පෑලියගොඩ මාළු මාර්කට්‌ එකත් උත්තරීතරයි -( MP) Anura Kumara Dissanayake


ප්‍රශ්නය - අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය මේ වන විට වඩාත් උණුසුම් මුහුණුවරක්‌ ගෙන තිබෙනවා. මොකක්‌ද මේ ගැන ජවිපෙ ස්‌ථාවරය.

පිළිතුර - අප මේ දෝෂාභියෝගය කියන කාරණයේදී එහි කරුණු - කාරණා එහෙමත් නැත්නම් චෝදනා ගැන එතරම්ම වැදගත් ලෙස සළකන්නේ නෑ. එම කරුණු සත්‍යද අසත්‍යද කියන කරුණු ගැන අපි එතරම් සළකන්නේ නෑ. අපි පදනම් කරගනු ලබන්නේ මේ දෝෂාභියෝගය ගෙන ඒම දක්‌වා වූ ගමන් මාවත පිළිබඳවයි. විශේෂයෙන්ම ජනතා විමුක්‌ති පෙරමුණේ එම ආයතන පිළිබඳව විවිධ වෙනස්‌ අර්ථකථනයන් තිබෙනවා. පාර්ලිමේන්තුව වේවා අධිකරණය වේවා මෙම අයුක්‌තිසහගත සමාජ ක්‍රමය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් සුදුපිරුවට පළඳවා තිබෙනවා. ඒවා කවර දිනයකවත් යුක්‌තිය ඉටුකරන ලද ආයතන නොවේ.


එම ආයතන කිසියම් පංති වුවමනාවක්‌ වෙනුවෙන් හඬනගන ලද ආයතනයි. ඒ නිසා එම ආයතන උත්තුංග හෝ මහා ගරු ගාම්භීර ආයතනයන් ලෙස අප පිළිගන්නේ නෑ. නමුත් වර්තමාන සමාජ ක්‍රමයේ පැවැත්ම වෙනුවෙන් ගොඩනගන ලද ආයතන තමයි අද ඊට එරෙහිව තිබෙන්නේ. අද ආණ්‌ඩුවේ පාලනය ඒකාධිපති වියරුවකින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනකයි යෙදෙන්නේ. ඒ සඳහා බාධාවන සියලුම ආයතන සහ පුද්ගලයන් හඹා ගොස්‌ විනාශ කිරීමේ වියරුවකින් පෙළෙනවා. එහි පළමු පියවර ලෙස මාධ්‍යවේදීන් ඝාතනය කළා. පැහැර ගෙන ගියා. අද වන විට සියලු මාධ්‍ය තමන් වෙත හීලෑ කරගෙන ඉන්නවා.

ඒකාධිපති වියරුවේ නවතම ගොදුර බවට පත්ව තිබෙන්නේ අධිකරණයයි. අගවිනිසුරුවරිය පත් කළේ ජනාධිපතිවරයාමයි. ඒ වගේම පසුගිය කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දු දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබුණා. නමුත් මෑත කාලයේ උසස්‌ පෙළ ශිෂ්‍යයන්ගේ ඉසෙඩ් ස්‌කෝර් ප්‍රශ්නයේදී ශ්‍රේෂ්ඨාධිකරණය ළමුන්ට විශාල අසාධාරණයක්‌ සිදුව ඇති බවත් එය නිවැරදි කළ යුතු බවත් කීවා. එතකොට ආණ්‌ඩුව හිටපු දැඩි තකතීරු තීරණයේදී අධිකරණය දරුවන් වෙනුවෙන් පෙනී සිටියා.

ඊළඟට බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා විසින් ගෙන එන ලද දිවි නැගුම පනත, මේ පනතේ සමෘද්ධි අධිකාරියේ නිලධාරීන්ට දෙපාර්තමේන්තුවක්‌ බවට පත්වෙන එක සහ ඔවුන්ට විශ්‍රාම වැටුපක්‌ සහිත ස්‌ථාවරතාවකට පත්වෙනවා කියන දවටනය තමයි ඔතලා තිබුණේ. හැබැයි ඒ තුළ තිබුණේ ''වස ගුලියක්‌'' මෙහි ප්‍රධාන කරුණු තුනක්‌ තියෙනවා. ඒ නිලධාරි යාන්ත්‍රණය, සමිති යාන්ත්‍රණය සහ මුදල් සංසරණයයි. මේ තුනම සම්පූර්ණයෙන්ම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනියි. ශ්‍රේෂ්ඨාධිකරණය ඊටත් එරෙහි තීන්දුවක්‌ දුන්නා. එතැනදී තමයි ශ්‍රේෂ්ඨාධිකරණය සමග මේ ගැටුම නිර්මාණය වෙන්නේ. මෙන්න මේ ඇතිව තිබෙන තත්ත්වයට එරෙහිවයි අපේ පක්‍ෂය කටයුතු කරන්නේ.

