ඔස්ට්‍රේලියා-ශ්‍රී ලංකා එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය 3 -Third ODI against Australia


තරගාවලිය 1-1 ක්‌ ලෙස සම තත්ත්වයේ පසුවන ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ පෙරමුණ ගැනීම වෙනුවෙන් වන තීරණාත්මක තෙවැනි එක්‌දින තරගය අද (18 දා) බ්‍රිස්‌බේන්හි වූලන්ගැබා ක්‍රීඩාංගයේදී පැවැත්වේ. දිවා/රාත්‍රී තරගයක්‌ වශයෙන් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 9 ට ආරම්භ වනු ඇත. සජීවීව තරගය නරබන්න මෙතනින්
තරග 5 කින් සමන්විත දෙරට අතර තරගාවලියේ පළමු තරගයෙන් ඔස්ට්‍රේලියාව දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාවද ජය ගැනීම මත අද තරගය දෙපිළටම තීරණාත්මක තරගයක්‌ වනු ඇත. අද තරගයේ ජය වාර්තා කර ගනු ලබන කණ්‌ඩායම තරගාවලිය 2-1 ක්‌ ලෙස ඉදිරියෙන් සිටිමින් ඉදිරි තරග දෙක සඳහා වැඩි නිදහසක්‌ ඇතිව තරග වැදීමේ අවස්‌ථාව හිමිවීම මත අද තරගය දෙපිළටම ඉතාමත් තියුණු තරගයක්‌ වනු ඇතැයි අපේක්‍ෂිතය.


පළමු තරග දෙකේ දී විවේක ගන්වන ලද ඔස්ට්‍රේලියානු නායක මයිකල් ක්‌ලාක්‌, ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සහ කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ් යන තිදෙනාම අද තරගයට ක්‍රීඩා කරනු ලබන අතර එය ඔස්ට්‍රේලියානු පිලේ ශක්‌තිය ඉහළ නංවන්නක්‌ වනු ඇත. ඒ අනුව අද තරගයේදී සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට නම් පෙර තරග දෙකට සාපේක්‍ෂාව වැඩි ශක්‌තියක්‌ යෙදවීම ශ්‍රී ලංකා කණ්‌ඩායමට අනිවාර්ය වනු ඇත.

පිතිකරුවන්ට වඩා වාසිදායක අයුරින් හැසිරෙනු ඇතැයි අපේක්‍ෂිත ගැබා තණතීරුවේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ වේග පන්දු බල ඇණිය ඇඩිලේඩ් තරගයේදී මෙන් නියමිත එල්ලයකට පන්දු යෑව්වහොත් මෙම තරගයේදී වැඩි වාසි ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකා කණ්‌ඩායම සතු වනු ඇත. දෙවැනි තරගයේදී ඇන්ජලෝ මැතිව්ස්‌ සහ නුවන් කුලසේකර දෙදෙනා ඉතා මනා පාලනයකින් යුතුව පන්දු යෑවීම ඔස්ට්‍රේලියානු පිතිකරු බල ඇණිය අඩපණ වීමට මූලික විය.

පළමු තරග දෙකේදී 01 සහ 00 ක්‌ වශයෙන් අසාර්ථක භාවයට පත්වූ ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු උපුල් තරංගව අද තරගයට යොදා ගන්නවාද එසේත් නැත හොත් ඒ සඳහා ආදේශක ක්‍රීඩකයෙක්‌ ක්‍රීඩා කරවනවාද යන්න ශ්‍රී ලංකා තේරීම්වලදී එක්‌ වතාවක්‌ නොව අවස්‌ථා කීපයකදීම අවධානය යොමු කරනවා නොඅනුමානය. එහෙත් ශ්‍රී ලංකා කණ්‌ඩායම මුහුණ දී සිටින ප්‍රධානම ගැටලුව වන්නේ තරංග වෙනුවට ආදේශ කිරීම සඳහා ආරම්භක පිතිකරුවකු සංචිතයේ නොසිටීම වේ.

