චෝදනා ඔප්පු කරන්න එකදු ලියවිල්ලක් තිබුණෙ නැහැ- UNP MP and advocate Lakshman Kiriella

තම පාර්ලිමේන්තු දේශපාලන ජීවිතයේ දුටු අශෝභනතම අවස්ථාව, අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විමර්ශනය කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ක‍්‍රියාවලිය යැයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකුද වී සිටී ඔහු, එම කාරණය සදහන් කළේ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදීය.

අගවිනිසුරුවරියට තම නිර්දෝෂීභාවය කීමට පැයක් හෝ නොදී ඇය වැරදි කාරිය කෙළේ කෙසේදැයි කිරිඇල්ල මහතා එහිදී විමතිය පළකර සිටියේය.



'' ඇත්ත වශයෙන්ම සැබෑ ලෙස උත්තරීතර වන්නේ මේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වන අතර ඊට සියල්ලන්ම යටත් බව මගේ ස්ථාවරයයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හැරුණු කොට මේ රටේ කිසිවෙකු උත්තරීතර වන්නේ නැහැ'' යයි ද කිරිඇල්ල මහතා පැවසීය.

දෝෂාභියෝග ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් මෙසේද පැවසිය.

‘‘අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරුණේ 2012 නොවැම්බර් මස 6 වැනිදා වන අතර එතුමිය සහ එතුමියගේ නීතීඥයින්ගෙන් තොරව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ලෙස අප එදිනම රැස්වූවා. ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සාමාජිකයන්ගෙන් යුතු මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව එදා සිට පස් වතාවක් රැස්වුණත් එම කිසිදු රැස්වීමකට අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාවට අදාළ ලියවිලි, සාක්කි සහ සාධක කිසිවක් ඉදිරිපත් කෙරුණේ නැහැ.

ඒ අනුව අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාවට අදාළ ලියවිලි, සාක්කි සහ සාධක වහාම ඉදිරිපත් කරන්නැයි මම එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් සහ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව 2012 දෙසැම්බර් මස 05 වැනි දා මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව රැස්වූ අවස්ථාවේ දී එම දෝෂාභියෝග යෝජනාවට අදාළ ලියකියවිලි 100 ක් පමණ ඉදිරිපත් කෙරුණ අතර පිටු 1000 කින් පමණ යුතු එම ලිපි ගොනුව ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට සහ ඇයගේ නීතීඥයින්ට ලබා දුන්නේ පසුදා සවස 4.30 ටයි. මේ ලිපි ගොනුව අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා සති 5 ක කාලයක් අවශ්‍ය බව අගවිනිසුරුවරියගේ නීතීඥයා වන ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් පැහැදිලිව ඉල්ලා සිටියා.

කෙසේ නමුත් ආණ්ඩුව නියෝජනය කළ එම තේරීම් කාරක සභාවේ සභිකයන් හත් දෙනා එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් ඊට සිය විරෝධය පළ කළා. ඒ අවස්ථාවේ දී අප පුදුමයට පත් වූයේ 2012 දෙසැම්බර් මස 05 වැනි දා මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව රැස්වූ අවස්ථාවේ දී මෙම කරුණු විභාගය සහ විමර්ශනය දෙසැම්බර් 12 දක්වා දිනපතා සිදු කිරීමටත්, දෙසැම්බර් මස 7 වැනි දා මේ සඳහා පාර්ලිමේන්තුවෙන් මාසයක් කල් ගෙන 2013 ජනවාරි මාසයේ දී නැවත එම විමර්ශන කටයුතු ආරම්භ කිරීමට ඉතාම පැහැදිලිව තීන්දු කර තිබූ නිසයි.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට 2012 දෙසැම්බර් මස 6 වැනි දා පැමිණි ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියගේ නීතීඥයින් මේ වැඩකටයුතු සඳහා සති 5 ක කාලයක් ඉල්ලා සිටියත් එම කාලය ලබා නොදුන් නිසා ආණ්ඩුවේ නියෝජිතයින් සහ එම නීතීඥයින් අතර වචන හුවමාරුවක් ඇති වුණා.

ඒ සමග පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නොසන්සුන්කාරී තත්ත්වයක් ගත් අතර ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින්, අගවිනිසුරුවරිය තීන්දු ලබා දුන් පුද්ගලයින් දෙදෙනෙකු ආණ්ඩුව නියෝජනය කරමින් එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගි වී සිටීම සුදුසු නොවන බව පෙන්වා දුන්නා.

