රත්මලාන ත්‍රිත්ව ඝාතනය - සැකකරුගේ මව රහසක් හෙළි කරයි (Rathmalana Triple Murder Full Story)

මියගිය සඳමාලි
රත්මලාන කල්දෙමුල්ල ප්‍රදේශයේ නිවෙසක තරුණ ගුරුවරියක හා ඇගේ දරු දෙදෙනාගේ පිලිස්සී ගිය සිරුරු හමුවීම පසුගියදා මුළු රටම මහත් කම්පාවට පත් කළ සිදුවීමක් විය. තිස් එක් හැවිරිදි මවක තුන් හැවිරිදි වැඩිමහල් පුතුත් මසක් වයසැති බාල දරුවත් ගින්නට හසුවී දැවී පිලිස්සි තිබු අයුරු කාගේත් නෙතට මෙන්ම හදවතට දැඩි වේදනාවක් ගෙන දුන්නේය.

පිලිස්සී මියගිය මවගේ ඇකයේ සිටි සිඟිති පුතු අසලම තුන් හැවිරිදි ලොකු පුතු ද මියගොස් සිටියේය. සිද්ධිය ගල්කිස්ස පොලීසියට සැලවීමත් සමඟ නිලධාරීහු සිද්ධිය වූ නිවෙසට පැමිණ පරීක්ෂණ ඇරැඹූහ. ඒ ඉකුත් දහහත් වැනිදා උදය වරුවේය.

තිදෙනාගේම සිරුරු මුළුමනින්ම පිලිස්සී නොතිබිණි. නිදාගත් ඇඳ උඩින් තිබූ මදුරු දැල ගිනිගෙන දැවී තිබිණි. පොලිස් නිලධාරීහු මේ සම්බන්ධයෙන් නිවසේ සිටි සෙසු අය ගෙන් ප්‍රශ්න කරන්නට වූහ. තම බිරිය හා දරුවන් මෙසේ ගිනිගෙන පිලිස්සී ඇති බව පොලීසියට කීවේ ද සැමියාය. ඔහු මියගිය තිදෙනාගේ සිරුරු හඳුනා ගත්තේය. ඔහුගේ බිරිය සඳමාලි ප්‍රනාන්දුත් වැඩිමහල් පුතු තුෂාන් සඳරුවන් හා මසක් වයසැති බාල පුතු ඉෂාන් භානුක සිද්ධියෙන් මියගොස් සිටියහ.
 සිද්ධිය සැලවීමත් සමඟ ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක කමල් පුෂ්පකුමාර, අපරාධ විමර්ශන අංශය බාර ස්ථානාධිපති එරික් රෝහිත ඇතුළු නිලධාරීන් එතැනට පැමිණිය අතර පසුව සහකාර පොලිස් අධිකාරී ජයලත් හා කොට්ඨාස බාර පොලිස් අධිකාරී රවීන්ද්‍ර කරවිට යන මහත්වරු ද සිද්ධිය පිළිබඳ විමර්ශනයට එක් වූහ.

මේ සිද්ධිය පොලීසියට කිසියම් සැකයක් ගෙන දුන්නේය. ඊට හේතු කිහිපයක්ම විය. ඉන් එක් හේතුවක් වන්නේ මෙතරම් විශාල ගින්නක් ඇතිවෙද්දී ඉන් බේරීමට ඔවුන් කිසිදු උත්සාහයක් ගෙන නොමැති වීමය. ඔවුහු නිදා සිටින ආකාරයෙන්ම එලෙසම ඇඳ මත සිටියහ. සිඟිති පුතු මවගේ ඇකයේ තුරුලු වී එලෙසම පිලිස්සි මිය ගොසිනි. සඳමාලි ද ගින්නෙන් බේරීමට කිසිදු උත්සාහයක් ගෙන නොතිබුණාය.

ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන් ද පරීක්ෂණවලට එක්වූ අතර සොකෝ ඒකකය සියුම් හෝඩුවාවල් හොයමින් ඊට සහාය විය. බැලු බැල්මට ගින්න හටගෙන ඇත්තේ මදුරු දැල නිසා බව පෙනෙන්නට ඇත. පිලිස්සී ගිය ඇඳට යටින් බාගෙට පිලිස්සුණු ඉටිපන්දමකි. එතැනම ගිනිකූරු දෙකකි. බැලු බැල්මට පෙනෙන්නේ ඉටිපන්දමින් මදුරු දැලට ගිනි ඇවිලි ඇති බවකි. ඉටිපන්දම දල්වන්නට ගිනිකූරු උපයෝගී කරගෙන ඇති බවකි.

“මේක නම් ඉබේ ගිනි ගත්ත එකක් වෙන්න බැහැ” උසස් පොලිස් නිලධාරින්ගේ මතය එය විය. ඒ අනුව සිද්ධිය පිළිබඳ විමර්ශනයට විදුලි අධිකාරිවරයා ද කැඳවීමට පොලිසිය තීරණය කළේය. ඊට හේතුව වූයේ තිදෙන මියගියේ විදුලිය කාන්දුවකින් ඇතිවූ ගින්නක් නිසා ද යන්න නිශ්චය කරගැනීමටය. මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව පිලිස්සුණු සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල රෝහලේ දී පැවැත්විණ.

මේ අතරතුර උසස් නිලධාරීන්ට පෙනී ගියේ මෙම මරණ මිනීමැරුමක් විය යුතු බවය. ඒත් හේතු සාධක සාක්කි කිසිවක් නැත. නිලධාරීහු සඳමාලිගේ සැමියාගෙන් ප්‍රශ්න කළහ.

“මම මුකුත් දන්නේ නැහැ සර්. ඊයේ හවසත් මම දරුවත් එක්ක කටුබැද්දට ගිහින් කෑම කාලා සෙල්ලම් කරලා ආවේ... මටත් හිතාගන්න බැහැ මොකද වුණේ කියලා” මියගිය බිරිය හා දරු දෙදෙනාට අමතරව මොහුත් මොහුගේ මවත් මෙම නිවසේ පදිංචිව සිටියහ. අසනීප තත්ත්වයෙන් පසුවූ මව වෙනත් කාමරයකත් සැමියා තවත් කාමරයකත් බිරිය හා දරුවන් එකම කාමරයකත් නිදා ගැනීමට පුරුදුව සිටියහ.


සැකකරු

නිලධාරීහු මේ සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියාගේ මවගෙන් ද ප්‍රශ්න කළහ.

“මටත් හිතාගන්න බැහැ. මේ දෙන්නා හරිම ආදරෙන් හිටියේ... පුතා දරුවන්ට පණ වගේ... එයාගේ නෝනාත් එහෙමයි. එයා මට ලේලියෙක් නෙමේ දුවෙක් වගේ මහත්තයො...”

නිවැසියන් මෙලෙස පැවසුව ද ඉහළ නිලධාරීන්ගේ හිතේ වූ සැකය පහව ගියේ නැත. මේ ත්‍රිත්ව මරණවලට සැමියාගේ සබඳකමක් ඇති බවට තිබු සැකය ඉවතට දැමුවේ ද නැත. එහෙත් ඔහු අත්අඩංගුවට ගන්නට තරම් කිසිදු සාක්කියක් ද නොවීය. සියල්ලෝම කළුබෝවිල රෝහලේ සිදුවන පශ්චාත් මරණ පරීක්ෂණය දෙස විමසිල්ලෙන් බලා සිටියහ.

පැය කිහිපයක් තිස්සේ කළ විමර්ශනයකින් පසුව පිලිස්සී ගිය මව හා එක් දරුවකුගේ මරණ ගෙල සිර කිරීමෙන් සිදුකළ මරණ බවට තීන්දු වීමත් සමඟ සැකය ක්‍රමයෙන් තහවුරු වන්නට විය. කුඩා දරුවා ගින්නට හසුවී මියගොස් ඇති බව විමර්ශනයේ දී හෙළි විය. පොලීසිය මියගිය කාන්තාවගේ සැමියා දෙස සිය සැකය එල්ල කළේය.