පළමු තරගය අතරතුරදී ආබාධයකට ලක්‌වූ දිනේෂ් චන්දිමාල්ගේ තත්ත්වය ඊයේ රාත්‍රිය වන විට යහපත් තත්ත්වයක පැවැතුණු අතර එහිදී අද තරගයේදී ඔහුට කිඩා කිරීමේ අවස්‌ථාව ලද හොත් තරංගට ආදේශක ක්‍රීඩකයකු ලෙස ඉනිම ආරම්භ කිරීම නායක මහේල ජයවර්ධන විසින් සිදු කොට කුසල් පෙරේරාව මැද පෙළ පිතිකරුවකු ලෙස ක්‍රීඩා කිරවීමේ හැකියාවක්‌ කණ්‌ඩායම් කළමනාකාරීත්වයට හිමිවනු ඇත. එහෙත් කුමාර් සංගක්‌කාර නොමැතිවීම මත ශ්‍රී ලංකා නායකයා ඉනිම ආරම්භ කිරීම කිසියම් දුරකට අවදානම් තත්ත්වයක්‌ වනු ඇත.

චන්දිමාල්ගේ තත්ත්වය ගොඩක්‌ හොඳයි. ඔහු ඊයේ (පෙරේදා) සිය පුහුණුවීම්වල යෙදෙමින් පන්දුවට පහර දුන්නා. ඔහුට සියයට සියයකින්ම සුව වෙන්න තවත් පැය 24 ක පමණ කාලයක්‌ තියෙනවා. කොහොම වුණත් හෙට දිනයේ වාර්තාවන් බලල තරගයට ක්‍රීඩා කරනවාද නැද්ද යන්න තීරණය කරනවා. යනුවෙන් ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ඊයේ සිය අදහස්‌ පළ කර සිටියේය.

අද තරගය ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස්‌ටද විශේෂ තරගයක්‌ වනු ඇත. මේ වන විටත් එක්‌දින තරග 61 කට සහභාගිවී සිටින මෙන්ඩිස්‌ අද තරගයේදී තවත් කඩුලු 2 ක්‌ දවා ගැනීමට සමත් වුවහොත් එක්‌දින කඩුලු 100 සීමාව ඉක්‌මනින්ම පසු කර ගිය ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට පත්වීමේ අවස්‌ථාව ඔහු සතු වනු ඇත.

අවස්‌ථා 13 කදී වූලන්ගැබා ක්‍රීඩාංගණයේදී එක්‌දින තරගවලට ක්‍රීඩා කර තිබෙන ශ්‍රී ලංකා කණ්‌ඩායම එහිදී ජය ගෙන ඇත්තේ තරග 2 ක්‌ පමණක්‌ වීම තරමක කණස්‌සල්ලක්‌ එක්‌ කරන සිදුවීමක්‌ වේ. එහිදී ඔස්ට්‍රේලියාව සමග තරග 4 කට සහභාගිවී සිටින ශ්‍රී ලංකාව එම අවස්‌ථා 4 දීම ලබා ඇත්තේ පරාජයන් පමණක්‌ වන අතර ලබා ඇති ජයග්‍රහණ ද්විත්වය ඉන්දියාවට සහ සහ දකුණු අප්‍රිකාවට එරෙහිව ලබා තිබේ.

මෙහිදී අද තරගය පිළිබඳවද අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා නායකයා, ප්‍රධාන ක්‍රීඩකයන් නැවත පැමිණියද ඒ සඳහා කණ්‌ඩායම හොඳ සූදානමකින් පසුවන බව සඳහන් කර සිටියේය.

ඔවුන්ගේ උපරිම ශක්‌තිය හෙට තරගයේදී යොදනවා. ඒ නිසා අපි කලින් තරගයට වඩා තරමක්‌ වෙනස්‌ සැලසුම් සහිතව මෙම තරගයට අවතීර්ණ විය යුතුයි. සමහර විට එම සැලසුම් එකකට එකක්‌ වෙනස්‌විය හැකිය. සමස්‌තයක්‌ ලෙස ඔවුන්ගේ අභියෝගයට අපි සූදානම් වෙලා ඉන්නේ යනුවෙන් පැවැසීය.

ඇඩිලේඩ් තරගයේ ලද ජයග්‍රහණය මෙම තරගයට කෙසේ බලපාන්නේදැයි මහේලගෙන් කරන ලද විමසීමකදී, මෙල්බර්න් තරගය පරාජය වුණාට පස්‌සේ අපි හොඳ තත්ත්වයක සිටියේ නැහැ. ඒත් ඇඩිලේඩ් තරගය ජය ගත්තාම අපේ මානසික මට්‌ටම තරමක්‌ ඉහළ ගියා. අපි ඒ තරගයේදී වගේ හොඳ ස්‌ථානවල පන්දු යවමින් හොඳ අවස්‌ථා නිර්මාණය කර ගත හොත් මේ තරගයේදී හොඳ තරගයකදී මේ අවස්‌ථාව තියෙනවා යනුවෙන් පැවැසීය.

Gossip Lanka Hot News Previous News Archive