කවුරු ඔළුවෙන් හිටගෙන දැඟලුවත්, පස්ස පැත්තෙන් රූටගෙන කොළඹට ඇවිල්ලා විරෝධය පෑවත්, අපි අන්තර්ජාතික විශ්වවිද්‍යාල මේ රටේ ස්ථාපිත කරන වැඩසටහන නවත්වන්නේ නැතැයි උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කරයි.
දිසානායක ඇමැතිවරයා එසේ පැවැසුවේ ඔහු අධ්‍යාපනය ලැබූ පොරමඬුල්ල මධ්‍ය මහ විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේදීය.
දැන් මේ රට නැඟිටිමින් සිටින වෙලාව. ගතානුගතික අධ්‍යාපන රටාවෙන් බැහැරව වර්තමානයට ගැළපෙන ආකාරයෙන් අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් අනිවාර්යයෙන් සිදුවිය යුතු අවස්ථාවක්. ඒත් එහෙම වෙනසක් කරනකොට විශ්වවිද්‍යාල සිසුන්, ආචාර්යවරුන්, වෛද්‍යවරුන් ඒකට බරපතළ ලෙස විරෝධය දක්වනවා යැයි දිසානායක මහතා පැවැසීය.
70 දශකයේදී අපේ විශ්වවිද්‍යාලවල උපාධිය ලෝකයේ සෑම රටක්ම ඉතා ඉහළින් පිළිගත්තා. එහෙත් දැන් එහෙම නැහැ. දැන් අපේ විශ්වවිද්‍යාලවල තත්ත්වය වඩාත් පහළට බැහැලා. බාහිර උපාධිවල තත්ත්වය ඉතාමත් නරක අතට හැරිලා. මේ තත්ත්වය වෙනස් කරලා විශ්වවිද්‍යාලවල තත්ත්වය ඉහළ නංවන්න ජනාධිපති රුපියල් බිලියන 3ක මුදලක් ලබාදීල තියෙනවා.
දැන් අපේ විශ්වවිද්‍යාල අන්තර්ජාතික මට්ටමේ විශ්වවිද්‍යාල සමඟ තරග වදිමින් ඉහළට ගමන් කරමින් තිබෙනවා. උසස් අධ්‍යාපනය වර්තමාන ලෝකයට ගැළපෙන ආකාරයට, රැකියා ඉල්ලුමට අවශ්‍ය ආකාරයට හැඩ ගස්සමින් පවතිනවා. ලබන අවුරුද්දේ ඉඳලා විශ්වවිද්‍යාල පාඨමාලා ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන්න අපි කටයුතු යොදනවා.
අපේ රටේ අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් කරන්න හදනකොට ඒකට හැම අතින්ම විරෝධතා බලපෑම් එනවා. ශිෂ්‍යයන්, ආචාර්යවරුන්, වෘත්තිකයන් විරෝධය දක්වනවා.
වෛද්‍ය විද්‍යාල ආරම්භ කරනවාට වෛද්‍යවරු විරුද්ධයි. එහෙත් දැන් අපි ඒක කරල තියෙනවා. ඉදිරියටත් වෛද්‍ය විද්‍යාල වගේම අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනයට සාධක වන විශ්වවිද්‍යාල ආරම්භ කරලා අපේ රටේ අධ්‍යාපන ක්‍රමය අදට ඔබින විදියට වෙනස් කරනවා. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපන චින්තනය තව තවත් අර්ථවත් කරනවායිද අමාත්‍යවරයා සඳහන් කළේය.