ප්‍රශ්නය - ඔබ සඳහන් කළේ එහි අතීත කාරණා. අපි අහන්නේ මේ වන විට මතුව ඇති අධිකරණයේ ස්‌වාධීනත්වය හා පාර්ලිමේන්තුවේ ඇතිව තිබෙන උත්තරීතරභාවය ගැනයි. ඔබ පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය වෙනුවෙන් පෙනී සිටින්නේ නැද්ද?

පිළිතුර - මෙතැන කිසිසේත්ම පාර්ලිමේන්තුව සහ අධිකරණය අතර ගැටුමක්‌ නෑ. තිබෙන්නේ ආණ්‌ඩුව අධිකරණය සමග ඇති කරගත් ගැටුමකුයි. අප කිසිසේත්ම මේ ගැටුමට හවුල් විය යුතු පුද්ගලයන් නොවෙයි. විශේෂයෙන්ම මේ උත්තරීතරයි කියන වචන සිංහල භාෂාවේ තිබෙන ගරු ගාම්භීර වචන පමණයි. නමුත් ඒ ආයතන තුළ එහි ජීවාත්මක බව නෑ.

ඔබ හිතන්න 18 වැනි සංශෝධන සම්මත කර ගැනීම වෙනුවෙන් අමාත්‍ය ධුරවලට බැංකු ණය කපා හැරීම වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගාණට අලෙවි වූ මන්ත්‍රීවරුන් තමයි මේ. ඉතිං එවැනි ආයතනයක්‌ උත්තරීතර වෙනවාද? මේක නිකං කොටස්‌ වෙළෙඳපොළ. වැඩිම ඉල්ලුමට එහාට මෙහාට යන පුද්ගලයන් ඉන්න ආයතනයක කොහෙද උත්තරීතර බවක්‌. එහෙමනම් පෑලියගොඩ මාළු මාර්කට්‌ එකත් උත්තරීතරයි. එතැන විකුණන්නේ මාළු. මෙතැන විකිණෙන්නේ මිනිස්‌සු. ඒ නිසා අපි විශ්වාස කරන්නේ නෑ මේවා සැබෑ ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන උත්තරීතර ආයතන බවට.

දැන් තිබෙන්නේ ජනතා කැමැත්ත පිළිබිඹු කරන පාර්ලිමේන්තුවක්‌ නොවෙයි. එහි විකෘතියක්‌. ඒ වගේම මේ ආයතන මේ වන විට විධායකයේ මුළු අණසකට යටත් කරගත්ත ආයතනයි. කොඳු කඩපු, සෘජුව තමන්ගේ හෘදය සාක්‍ෂිය වෙනුවෙන් පෙනී සිටින්න බැරි නිවට නියාලු බවට පත්කර තිබෙන ආයතනයි.

ප්‍රශ්නය - ඔබ මුලින් සඳහන් කළා දෝෂාභියෝග චෝදනා ගැන තැකීමක්‌ කරන්නේ නෑ කියලා. ඒත් මේ චෝදනා බරපතළයි. ජවිපෙ නිරන්තරයෙන් කියන දූෂණ වංචා - අක්‍රමිකතා කියන කුලකයට එය අයිතියි. ඇයි එය නොසලකා හරින්නේ?

පිළිතුර - ආණ්‌ඩුවේ තිබෙන්නේ කන්න හිතුණම කබරගොයත් තලගොයා කරගන්නා න්‍යායන්. ඇයට ඉදිරිපත් කර තිබෙන චෝදනා වලින් බහුතරයක්‌ ඇය අගවිනිසුරුවරිය ලෙස පත්කිරීමට පෙර ඉදිරිපත් කරන ලද චෝදනා. එවැනි චෝදනා තිබියදීත් ජනාධිපතිවරයා ඇය පත් කළේ ඇයි. දෙවැන්න සාමාන්‍යයෙන් දෝෂාභියෝගයක්‌ ගොඩනැගෙන්නේ ඒ නිශ්චිත මොහොතේ පැන නගින කරුණු මතයි. නෙවිල් සමරකෝන් අගවිනිසුරුවරයාට එරෙහිව දෝෂාභියෝගයක්‌ ගෙන ආවේ ඔහු එම තනතුරේ කටයුතු කරද්දී කරන ලද ප්‍රකාශයක්‌ හේතුවෙන්... ඊළඟට අගවිනිසුරු සරත් එන්. සිල්වාට දෝෂාභියෝගයක්‌ ගෙන ආවේ ඒ මොහොතේ පැන නැගුණු කාරණා මතයි. හැබැයි අගවිනිසුරුවරියට චෝදනා ගොනු කරන්නේ නිශ්චිත මොහොතේ කරුණු අරභයා නොවේ. මීට වසර ගණනාවකට පෙර කරන ලද දේවල් පදනම් කර ගනිමිනුයි. එය අපි අදාළ නොවන චෝදනා යෑයි කියන්නේ ඒ නිසයි. ඊළඟට මේ සමාජය දේශපාලනය කුණුවෙලා ගඳගහන මොහොතක ඔබ හිතනවද අධිකරණය විතරක්‌ බේරෙයි කියලා. මේ චෝදනා විභාග කරන හත්දෙනා ගැන හිතලා බලන්නකෝ. ඡේසුස්‌ වහන්සේ කිව්වා වගේ කිසිම වරදක්‌ නොකළ අයෙක්‌ ඉන්නවා නම් මෙන්න පළමු ගල ඇයට ගසන්න.· කියන එක තමයි අපට කියන්න තියෙන්නේ.

