ආණ්ඩුව බලය වෙනුවෙන් ඕනෑම ලැජ්ජ නැති වැඩක් කරනවා - (M.P) Ajith P Perera

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගයේ පරීක්ෂණය කැලෑ උසාවියක තේරීම්කාරක සභාවක් විසින් පැවැත් වු පරීක්ෂණයක් ලෙස සැලකිය හැකි යැයි එජාප මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව දියුණු ප්‍රජාතන්ත්‍රීය මූලධර්ම ආරක්ෂා කළ පාර්ලිමේන්තුවක් ලෙස මෙතෙක් කලක් ගොඩනගාගෙන තිබු ආඩම්බරය ඊයේ (08) අවසන් වු බව ද ඔහු පෙන්වාදෙයි.

කොළඹදී අද (09) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් මෙසේද අදහස් දක්වන ලදී.


ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ශ්‍රී ලංකා වෘත්තිකයින්ගේ සංගමය, ඒකාබද්ධ විපක්ෂය හා රටේ සාමාන්‍ය පුරවැසියන් මේ සම්බන්ධයෙන් සාධාරණයක් පරීක්ෂණයක් ඉල්ලා සිටි නමුත් ලැබුණේ නැතැයි ද අජිත් පී පෙරේරා මහතා පවසයි.

රටේ සාමාන්‍ය පුරවැසියෙකුට තියෙන අයිතිය ඇයට අහිමි වු බවත් තේරීම්කාරක සභාව ඉදිරියේ ඇය නින්දාවට අගෞරවයට පත් වු බවත් ඔහු පෙන්වාදෙයි.

ස්වභාවික යුක්තියේ මුලධර්ම අනුව පරීක්ෂණ පැවැත්විය යුතු නමුත් සිදුවුයේ තමන්ගේ නඩුව තමන් විසින්ම ඇසීමක් හා සමාන ක්‍රියාවක් යැයි ඔහු පෙන්වාදෙයි.

පැමිණිලිකාරයාත් පාර්ලිමේන්තුව බවත් විනිශ්චයකාරවරුන් ද පාර්ලිමේන්තුවේ නියෝජිතයින් බවත් ඔහු සඳහන් කරයි.

තේරීම්කාරක සභාවේදී දෙපාර්ශවයටම සවන්දිය යුතු බවත් අගවිනිසුරුවරියට ඇයගේ ස්ථාවරය පැවසීමට, සාක්ෂි මෙහෙයවීමට නීතිමය තර්ක නැඟීමට, පැමිණිලිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීමට අවසර නොලැබුණු බවත් මන්ත්‍රීවරයා කියයි.

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ උගෙනුම ලැබු නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගත් පළමු කාන්තාව ලෙස අගවිනිසුරු ධූරයට ද පත්ව තේරීම්කාරක සභාව ඉදිරියේදී ඇය නින්දාවට පත්වු බව ඔහු පෙන්වාදෙයි.

විමල් වීරවංශ, රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් අග්‍රවිනිසුරු ඉදිරියේ නඩුවලට මුහුණ දුන් අය බවත් ඔවුන්ට තේරීම්කාරක සභාවේ විනිසුරුවන් සේ කටයුතු කළ හැක්කේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.

බලය වෙනුවෙන් ලැජ්ජ නැතිව ඕනෑම දෙයක් කිරීමේ තත්ත්වයට ආණ්ඩුව පත්ව ඇති බවද මන්ත්‍රීවරයා පවසයි.

හෙට ලිප්ටන් වටරවුමේදී මීට විරෝධය පළකර ඒකාබද්ධ විපක්ෂය විසින් උද්ඝෝෂණයක් පවත්වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Gossip Lanka Hot News Previous News Archive