“මේකනම් ජීවිතේටවත් වෙන්න බැහැ... මගේ පුතා දරුවන්ටයි නෝනටයි හරිම ආදරෙයි. එයාලා අතර කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. හරිම සතුටින් හිටියේ... මගේ පුතා මේ වගේ දෙයක් කරයි කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ.”

සැකකාර සැමියාගේ මව නිලධාරීන් ඉදිරියේ කියා සිටියාය. මියගිය කාන්තාවගේ මව පමණක් නොව ඇගේ සොහොයුරා ද එකහෙළාම කීවේ තම බෑණා හා මස්සිනා ඔවුනට විශ්වාස බවය.

“එයා කවදාවත් එහෙම කරන්නේ නැහැ.”


කාගේත් මතය එය විය. ඒත් විමර්ශන නිලධාරීහු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මොහොතේ සිටම ඔහුගේ හැසිරීම පිළිබඳ විමර්ශනයක යෙදී සිටියහ. වරෙක ඔහු හැඬුවේය. වරෙක ඔහු තැති ගත්තේය. තවත් වරෙක ඔහු කල්පනා ලොවක සිටියේය. මේ ඝාතන මිනීමැරුම් නම් ඔවුන් ඝාතනය කළේ කවුද? ඒ කුමක් සඳහා ද? පොලීසිය හමුවේ පැවැති දැවැන්තම ප්‍රශ්න විය.

“කෝකටත් තමන් පොලීසියට ඇවිත් කටඋත්තරයක් දීලා යන්න.”

නිලධාරීහු අවසාන තීරණයට එළඹුණහ. අපරාධ විමර්ශන අංශය බාර ස්ථානාධිපති එරික් රෝහිත මහතා පොලීසියට පැමිණි ඔහු සැකපිට අත්අඩංගුවට ගත්තේ ඉන් පසුවය.

“මොනව කිව්වත් මේකා තමයි මේ අපරාධය කරන්න ඇත්තේ... ප්‍රශ්න කරන්න...”

පොලිස්පතිවරයාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත ගල්කිස්ස කොට්ඨාස බාර පොලිස් අධිකාරි රවීන්ද්‍ර කරවිට මහතා වෙත සියලු විමර්ශන පැවරිණ.

පොලිස් අධිකාරිවරයා සමඟ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ද අපරාධ විමර්ශන අංශයේ සිට මෙම ප්‍රශ්න කිරීම කළහ.

“අපි පැය හතරක් නොනවත්වාම ප්‍රශ්න කළා. ඒත් මිනිහා කිව්වේ මේ කිසිම දෙයක් දන්නේ නැහැ කියලයි”

සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ ද ඔහු දිගින් දිගටම මෙසේ කීවේය.

“මම මගේ අම්මටත් වඩා ආදරේ මගේ නෝනටයි දරුවන්ටයි. එහෙම කෙනෙක් මම. මම මොකටද මගේ නෝනා දරුවනුයි මරන්නේ... මටත් හිතාගන්න බැහැ... මොකක්ද වුණේ කියලා.”

පොලීසිය මොහුගේ ප්‍රකාශ විශ්වාස කළේ නැත. ඒ අතරතුර මොහු සතු ජංගම දුරකථනය පොලීසිය බාරයට ගත් අතර සිද්ධිය වූ දිනට පෙර ඊට ලැබුණු ඇමතුම් හා කෙටි පණිවුඩ රැසක් පරීක්ෂාවට ලක් කිරීම ද සිදුවිය.

මධ්‍යම රාත්‍රිය ආසන්න වෙද්දී සැකකරු පමණක් නොව නිලධාරීහු ද මහත් වෙහෙසට පත්ව සිටියහ. ඒත් ප්‍රශ්න කිරීම නතර නොවීය. මේ නිසා මින් බේරුමක් නැති බව සැකකරු සිතන්නට ඇත. නිලධාරීහු ද දන්න උපක්‍රම ශිල්ප දමමින් සැකකරුට අත වත් නොතබමින් ප්‍රශ්න කළහ. අවසානයේ මොහු මෙවැනි කතාවක් කීවේය.