කෙසේ නමුත් ආණ්ඩුවේ නියෝජිතයින් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතාගේ එම කරුණු දැක්වීමට එරෙහිව ක‍්‍රියා කළ අතර එම නියෝජිතයින් ඒ අවස්ථාවේ දී ඉතාම නොහොබිනා ලෙස හැසිරුණා. මේ අය එහිදී රටේ අගවිනිසුරුවරියට සහ එතුමියගේ නීතීඥයින්ට අපහාස වන අයුරින් කතා කළ අතර ඒ හේතුවෙන් මේ තේරීම් කාරක සභාවේ තවදුරටත් රැඳී සිටීමට නොහැකි තත්ත්වයක් උදා වුණා.

මගේ පාර්ලිමේන්තු දේශපාලන ජීවිතයේ අශෝභනම අවස්ථාව අගවිනිසුරුවරියට එරෙහි මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ක‍්‍රියාවලිය බව පැහැදිලිව කිව යුතුයි. මේ තත්ත්වය යටතේ යුක්තිය සහ සාධාරණත්වය ඉටු නොවන බව කියමින් අගවිනිසුරුවරියගේ පාර්ශ්වය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් බැහැර වුණු අතර පසුව අප ද එම සභාවෙන් ඉවත්වීමට තීරණය කළා.

අගවිනිසුරුවරියගේ නීතීඥයින්ගේ ඉල්ලීම අනුව ඒ අයට සති පහක කාලයක් ලබා දෙන්නැයි 2012 දෙසැම්බර් 7 වැනි දා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපතිවරයාගෙන් අප ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේ දී එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ සභාපතිවරයා මේ විමර්ශන කටයුතු එදින සම්පූර්ණයෙන්ම අවසන් කරන බව කියා සිටියා. චෝදනා 14 ක නඩු විභාගයක් මෙසේ පැය කිහිපයකින් විභාග කර අවසන් කරන්නේ කෙසේ දැයි ප‍්‍රශ්න කළ අප ඊට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් ඉවත් වුණා.

කෙසේ නමුත් ආණ්ඩුවේ නියෝජිතයින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ලෙස ඒකපාර්ශ්විකව එදින උදේ 11.00 සිට රාත‍්‍රී 9.00 දක්වා රැස්වී අළුයම 4.00 වන විට සියලූ චෝදනා සම්බන්ධයෙන් ඒකපාර්ශ්විකව කරුණු විභාග කර තීන්දු තීරණ ගෙන වාර්තාවක් ද ඉදිරිපත් කළා. එම වාර්තාව මගින් අගවිනිසුරුවරිය අදාළ චෝදනාවන්ට වැරදිකාරිය කර තිබෙන බව පසු දා උදෑසන 9.30 ට කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මේ චෝදනා සඳහා කරුණු ඉදිරිපත් කිරීමටත්, ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමටත්, සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමටත් අගවිනිසුරුවරියට පැයක කාලයක්වත් ලබා නොදී ඒකපාර්ශ්විකව එතුමිය වැරදිකාරිය කළේ කෙසේද?

ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග චෝදනාවට අත්සන් කළ ආණ්ඩුවේ කිසිඳු මන්ත‍්‍රීවරයෙකු ඊට අදාළ ලියකියවිලි, සාක්ෂි සහ සාධක කිසිවක් දැක නොතිබූ බව මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ක‍්‍රියාවලියේ දී පැහැදිලිව ඔප්පු වුණා.

අගවිනිසුරුවරියට එරෙහිව පැමිණිලිකර තිබෙන්නේ ද, එම පැමිණිලි මත නඩු විභාග කරන්නේ ද, එම විභාග මත තීන්දු තීරණ ලබා දෙන්නේ ද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ම වීම අශෝභන ක‍්‍රියාවලියක් බව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපතිවරයාට අප මුල් අවස්ථාවේදීම දැනුම් දුන්නා.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 78/4 යටතේ විශේෂ කාරක සභාවේ සභාපතිවරයාට එම විමර්ෂණ කටයුතු ඇතුලූ වැඩ කටයුතු සඳහා ඕනෑම අයෙකු කැඳවීමට ද, ලේඛණ සහ වාර්තා ඉදිරිපත් කිරීමට ද බලය තිබෙන නිසා මේ විමර්ෂන කටයුතු විශ‍්‍රාම ලත් ශේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් යුතු කමිටුවක් මගින් සිදු කරන්නැයි මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපතිවරයාගෙන් අප ඉල්ලා සිටියත් ඔහු ඒ කිසිවක් පිළිගත්තේ නැහැ.