ප්‍රශ්නය - ඔබ කියනවා දිවි නැගුම පනත තමයි මේ දෝෂාභියෝගයට හේතුව කියලා. නමුත් ජවිපෙ ඇතුළු විපක්‍ෂය නගන ඔය චෝදනාව සමාජගතව ඇති බවක්‌ පේන්න නෑ. ජනතාව එය පිළිගන්නේ නෑ.

පිළිතුර - දැන් ඔබ මොන ජනතාව ගැනද ඔය කතා කරන්නේ. පසුගියදා පාර්ලිමේන්තුවට දිවි නැගුම පනත ඉදිරිපත් කළ මොහොතේ සමෘද්ධි නිලධාරීන් කැඳවා තිබුණා. ඔවුන් එතැනට කැඳවා තිබුණේ ජනකලා කේන්ද්‍රයේ දිවි නැඟුම පනත පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක්‌ තිබෙනවා, ඒ සඳහා ගමන් වියදම් ආහාර සියල්ල දෙනවා කියන ලිත දැනුම්දීම මත. ඒ සියලු සාක්‌ෂි සහිත ලිපි මා ළඟ තිබෙනවා. දැන් එතකොට මේ අය ද ඔබ කියන ජනතාව. ඒ වගේම පසුගියදා අධිකරණයට හා පාර්ලිමේන්තුව අසලට ගෙන එන ලද පිරිස සහිත ඡායාරූපවල තිබෙනවා ඔවුන්ට මුදල් ලබා දෙන. ඒක ජනමතය නොවෙයි. මේ සල්ලි දීලා ගෙන්නපු උද්ඝෝෂකයන් ඉදිරිපත් කරන එක සටන් පාඨයක තිබෙනවා "දිවි නැඟුමට එරෙහි වූ අධිකරණය" කියලා. දැන් එතකොට හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා වගේ ඒ උද්ඝෝෂකයන්ම කියනවා දිවි නැඟුමට එරෙහි වූ නිසා තමයි මේක කරන්නේ කියලා. ඒ නිසා හරි පැහැදිලියි අපි මෙතෙක්‌ කියන ලද කාරණා ඒ උද්ඝෝෂකයන්ම තහවුරු කරලා තියෙනවා. වීඩියෝ දර්ශනවල තිබෙනවා මේ අයට සටන්පාඨ කියලා දෙන්නේ අර ඇමැතිතුමා. එක තැනකදි එක්‌ පුද්ගලයෙක්‌ අහනවා "අධිකරණයද උත්තරීතර?" කියලා. එතකොට එතුමා කියනවා "නෑ... නෑ... නෑ... පාර්ලිමේන්තුව" කියලා. එතකොට මේ අයද ජනතාව. කිසිම හැඟීමක්‌ නැති කිසිම දෙයක්‌ දන්නේ නැති මිනිස්‌සු ටිකක්‌ ගෙනල්ලා දාලා කරන මේ විකාරය සැබෑ ජනතා හඬ නෙවෙයි.

ප්‍රශ්නය - දොaෂාභියෝගය චෝදනා විභාගය පිළිබඳව කරුණු මාධ්‍යයට අනාවරණය නොකරන්නට ගත් තීරණය ගැන මොකක්‌ද තිබෙන විග්‍රහය.