“මම ඇත්ත කියන්නම් සර්... එදා රෑ මට මගේ නෝනාගේ කාමරෙන් සද්දයක් ආවා... හීන්සීරුවේ මම නෝනාගේ කාමරයට ගියා කළු පාට ඇඳගත් මිනිහෙක් කාමරේ හිටියා. ඒකා මට ගහලා කාමරෙන් පැන්නා. ඉන් පස්සේ මට මොනවා වුණා ද දන්නේ නැහැ.” සැකකරු කියාගෙන ගියේය. බිරියට අනියම් සැමියෙකු සිටින බවත් දිනක් ඇය පාසල නිමවී එම තරුණයා සමඟ කතාබස් කරමින් සිටින බව තමා දුටු බවත් ඔහු කීවේය.

“තමුසෙ නෝනාව බැන්දේ ප්‍රපෝසල් එකකින් ද?”

“නැහැ. සර් අපි යාළුවෙලයි බැන්දේ...”

නිලධාරීහු ඒ ගැන කතා කරන්නට ද අමතක නොකළහ. සැකකරුගේ පියා අම්බලන්ගොඩ අකුරල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මව විශ්‍රාමික ගුරුවරියකි. දෙන්නට සිටින එකම දරුවා මොහුය. පියා මියයෑමෙන් පසුව මවත් සමඟ පියාට අයිති කල්දෙමුල්ල නිවෙසට පැමිණි මොහු අධ්‍යාපනය ලැබුවේ කොළඹ ඉහළ පෙළේ පාසලකය. උසස් පෙළ ද ඔහු ඉහළින් සමත් විය. කොම්පියුටර් ඩිප්ලෝමාවක් ද හැදැරු ඔහුට සිය බිරිය වූ සඳමාලි හමු වී ඇත්තේ ද එවැනි පාඨමාලාවක් හදාරන්නට යමින් සිටියදීය.

ඉන් පසුව දෙමවුපියන්ගේ කැමැත්ත පරිදි විවාහ මංගල්‍යයක් ද පැවැත්වීය. ඒ 2006 මැයි මස 8 වනදාය. බිරිය සැමියාගේ කල්දෙමුල්ලේ නිවසේ පදිංචියට ආවාය. ඊට අමතරව ඔහුගේ මවත් මෙහෙකාරියත් නිවසේ විසූහ. දෙදෙනා සතුටින් ආදරයෙන් කල් ගෙවු අතර ගුරුවරියක වූ සඳමාලි නිවෙස ආසන්න විදුහලකට මාරුවක් ලබාගත්තේ ඔය අතරය. මීට වසර තුනකට පෙර සිය කුළුඳුල් දරුවා බිහිකළ ඇය මීට මසකට පෙර දෙවැනි දරුවා ප්‍රසූත කළාය. දෙදෙනාට දෙදෙනා දැඩි ආදරයකින් විසු අතර සඳමාලිගේ මවුපියන් හා සොහොයුරන්ට ද මොහු දැඩි හිතවත්කමක් හා ආදරයක් ද දැක්විය. සැමියෙකුගෙන් විය යුතු සියලුම දෑ ද ඔහු බිරියට හා දරුවන්ට නොපිරිහෙළා ඉටු කළේය.

“ඔච්චර ආදරෙන් හිටිය නම්... මොකටද තමුසේ ඔහොම දෙයක් කළේ...” නිලධාරීහු ඔහුගෙන් තව තවත් ප්‍රශ්න කරන්නට වූහ.

“හරි තමුසෙ කොහොමද... අර අහිංසක දරු දෙන්නට එහෙම දෙයක් කළේ...” ප්‍රශ්න කිරීම නතර නොවන බව සැකකරුට දැනිණ.

“උඹ හිතන්න එපා උඹ ඔය කියපු දේ අපි විශ්වාස කරනවා කියලා... එතකොට උඹ මේ ෆෝන් එකෙන් ඊයේ කාටද පැය ගණන් කතා කළේ... අපි සේරම සොයාගෙනයි ඉන්නෙ... ඇත්ත කියපන්...”

