදනා ආවත් මොනවද ඒවායින් ඔප්පු වුණේ? මම කාන්තාවන් දුෂණය කළාද? මම බාල වයස්කාර දැරියක් දුෂණය කළාද? කප්පම් ගත්තද? අල්ලසක් ගත්තද? මිනී මැරෙව්වද? මිනී මැරුවාද? සොරකමක් කළාද වරදක් කළානම් කන හරහා පහරක් ගහලා ඇති. ඒක මම බෙලිඅත්තේ ඉන්න කාලේ ඉඳලම කරලා තියෙන දෙයක්. ඒක රුහුණෙ මිනිසුන්ගේ හැටි. අයුක්තිය අසාධාරණය වුණෙත් දඬුවමක් දෙන්න ඕනෑ. හොඳින් කිව්වම අහන්නේ නැතිනම් අත උස්සලා ගහන්න ඕනෑ. ඒක එතැනින් ඉවරයි. මම ප‍්‍රසිද්ධියේ කියනවා. මාධ්‍ය මහත්වරුන්ට එක චෝදනාවක් පුළුවන් නම් ඔප්පු කරන්න. අමාත්‍යාංශයේ වැඩිපුර ශතයක් ගත්තද? අමාත්‍යාශයේ සල්ලිවලින් පිටරට ගියාද? තරු හතේ හෝටල්වල හිටියද? අනවශ්‍ය මුදල් වියදම් කළාද? කියන්නකෝ රත්තරනේ!

ප‍්‍රශ්නය: කැළණියේ ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරු එක්ක හදාගත්ත ගැටුමට මොකද වුණේ?

පිළිතුර: මගේ ගැටුමක් තිබුණේ නෑනේ. මම ඒ අයට අවශ්‍ය විදියට හැසිරෙන්න දුන්නේ නෑ. අනවශ්‍ය වියදම් හොරකම්, ජඩකම්වලට ඉඩ දුන්නේ නෑ. අපි දෙගොල්ලෝ සමගියෙන් වැඩ කරගෙන ගියා. ඒගොල්ලෝ හිතන්න ඇති මෙයා හිටියොත් කරදරයක්. මෙයා නැතිව තනිවම යන්න ඕනෑ කියලා. දෙවිදත්තර ගියා වගේ මේ අය යන්න හැදුවේ. මට ඒ අය ඕනෑ නෑනේ මම මහජන නියෝජිතයෙක්. මට ඇමැතිකමත් තියෙනවා. ඒ බලතල යටතේම මම කැලණිය වැඩ කරගෙන යනවා.

ප‍්‍රශ්නය: කැලණියේ යුවරජු ඔබයි?

පිළිතුර: රජවරු ඉන්න කාලේ හිටියානම් රජවරු ඉන්න කාළේ මමත් ඉන්න ඇති. එදා මම යුවරජ කෙනෙක් වෙන්න ඇති. දැන් රජවරු නෑනේ. දැන් ඉන්නේ ජනතා සේවකයෝ. ජනාධිපතිතුමා ගත්තොත් හරිනම් එතුමා රජෙක් වෙන්නම ඕනෑ. රට නිදහස් කරලා දුන්න රජතුමා රටේ ආර්ථිකය හදලා දුන්න රජතුමා. රටේ නිදහස ලබාදුන්න රජතුමා. එතුමා යටතේ මම යුවරජ කෙනෙක් තමයි.

ප‍්‍රශ්නය: ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද?

පිළිතුර: මම හොඳට ධර්මය දන්න කෙනෙක් විදියට එකම බලාපොරොත්තුව තියෙන්නේ මම දැන් මේ මනුෂ්‍ය ලෝකයේ හිටියා ඇති. දැන් මම දිව්‍ය ලෝකයේ යන්න ඕනෑ. මං දිව්‍ය ලෝකේ යනවාමයි. දිව්‍ය ලෝකයට ගිහින් දිව්‍ය සැප විඳලා ඊට පස්සේ මනුෂ්‍ය ලෝකයට එන්න තමයි ප‍්‍රාර්ථනා කරන්නේ.

- ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන් / Lankadeepa

Gossip Lanka Hot News Previous News Archive