ඊයේ දිනයේ ඇදහැලුණු වර්ෂාවත් සමඟ කලා වැවේ වාන් දොරටු සියල්ල යළි විවෘත කර තිබේ.කලා වැවේ වාරිමාර්ග ඉංජිනේරු එම්.ආර්. බණ්ඩාර මහතා පැවසූවේ, අවට ජල පෝෂිත ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් තත්ත්පරයට ජලය ඝන අඩි 4989ක් වැවට එක්වන බවය.අඩි 4 බැගින් විවෘත කළ දොරටුවලින් නිකුත් වන ජල ධාරිතාව තත්ත්පරයට ඝන අඩි 4149කි.කලා වැවෙන් නිකුත්වන ජලය කලා ඔය හරහා රාජාංගනය ජලාශයට එක්වන අතර ඒ හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 4ක් ඊයේ යළි විවෘත කෙරිණ.
එම දොරටුවලින් තත්ත්පරයට මුදා හැරෙන ජල ධාරිතාව ඝන අඩි 4500කි.මේ අතර නාච්චිදූව ජලාශය ද වාන් දැමීම ආරම්භ වී ඇති අතර ඒ හේතුවෙන් එම ජලාශයේ ද වාන් දොරටු තුනක් විවෘත කර තිබේ.මේ අතර ඊයේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ පොළොන්නරුවේ ජලාශ කිහිපයක වාන් දොරටු යළි විවෘත කිරීමට සිදුව ඇත.
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු සියල්ල අඟල් 6 බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.මින්නේරිය ජලාශයේ සියලුම වාන් දොරටු අඟල් 7 බැගින් විවෘත කර ඇති අතර කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු සියල්ල ද යළි විවෘත කර තිබේ.මේ අතර වර්ෂාවත් සමඟ වව්නියාවේ වැව් රැසක් ද වාන් දමමින් පවතින බව වාර්තා වේ.
ඒ අතර පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පළාත් කහිපයකට තවදුරත් වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.