නිලධාරීහු ඒ වන විටත් ඔහු සතු ජංගම දුරකථනයට ලැබුණු අංක හා කෙටි පණිවිඩ 141 ක් පමණ සොයාගෙන තිබුණේය. සමහර ඇමතුම් සඳහා විනාඩි 45 ක් පැයක් පමණ ගතවී තිබිණ. කෙටි පණිවිඩ සියල්ලේම වූයේ නොයෙකුත් ආදර වදන්ය.

“මේ කවුද... මේ උඹේ ගෑනි නෙමේනේ... ඇත්ත කියපන්... කවුද මේ කෙල්ල. එයාටත් එන්න කියන්න පොලීසියට... මේකා අපිට බොරුනේ කියන්නේ... එතකොට ඇත්ත හෙළිවෙයි.” උසස් නිලධාරියෙක් සැකකරු බියකරන අදහසින් මදක් ඝෝෂාවෙන් කෑගැසීය. සැකකරු මින් බියට පත්විය.

“අනේ සර් එහෙම කරන්න එපා. මම ඇත්ත කියන්නම්.”

සැකරුගේ හැසිරීම වෙනස් විය. මුහුණ පුරා දහඩිය දැම්මේය. වචන ගොත ගැසුණේය. වේලාව පාන්දර තුනට පමණ ඇත. නිදි වරාගෙන සැකකරුගෙන් ප්‍රශ්න කළ නිලධාරීන් කිසියම් සැනසුම් සුසුමක් හෙළුවේ ඉන් පසුවය.

“ඇත්තම කියන්නම් සර්. මම තමයි සර් නෝනාවයි දරුවොයි මැරුවේ.”

“ඇයි ඒ”

ගල්කිස්ස කොට්ඨාස බාර පොලිස් අධිකාරි රවීන්ද්‍ර කරවිට

“මට මෙයාව කසාද බඳින්න ඕන වුණා. මට මෙයාත් එක්ක ජීවත්වෙන්න ඕන වුණා. මට මෙයා නැතිවම බැරි වුණා. ඒකයි සර් මම මෙහෙම තීරණයක් ගත්තේ”

සැකකරු ඇත්ත කතාව කියන්නේ එතැන් සිටය. ඇඟලුම් ක්ෂේත්‍රයේ නොයෙකුත් තනතුරු දරමින් තැන් කිහිපයක රැකියාව කළ සැකකරු ඒ වන විට සුප්‍රසිද්ධ ඇඟලුම් කම්හලක නියෝජ්‍ය කළමනාකරු ලෙස රැකියාව කළේය. ඔහු තරුණිය හඳුනාගන්නේ ෆේස්බුක් හරහාය. වැඩිකල් නොයාම ඔව්හු පෙම්වතුන් බවට පත්වූහ. 20 හැවිරිදි රූමත් ඇය මීගමුව ප්‍රදේශයේ පදිංචිකාරියකි. එසේම ජාත්‍යන්තර පාසලක ගුරුවරියකි.

“අපි දෙන්නට දෙන්නා ආදරය කළා. පැය ගණන් අපි කතාකළා. ටොරින්ටන් එකේදි හම්බ වුණා.”


“දැන් කොච්චර කල්ද... ඔය කෙල්ලව හම්බවෙලා.”
“සති තුනක් විතර ඇති.”

“ඉතින් ඉන්පස්සේ.”

ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක කමල් පුෂ්පකුමාර
“මට එයාත් එක්ක විවාහ වෙන්න ඕන වුණා. මම බිරියගෙනුයි දරුවගෙනුයි අයින්වෙන්න තීරණය කළා.”

“ඉතින් තමන්ට තිබුණනේ බිරිය දික්කසාද කරන්න.”

“එහෙම කළොත් හැම පැත්තෙන්ම මට දෝෂාරෝපණය එයි කියලා හිතුවා. ඒ නිසා මම තීරණය කළා මෙයාලව මරලා පස්සේ මගේ කෙල්ල කසාද බඳිනවා කියලා.”

