ලැම්බෝගිනි පෙන්නා, ජනතාවගේ බඩට ගහලා
'ලැම්බෝගිනි’ රේස් සුවයෙන් කුල්මත් වී සිටින ආණ්ඩුව, එක අතකින් ජයඝෝෂා නඟමින් අනිත් අතින් හොර රහසේ ම පෙට්‍රෙල් මිල රුපියල් 10 කින් වැඩිකර, ජනතාවගේ බඩට පහර පිට පහර එල්ල කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසයි.එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා නිකුත්කළ නිවේදනයක එබව සදහන්වේ.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන්වේ.
ශ්‍රී ලංකාවේ මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ දත්තයන්ට අනුව, මේ රටේ දළ වශයෙන් සියයට 70 ක් පෙට්‍රල් වාහන භාවිත වේ. එසේ භාවිත වන පෙට්‍රල් වාහන වලින් සියයට 65 කට වැඩි ප්‍රමාණයක් මෝටර් සයිකල් වන අතර තවත් සියයට 10 කට වැඩි ප්‍රමාණයක් ත්‍රීරෝද රෝද රථ වේ. ඒ අනුව රුපියල් 10 කින් පෙට්‍රල් මිල වැඩිකර, මේ රටේ පෙට්‍රල් වාහන වලින් සියයට 75 ක් වන මෝටර් සයිකල් සහ ත්‍රී රෝද පාවිචිචි කරන අති මහත් බහුතරයක් සාමාන්‍ය ජනතාව ගේ බඩට මේ ආණ්ඩුව ‘ලැම්බෝගිනි’ රේස් සුවයෙන් කුල්මත් වී පහර එල්ල කර ඇත.
ආණ්ඩුව මෙසේ ණය ගෙවාගන්නට බැරිව ගෙළ වැළලා ගෙන සිය දිවි නසා ගන්නට සිදුව ඇති දුප්පත් ජනතාවගේ සාක්කුවෙන් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 10 ක් උදුරා ගැනීම සාහසික ක්‍රියාවක් වන අතර අපි එය හෙළා දකිමු.
සාමාන්‍යයෙන් දිනකට පෙට්‍රල් ලීටර් 2 ක් පාවිචිචි කරන පවුලකට මේ වැඩි කිරීම අනුව මාසයකට වෙනදා ට වඩා රුපියල් 600 ක් පෙට්‍රල් වෙනුවෙන් ගෙවීමට සිදු වනු ඇත. එය තවත් සහල් කිලෝ 10 ක් හෝ සීනි කිලෝ 5 ක් මිලදී ගැනීමට ප්‍රමාණවත් මුදල් ප්රමාණයකි. ඒ දිනකට පෙට්‍රල් ලීටර් 2 ක් පාවිචිචි කරන බවට උපකල්පනය කර ගණන් බලා ඇති අවම තත්ත්වයකදීය. එහෙත්, ප්‍රයෝගිකව මෙම ප්‍රමාණය පවුලෙන් පවුලට වැඩිවනවා මිස අඩු නොවේ.
එක පැත්තකින් මෙවර අය-වැයෙන් රුපියල් 1500 ක් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කළා යයි කියා පුරසාරම් දෙඩූ ආණ්ඩුව, අනෙක් පැත්තෙන් අය-වැය සම්මත කර රස්නය යන්නටත් කලින් පෙට්‍රල් මිල ඉහළ දමා වැඩි කළ වැටුපෙන් අවම වශයෙන් භාගයක්ම දුප්පත් ජනතාවගේ මුදල් පසුම්බියෙන් පික්-පොකට් ගසා ඇත.
එබැවින් අප පෙන්වා දෙන්නේ මෙසේ ආණ්ඩුව ‘ලැම්බෝගිනි’ රේස් වල පෙට්‍රල් වියදම පියවා ගන්නට ජනතා සාක්ක්කුවට දිගින් දිගටම පික්-පොකට් ගසනවා නම්, ජනතාවට සිදුවන්නේ වෙන කිසිවක් නොව ඒ පෙට්‍රල් වලින් ගිනි තබා ගෙන සිය දිවි නසා ගන්නටයි.