රටේ අගවිනිසුරුවරුන්ට දෝෂාභියෝග ඉදිරිපත් කිරීම මුළින්ම ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යැයි මේ ආණ්ඩුව දැන් අපට චෝදනා එල්ල කරනවා. හිටපු අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතාට එරෙහිව දෝෂාභියෝගයක් එදා ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ දී ඔහු එම දෝෂාභියෝගයට අදාළ චෝදනාව පිළිගෙන එම ධූරයෙන් ඉල්ලා අස් වූ නිසා ඒ සඳහා නඩු විභාගයක අවශ්‍යතාවයක් මතු වුණේ නැහැ.

කෙසේ නමුත් නෙවිල් සමරකෝන් අගවිනිසුරුවරයා එදා කළ එම ප‍්‍රකාශය මත ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම සඳහා පදනමක් නොමැති බව කියමින් එතුමාගේ නීතීඥයින් හය මසක් මුළුල්ලේ නීති තර්ක ඉදිරිපත් කළා.

ඒ අනුව අගවිනිසුරුවරයා කළ එම ප‍්‍රකාශය මත ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ පදනමක් නොමැති බව කියා සිටි එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති ලලිත් ඇතුළත්මුදලි මහතා, නෙවිල් සමරකෝන් මහතාව එම චෝදනාවලින් නිදහස් කළා.

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඒකපාර්ශ්විකව ක‍්‍රියා කරමින් මේ ආණ්ඩුව වගේ තීන්දු තීරණ ගැනීමට හැකියාව තිබුණත් අග‍්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා එසේ ක‍්‍රියා කළේ නැහැ.

දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට අයිතියක් තිබෙන බව එදා පෙන්වා දුන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, එවැනි අයිතියක් තිබුණත් එසේ දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් අදාළ පාර්ශ්වයට ලබාදිය යුතු යැයි අවධාරණය කළා.

ඒ අනුව සරත් එන්. සිල්වා අගවිනිසුරුවරයාට එරෙහිව ඉදිරිපත් කෙරුණු දෝෂාභියෝග චෝදනාව විමර්ෂනය කිරීම සඳහා එංගලන්තයේ බ්‍රෙනන් සාමිවරයා හමු වී සාකච්ඡුා කර පොදු රාජ්‍ය මණ්ඩලයේ සිටින විශ‍්‍රාම ලත් විනිසුරුවරුන් කණ්ඩායමක් සොයා ගන්නැයි එවකට එංගලන්තයේ, ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ෆයිස් මුස්තාෆා මහතාට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා උපදෙස් දුන්නා.

ඒ අනුව ෆයිස් මුස්තාෆා මහතා බ්‍රෙනන් සාමිවරයා හමු වී මේ විමර්ෂනය විධිමත්ව, සාධාරණව සහ අපක්ෂපාතීව කිරීමට අවශ්‍ය මූලික ක‍්‍රියාමාර්ග ගත් අතර මේ විමර්ශන කටයුතු සඳහා ඉන්දියාවේ හිටපු අගවිනිසුරු චර්මා හෝ ආනන්ද්, එක්සත් රාජධානියේ විශ‍්‍රාමික අභියාචනාධිකරණ මහ විනිසුරු ශ‍්‍රීමත් ෆිලිප් ඔටන් හෝ විශ‍්‍රාමික අභියාචනාධිකරණ මහවිනිසුරු ශ‍්‍රීමත් ක‍්‍රිස්ටෝපර් ස්ටෝටන්, ඕස්ට‍්‍රලියාවේ හිටපු අගවිනිසුරු ශ‍්‍රීමත් ඇන්තනී මේසන් හෝ හිටපු අගවිනිසුරු ශ‍්‍රීමත් ජෙරල්ඞ් බ්‍රේනන්, නවසීලන්තයේ විශ‍්‍රාමික නීතිපති තෝන්ඩන්හි කුක් සාමිවරයා සහ කැනඩාවේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ක්ලෙයාර්, ලෝරියෝක්ස් ඩුබ් මැතිණිය අතරින් තිදෙනෙකු තෝරා ගැනීම සුදුසු බව බ්‍රෙනන් සාමිවරයා අප වෙත ලිඛිතව දැනුම් දුන්නා.

මේ ආණ්ඩුව වගේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එදා සිය පන්දම්කාරයින් යොදා ඒකපාර්ශ්විකව එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභා කටයුතු සිදු කළේ නැහැ. කෙසේ නමුත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය පාර්ලිමේන්තුව විසුරුවා හළ නිසා එම කටයුතු සියල්ල අහෝසි වුණා.