ඒ ඉකුත් 16 වැනිදා උදෑසනයි. සිය වැඩිමහල් පුතු සමඟ කටුබැද්ද ප්‍රදේශයේ අවන්හලකට ගොස් දරුවා සමඟ විනෝද වී පැමිණි මොහු එදින නිවසේ වැඩ කටයුතු ද නිමකොට නින්දට වැටුණේ හෙට දිනයේ පිබිදෙන බලාපොරොත්තුවෙනි. මධ්‍යම රැය ගෙවි යමින් තිබුණ ද මොහු අසලකටවත් නිදි දෙව්දුව පැමිණ සිටියේ නැත. මව හා මෙහෙකාරිය තද නින්දේය. හීන් සීරුවේ නැගිට ගත් ඔහු තම බිරිය හා දරු දෙදෙනා නිදා සිටි කාමරයට ඇතුළු විය. තුන්දෙනාම නින්දේය.
අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති එරික් රෝහිත


“මදුරු දැල අයින් කරලා මම බිරියගේ බෙල්ල අල්ලා ගත්තා. එයා දඟලන්න පටන්ගත්තා. ඒත් මම අතහැරියේ නැහැ. ඒ සද්දෙට ලොකු පුතා ඇහැරිලා ආච්චියේ ආච්චියේ කියලා ඇඳෙන් දුවන්න ගත්තා. මම ලොකු පුතාව ඇදලා ආයෙත් ඇඳට දාලා බෙල්ල මිරිකලා ඇල්ලුවා. අනිත් අතින් බිරියගේ බෙල්ල තද කළා.”

මොහොතකින් දෙදෙනාම මරු වැලඳ ගත්හ. ඒත් සිඟිති පුතු තවමත් තද නින්දේය. පුතු අතට ගත් ඔහු සිය බිරියගේ ළැම අසල පුතු තැබුවේය. පුතු මවගේ කිරි බොමින් සිටියදී මියගිය බව ඇඟවීමටය. ඉන්පසු මදුරු දැල එල්ලා එතැන තිබු සුවඳ විලවුන් බෝතලය ඇඳ වටා වත්කොට ගිනිකූරක් ගසා මදුරු දැලට ඇල්ලීය. ඒ සැණින් ගිනි ඇවිලී ගියේය.

“එතකොට මොකද අර ඉටිපන්දමක් පත්තු කරලා තිබුණේ”

“ඉටිපන්දම නිසා මදුරු දැලට ගිනිගත්තා කියලා පෙන්නන්න.”

තම බිරිය හා දරුවන් ගින්නෙන් දැවි යද්දි කිසිදු වගක් නැතිව තම කාමරයට ගිය මොහු නින්දට වැටුණ ද නින්ද තමා අහලකටවත් පැමිණියේ නැති බව ද ඔහු පොලීසියට කීවේය.

පසුදා උදෑසන පිබිදුණු ඔහුට පෙරදා රාත්‍රියේ කළ කී දේ මැවි මැවි පෙනෙන්ට විය. ඒත් ඒ බවක් නොපෙන්වා ඔහු සිටියේය.

“මම දැනගත්තා උදෙන්ම අම්මා නැගිටලා දරුවන්ගේ කාමරයට යන බව... මම ඒ නිසාම අල්ලපු ගෙදරකට ගිහින් හිටියා.”

සිතු පරිදිම ඔහුගේ මව සිය මුණුබුරන් බලන්නට ඔවුන් නිදා සිටි කාමරයට ගියාය. කාමරය දුමින් පිරි ගොස්ය. මින් බියට පත්වූ ඇය කෑගැසුවාය. එසැණින් පිට ගෙදරක සිටි ඔහු ද කලබලයෙන් දිව ආවේය.

“දෙවියනේ මේ මොන අපරාධයක් ද?”

මව මෙන්ම ඔහු ද විලාප දෙමින් හඬා වැලපුණහ. අසල්වාසීන් නිවෙසට පැමිණ සිදුව ඇති විනාශය දැක “අනේ අපොයි” කීහ. සිද්ධිය පොලීසියට දැනුම් දුන්නේ ඉන් පසුවය. පොලීසිය පැමිණ පරීක්ෂණ ඇරැඹීය.

