කාර් රේස්වලට ගිය මුදල හොයන්න පෙට්රල් මිල වැඩි කළා - UNP General Secretary Tissa Attanayake

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩි බවට බොරු කියමින් කාර් රේස් වෙනුවෙන් වැයවූ මුදල උපයා ගැනීමට පෙට්රල් මිල ඉහළ දමා ඇතැයි එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
ඒ මහතා එසේ කීවේ විපක්‍ෂ නායක කාර්යාලයේ ඊයේ (18දා) පැවැති මාධ්‍ය හමුවකදීය.හමුදා නිලධාරීන්ට පැවැරී ඇති අලුත්ම රාජකාරිය වන්නේ වැලිමුට්ට කර ගැසීම යැයි කී ඒ මහතා මෙසේද කීය.කළම්බො නයිට් රේස් ඒක සඳහා 14 වැනිදා ඉඳලා පාරවල් වහලා. අවුරුදු පතා පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවය ඒ සඳහා අනුග්‍රහ දක්වනවා. මාධ්‍ය වාර්තා කරන ආකාරය අනුව ඒ වෙනුවෙන් රුපියල් මිලියන 200 කට වැඩි මුදලක් වැයවෙලා. රාජකීය පුතුන්ගේ ආශාවල් ඉෂ්ට කරන්න කාර් රේස් පැවැත්වූවා කියලා සාමාන්‍ය ජනතාවට වෙන සෙතක් නෑ. අන්තිමට සිද්ධ වුණේ ඊට වැයවූ මුදල උපයා ගැනීමට පෙට්රල්වල මිල ඉහළ දැමීමයි.

බය ගැන්වීම මඟින් නීතියේ සාධාරණත්වය හා ජනතා මතය යටපත් කිරීමට ආණ්ඩුව උත්සාහ දරන්නේ යැයි කී තිස්ස අත්තනායක මහතා මෙසේද කීය.
'ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජික ගුණරත්න වන්නිනායක මහත්මයාට ඉකුත් දිනෙක මැර තර්ජනයක් එල්ල වුණා. ආණ්ඩු විරෝධී හා දෝෂාභියෝග විරෝධී අයට තර්ජනය කිරීම ඉකුත් කාලය පුරාවටම මේ ආණ්ඩුව කළා. අපි ආණ්ඩුවට කියනවා සුදු වෑන් සංස්කෘතිය ආයෙ ගේන්න එපා කියලා. එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව යටතේ අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට එරෙහිව ගෙන ආ දොෂාභියෝගයේදී පොදුරාජ්‍ය මණ්ඩලයීය විනිසුරු මඬුල්ලක අවශ්‍යතාව සම්බන්ධයෙන් කතා නොකළ බවට විමල් වීරවංශ ඇමැතිවරයා නඟන චෝදනාව ගැන මාධ්‍යවේදියෙක් කළ විමසුමකට මහලේකම්වරයා මෙසේ කීය.

'ඒ දොෂාභියෝගයට අදාළ පොදුරාජ්‍ය මණ්ඩල යෝජනා ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා විසින් අග්‍රාමාත්‍ය කාර්යාලයට වාර්තා කළා. ඒවා ක්‍රියාත්මක කරන අතරතුර පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. විමල් වීරවංශ ඇමැතිවරයා කරුණු හරිහැටි නොදැන කරන ප්‍රකාශ ගැන අපි කනගාටු වෙනවා. අනෙක් අතට නෙවිල් සමරකෝන් මහතාට එරෙහිව දෝෂාභියෝගය ගෙන එන කාලෙ පොදු රාජ්‍ය මණ්ඩල එකඟතා තිබුණෙ නෑ'

Gossip Lanka Hot News Previous News Archive