ඇත්ත වශයෙන්ම ආණ්ඩුව මුල සිටම සිතා සිටියේ මේ දෝෂාභියෝග යෝජනාව ඉදිරිපත් කළ විට ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයෙන් ඉල්ලා අස්වනු ඇති බවයි. කෙසේ නමුත් එතුමිය එසේ ඉල්ලා අස්නොවී අභියෝග කළ නිසා අවසානයේ දී ආණ්ඩුව හිර වුණා. ඊට පසුව ආණ්ඩුව කළේ මේ දෝෂාභියෝග චෝදනාවට අදාළ ලියකියවිලි, සාක්ෂි සහ සාධක කෘතිම නිර්මාණය කර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී අගවිනිසුරුවරියට අපහාස කරමින් එතුමිය එම සභාවෙන් එළවා ඒකපාර්ශ්විකව විභාගය සිදු කර තීන්දු තීරණ ලබා දීමයි.

මේ ක‍්‍රියාවලිය ශ‍්‍රී ලංකාවට විශාල අපකීර්තියක් වන අතර මේ ආණ්ඩුව යටතේ මේ වන විටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපට එරෙහිව විවිධ යෝජනා සම්මත වී තිබෙනවා. මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව ගැන තමාට විශ්වාසයක් නැතැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කරන ප‍්‍රකාශයෙන් ද පැහැදිලි වන්නේ මේ ක‍්‍රියාවලියත් සමග ආණ්ඩුව මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වයයි.

පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටක අගවිනිසුරුවරයෙකු හෝ අගවිනිසුරුවරියක එම ධූරයෙන් පහ කිරීම සඳහා දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන්නේ නම් ඊට අදාළ විමර්ශන කටයුතු පොදු රාජ්‍ය මණ්ඩලයේ විශ‍්‍රාම ලත් විනිසුරුවන් තිදෙනෙකුගෙන් යුතු කමිටුවක් මගින් කළ යුතු බව පොදු රාජ්‍ය මණ්ඩලයීය දේශපාලන නායකයින් 2003 දී තීරණය කළා.

සර්ව ආගමික නායකයින් ඇතුලූ රටේ සියලූ පාර්ශ්වයන් ද, මුලූ ලෝකයම ද කියා සිටින්නේ ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග චෝදනාව පොදු රාජ්‍ය මණ්ඩලයීය විශ‍්‍රාම ලත් විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් යුතු කමිටුවක් මගින් විමර්ශනය කළ යුතු බවයි.

පාර්ලිමේන්තුතේරීම් කාරක සභාව අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් ඒකපාර්ශ්විකව ලබා දුන් මේ තීන්දුව ආණ්ඩුව ඉදිරියට ගෙන ගියොත් ජාත්‍යන්තර වශයන් ආණ්ඩුව හුදකලා වන අතර එම තීන්දුව ප‍්‍රතික්ෂේප කළහොත් එම තත්ත්වය ආණ්ඩුවේ අභිමානයට කැළලක් වනවා.

ඒ අනුව අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග චෝදනාව සහ ඒ සම්බන්ධයෙන් කරුණු විභාග කෙරුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ක‍්‍රියාවලිය යන කාරණයේ දී ආණ්ඩුව ගිරයට හසු වූ පුවක් ගෙඩිය හා සමානයි.

ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතාගේ නිවසට නන්නාඳුනන පිරිසක් වෙඩි ප‍්‍රහාර එල්ල කිරීමේ සිද්ධියෙන් ද, නීතීඥ ගුණරත්න වන්නිනායක මහතාට මැර තර්ජන එල්ල කළ සිද්ධියෙන් ද නැවත නැවතත් පැහැදිලි වන්නේ රටේ හිස ඔසවා තිබෙන අවනීතියයි.

ඇත්ත වශයෙන්ම සැබෑ ලෙස උත්තරීතර වන්නේ මේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වන අතර ඊට සියල්ලන්ම යටත් බව මගේ ස්ථාවරයයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හැරුණු කොට මේ රටේ කිසිවෙකු උත්තරීතර වන්නේ නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතිය සහ සාමය ආරක්ෂා වීමට නම් පාර්ලිමේන්තුව, විධායකය සහ අධිකරණය යන ආයතන සහයෝගයෙන් වැඩ කළ යුතුයි. එක් ආයතනයක්, තවත් ආයතනයක් යටපත් කිරීමට උත්සාහ කළහොත් ගැටුමක් ඇති වීම කිසිසේත් වැළැක්විය නොහැකියි.''

Gossip Lanka Hot News Previous News Archive