පිළිතුර - විශේෂයෙන්ම අධිකරණයේදී නඩුවක්‌ විභාග කරන කොට විවෘත අධිකරණයේදී තමයි විභාග කරන්නේ. සාමාන්‍ය ජනතාවට සහ මාධ්‍යවේදීන්ට විවෘත කරමින් තමයි එය විභාග කරන්නේ. එතකොට පාර්ලිමේන්තුව කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය කියලා තමයි කියන්නේ. ජනතාවගේ නියෝජනය වෙනුවෙන් තිබෙන ආයතනය කියලා තමයි එය හඳුන්වන්නේ. එතකොට ජනතාවගේ ආයතනයේ සිදුවන දේ මොකටද ජනතාවට හංගන්නේ. එතකොට ජනතාවගේ නියෝජිත කාර්ය භාරය අපි ඉටුකරනවා ජනතාවට හොරෙන්. ඒ නිසා මේ සියලු කරුණු මාධ්‍යයට විවෘත කළ යුතුයි. මේ උත්සාහ දරන්නේ වෙනත් කිසිවකටවත් නෙවෙයි. මේ සියල්ල කාමරයක බිත්ති හතරක්‌ තුළ තබාගෙන දඬුවම් දෙන්න යන ප්‍රයත්නයකුයි මේ තිබෙන්නේ. ඒ නිසා ආණ්‌ඩුව මේ තොරතුරු එළියට යැම පිළිබඳ වරප්‍රසාද ප්‍රශ්න නගමින් ඉන්නේ වෙන කිසිවක්‌ නිසා නොවෙයි ජනතාවට සැඟවිය යුතු කරුණු බොහෝමයක්‌ තිබෙන නිසයි. ඒ නිසා අප කියන්නේ මේ සියලු කරුණු මාධ්‍යයට විවෘත කළ යුතුයි. ඒ හරහා තමයි මාධ්‍යය හරහා රටේ ජනතාවට සාධාරණ විනිශ්චයක්‌ ලබාගත හැකි වන්නේ.

සරත් ෆොන්සේකා මහතාගේ සිද්ධියේදී යුද අධිකරණ ක්‍රියාවලිය මාධ්‍යයට වාරණය කළා. හැබැයි ඊට පසුව විවෘත අධිකරණයට ප්‍රශ්නය ආවට පස්‌සේ ජනතාව ඒ ගැන වැඩි අවබෝධයක්‌ ලබාගත්aතා.

මෙතැන තිබෙන්නේ යුද අධිකරණයක්‌ නෙවෙයි. මෙය ජනතාවගේ නියෝජිතායතනය. ඒ නිසා මෙය පූර්ණ වශයෙන්ම මාධ්‍යයට විවෘත විය යුතුයි. මේ හදන්නේ ජනතාවට හොරෙන් නඩු අහන්න... ජනතාවට වසන් කරපු ක්‍රියාමාර්ගවලට යන්න. මෙය සාධාරණ යෑයි අපි විශ්වාස කරන්නේ නෑ.

ප්‍රශ්නය - මේ වන විට දේශපාලන කරලියේ ඉස්‌මතුව ඇති එවැනි බොහෝ කරුණු කාරණා නිසා ජනතාවගේ සැබෑ ප්‍රශ්න යට යන බවක්‌ තමයි අපට පේන්නේ. ජවිපෙ පවා මේ මොහොතේ ඊට උනන්දු නොවන බවකුයි පේන්aනේ.

පිළිතුර - නෑ ඒ කතාව වැරැදියි. දොaෂාභියෝගයත් ජනතාවගේ ප්‍රශ්නයක්‌... මේක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ප්‍රශ්නයක්‌. එතකොට එවැනි නිශ්චිත මොහොතක අපිට නිහඬව ඉන්න බෑ. මේකට අපි සක්‍රීයව මැදිහත් වී ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වූ අරගලය අප ගෙන යනවා. අනික්‌ පොදු අරගලවලදිත් අපි මැදිහත් වෙනවා. පසුගිය හයවැනිදා තරුණයන්ගේ විශාල රැළියක්‌ අපි සූදානම් කළා. අද රටේ තරුණයන් විශාල අර්බුදයක ඉන්නේ. ඔවුන්ට

රැකියා නෑ. අධ්‍යාපනයට සරිලන රැකියා නෑ. ඔවුන් අපේක්‍ෂා භංගත්වයට පත්වෙලා. ගොවි ජනපදවල සක්‍රීය වැඩ කොටසක්‌ අපි ගොවි ජනතාව සමග එකතුවෙලා ගනිමින් ඉන්නවා. වෘත්තීය සමිති සමග සටන් ගණනාවක නියෑලී ඉන්නවා. අපි උපරිම සක්‍රීය දායකත්වයක්‌ ඒ සඳහා දක්‌වනවා.


ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක
 සාකච්ඡා කළේ : උදේශ සංජීව ගමගේ
(දිවයින)

Gossip Lanka Hot News Previous News Archive