දෝෂාභියෝගය 'බයිට් එකට' ගන්න එපා - Srinath Perera

හවසට බොන ගමන් බයිට් එකට දෝෂාභියෝගය ගැන කතා කරමින් නොසිට සක‍්‍රිය විරෝධතාවයකට එක්වන්නැයි, මහජන පෙත්සමට අත්සන් ගනිමින් ජනාධිපති නීතිඥ ශ‍්‍රීනාත් පෙරේරා මහතා පැවසිය.

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය වහා ඉල්ලා අස්කරගන්නා ලෙස ඉල්ලන මහජන පෙත්සමකට අත්සන් ගැනීම ඊයේ (19) කොළඹ කොටුවේ දුම්රිය පොළ අසලින් ආරම්භ විය. මෙය සංවිධානය කරන ලද්දේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය විසිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ ශ‍්‍රීනාත් පෙරේරා මහතා මෙසේද පැවසිය.


‘‘මේ රටේ මහ නායක හිමිවරුන්ද සර්ව ආගමික නායකයන්ද විද්වත් වෘත්තිකයන්ද, වෘත්තීය සමිතිද ඇතුළු සියළු දෙනා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සාධාරනව විනිවිද භාවයකින් යුක්තව සිදුකර ගන්නා තීන්දුවක් ගන්නා ලෙසයි.

නමුත් ආණ්ඩුව ජනතාවගේ ඉල්ලීම තඹ දොයිතුවකට ගණන් ගන්නේ නැතිව තමන්ට ඕනෑ ආකාරයට ඒකාධිපතිවාදයට යමින් ඉන්නවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන්නේ නම් ජනතාවගේ ඉල්ලීමට ඉඩ දී අගවිනිසුරුවරියට සාධාරණයක් සිදුවන ලෙස මේ දෝෂාභියෝග විනිශ්චය සිදුකරන්න කියා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා.

ඒ වගේම මේ රටේ සිටින වෘත්තිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ හවසට විස්කි ටිකක් බොන ගමන් බියර් වීදුරුවක් බොන ගමන් දෝෂාභිගෝගය ගැන කතා කරමින් සිටින්නේ නැතිව මේ අධිකරණයේ ස්වාධීනත්වයට ඇති වී ඇති තර්ජනය මුළුමහත් සමාජයටම එල්ලවූවක් ලෙස සලකා සක‍්‍රීය විරෝධතාවයකට පැමිණෙන ලෙසයි.’’

Gossip Lanka Hot News Previous News Archive