“සමහරවිට පොලීසියත් මාව අරන් යයි ද දන්නෙත් නැහැ.”

ඔහු සිය මවට කීවේය.

“ඒ මොකටද... උඹ කරපු දෙයක් යැයි මේක...”

“ඒ වුණාට පොලීසියට ඕව කියලා වැඩක් නැහැ. එහෙම වුණොත් අම්මා ගෙදර බලාගන්න”

සියල්ල එකින් එක හෙළිවෙද්දී මොහු කියන කතාව තවත් තහවුරු කිරීම සඳහා මොහුගේ පෙම්වතිය ද පොලීසියට කැඳවිණ. තම පෙම්වතා මෙවන් අපරාධයක් කර ඇති බව ඇය දන්නේ එවිටය. ඇය ද සියල්ල පොලීසියට හෙළි කළාය. මොහු විවාහකයෙක් බව තමා නොදන්නා බවත් අද හෙටම මොහු කිසියම් රාජකාරි කටයුත්තක් සඳහා සිංගප්පූරුවට යන බව තමාට කී බවත් ඇය පොලීසියට කීවාය. තමා කතෝලික තරුණියක නිසා ඔහු ආගම පවා වෙනස් කර ළඟදීම තමා විවාහ කරගන්නා බවට පොරොන්දු වී ඇති බවත් ඇය තවදුරටත් කීවාය.

“පොලීසියෙන් ඇවිත් මගෙන් මේ ගැන අහනකම් මම මේ මුකුත් දැනගෙන හිටියේ නැහැ. පත්තරවලින් මේ මරණ ගැන දැනගත්තත් ඒක කළේ මගේ පෙම්වතා කියලා දැනගත්තේ නැහැ. එයා සේරම කළේ බොරු. එයා කසාද බැඳපු කෙනෙක් කියලා දන්නවානම් මම එයාව ආශ්‍රය කරන්නේ නැහැ. මට කිව්වේ එයාට වයස 27 ක් කියලා. දැන් තමයි දන්නේ 31 ක් කියලා...”

සැකකරුගේ මව ද පොලීසියට පැමිණ සිටියාය. ඇය ඒ මොහොතේ හඬා වැලපෙමින් වසර 31 ක් තිස්සේ රැකගත් රහසක් හෙළි කිරීමට ද අමතක නොකළාය.

“මේකා මගේ පුතෙක් නෙමේ සර්... මං හදාගන්න ගත්ත එකෙක්... අපිට දරුවෝ නැහැ... ඒ නිසා අපි මෙයාව හදාගන්න ගත්තේ... මගේ දරුවෙක් මෙහෙම තිරිසන් වැඩක් කරන්නේ නැහැ සර්...”

දෑසින් වැටුණු කඳුළු පිස දමමින් ඇය එසේ පවසද්දී සැකකාර පුත්‍රයා යකඩ මාංචු ද දෑතට දමාගෙන පොලිස් ජීප්රියට ගොඩ වූයේ සිංගප්පූරුවට යන්නට නොව වැලිකඩට යන්නටය.

කොළඹ දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, කොළඹ දකුණ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය මත ගල්කිස්ස කොට්ඨාස බාර පොලිස් අධිකාරී රවීන්ද්‍ර කරවිට, සහකාර පොලිස් අධිකාරි ජේ. එම්. පී. ජයලත් මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක කමල් පුෂ්පකුමාර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති එරික් රෝහිත, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නාලක කුලවංශ ඇතුළු උප පොලිස් පරීක්ෂකවරුන් වූ අනූෂ, හා පාලිත කොස්තාපල්වරුන් වූ කාවින්ද (36147), ජයකොඩි (84052), දිනේෂ් (83794), නුවන් (76257) හා සඳරුවන් (87475) ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණවලට එක්ව සිටියහ.

පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස් විය.

කීර්ති මෙන්ඩිස්


උපුටා ගැනීම  - සිළුමිණ 
  -සබැදිපුවත්-
1.මව හා දරු දෙදෙන ගින්නට බිලි

Gossip Lanka Hot News Previous News Archive