ශ්‍රී විෂ්ණු මහා දෙවි පිහිටෙන් අලුත්කඩේ කළුකෝට් කලබගෑනිය දූරිභූත වී රටටත් ජනතාවටත් සෙත සාන්තිය උදාවේවායි යැයි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා මහතා ප්‍රාර්ථනා කරයි.මර්වින් ඇමැතිවරයා මෙසේ ප්‍රාර්ථනා කළේ කැලණිය ශ්‍රී උත්පලවර්ණ විෂ්ණු දේවාලයේ තෙවැනි වාර්ෂික පෙරහර මංගල්‍යයට සමගාමීව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආරණ්‍යවාසී සහ ග්රාමවාසී සංඝයා වහන්සේ පනස්නමකට අධික පිරිසක් දේවාල භූමියට වැඩමවා හීල් දානය පිරිනමමින් කළ පුණ්‍ය කටයුතු අවස්ථාවේදීය.
ඇමැතිවරයා මෙසේද පැවැසීය. මේ රටේ බුද්ධාගම ආරක්ෂා කිරීමට කවදත් වැඩිපුරම ක්‍රියා කෙළේ ආරණ්‍යවාසී සහ ග්රාමවාසී භික්ෂුන් වහන්සේයි. උන්වහන්සේ වැනි භික්ෂුන් වහන්සේ ළඟයි සැබෑම නිවනට මාර්ගය තියෙන්නේ. බෞද්ධ, හින්දු ආගමික සම්බන්ධතාවකට වසර දෙදහස් හයසියයකට වැඩි ඉතිහාසයක් තියෙනවා. මේ මහා දේවාල භූමියේ පිරිනැමෙන මහා සාංඝික දානය කා තුළත් වෛරය, කේරා්ධය දුරුවී මිනිසුන් තුළ ගුණධර්ම හැඟීම් ඇතිකරන අවස්ථාවක්. ලෝභ මෝහ මිනිස් සිත්හි නැතිකර පාරමී ධර්මයන් සම්පූර්ණ කරන අවස්ථාවක්.
රටේ උගතුන් කියාගන්නා අලුත්කඩේ උසාවි සංකීර්ණයේ පිරිසක් මහානායක ස්වාමීන් වහන්සේ සමඟ එක්ව සූදානම් වෙනවා මේ රටේ කලබලකාරී තත්ත්වයක් ඇති කරන්න. එම තත්ත්වය මෙම දේවාලයේ මහා බලසම්පන්න මහා හාස්කම් ඇති ශ්‍රී උත්පලවර්ණ විෂ්ණු මහා දෙවිඳුන්ගේ බැල්මෙන් විසඳුම් ලැබී රටට සෙත ශාන්තිය උදාවේවායි ප්‍රාර්ථනා කරන බව පැවැසීය.
මේ දේවාල පෙරහරේ අලි ඇතුන්ට පහසුකම් සපයන්න, නැටුම් කණ්ඩායම් සංවිධානය කරගන්න, දේවාලය අසල ඇති කැලණි ප්‍රාදේශීය සභා පිට්ටනිය යොදා ගැනීමට තීරණය කර තිබුණා. පෙර වර්ෂවලත් මෙසේ එම පිට්ටනියයි වෙන්කරගෙන එම කටයුතු සිදුවුණා. නමුත් මෙවර එයට අවහිරතාවක් ඇති වී තිබුණා. උත්පලවර්ණ විෂ්ණු මහා දෙවිඳුන්ගේ පිහිටෙන් මේ වනවිට එම තත්ත්වයට විසඳුම් ලැබී තියෙනවා.
මෙරට තිබුණ ජනවාර්ගික යුද්ධය අවසන් කිරීමට ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරුන් හා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරයා උත්සාහ ගත්තා. නමුත් එම උත්සාහයන් සියල්ල අසාර්ථක වුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පමණක් එම ශක්තිය ලැබුණා. එසේ ශක්තිය ලැබුණේ ශ්‍රී උත්පලවර්ණ විෂ්ණු මහා දෙවිඳුන්ගේ දේව ප්‍රතිමාවක් මෙරට ස්ථාපිත කිරීමට දකුණු ඉන්දියාවේ ශ්‍රී රාම් ප්‍රදේශයේ කෝවිලකට ගොස් මා සිදුකළ පොරොන්දු බාරයක් අනුවයි. ඒ අනුව කැලණියේ ශ්‍රී උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලය ඉදිකළ බවද පැවැසීය.