සිද්ධාර්ථ කුමරුගේ ජීවිතයේ කොපමණ කාලයක් දක්වා මෙම සිනමාපටයේ කතාව ගලා යනවාද?
සිද්ධාර්ථ කුමාරයාගේ උපතේ සිට බුද්ධත්වය දක්වා කාලය ඇතුළත සිදුවීම් තමයි මෙම සිනමාපටයෙන් නිරූපණය කෙරෙන්නේ. බුද්ධත්වයෙන් පසුව කිසිදු දර්ශනයක් එහි ඇතුළත්වී නැහැ. සාමාන්‍යයෙන් සිද්ධාර්ථ කුමාරයා සහ යශෝධරා දේවිය අතර තිබුණු සංසාරගත ආදර බන්ධනය ගැන වැඩිපුර කතාබහ කෙරෙන්නේ නැහැ. ඒ නිසා අපි ප්‍රදීප් රත්නායකගේ සංගීතයක් යොදාගෙන, ඒ ආදර බන්ධනය ගැනත් සිද්ධාර්ථ කුමාරයා ඒ බන්ධනයෙන් මිදෙන ආකාරයත් ඉතා සංවේදීව මෙම චිත්‍රපටයේදී නිරූපණය කිරීමට කටයුතු යෙදුවා.
මෙම චිත්‍රපටයෙන් නිරූපණය කෙරෙන්නේ සිද්ධාර්ථ කුමරු බුද්ධත්වයට පත්වන අවස්ථාව දක්වා වන සිදුවීම පමණයි. එසේනම් චිත්‍රපටයේ නමට ගෞතම යන කොටසත් එකතුකර තිබෙන්නේ ඇයි.?
සිද්ධාර්ථ යන නමින් මීට පෙර ඉන්දියාවේ චිත්‍රපට නිර්මාණයවී තිබෙනවා. අනෙක් කාරණයවන්නේ සිද්ධාර්ථ කියන්නේ ඉන්දියාවේ සුලබව යෙදෙන නමක් වීම. ඒ නිසා සිද්ධාර්ථ යන නම පමණක් යෙදුවොත් චිත්‍රපටයෙන් කියැවෙන්නේ මොන සිද්ධාර්ථ ගැනද කියලා තේරුම් ගැනීමට අපහසු වෙනවා. සිද්ධාර්ථ කුමාරයා ශාක්‍ය වංශයෙන් ගෞතම පරපුරට අයත් වූවකු බව අප නේපාලයේ කළ සංචාරයේදී දැනගත්තා. මේ නමට තවත් වැඩි ගෞරවයක් ලබා දීම සඳහායි අපි “ශ්‍රී” යන ගෞරවාර්ථ පදයත් එක්කොට “ශ්‍රී සිද්ධාර්ථ ගෞතම” යන නම චිත්‍රපටයට යොදාගත්තේ.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ඉන්දියාවේ නළු නිළියන්. ඒ සඳහා අපේ රටේ නළු නිළියන් යොදා නොගත්තේ ඇයි?
අපි එවැනි තෝරා ගැනීමකට යොමු වුණේ ලංකාවේ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ගේ ඇති අදක්ෂ බවක් නිසා නොවෙයි
ඒවා පූජනීය චරිත. අපි එම චරිත සඳහා ලංකාවේ ශිල්පීන් යොදාගත්තානම් ඔවුන් එම චරිත නිරූපණය කළාට පසු තමන්ගේ වෘත්තීය ජීවිතය තුළ විකට චිත්‍රපට ප්‍රේම චිත්‍රපට ආදියේ රඟපෑමට යාමේදී අපහසුතාවලට මුහුණපානවා. මේ නිසාම අපි බොලිවුඩයේ ප්‍රසිද්ධ නම් තිබෙන රංගන ශිල්පීනුත් එම චරිත සඳහා තෝරාගත්තේ නැහැ. මේ නිසායි අපි උතුරු ඉන්දියාවේ රංගන ශිල්පීන්, ශිල්පිනියන් 200ක පමණ පිරිසක් අතරින් මෙම ප්‍රධාන චරිත සඳහා නළු නිළියන් තෝරාගත්තේ. එම රංගන ශිල්පීනුත් මීට පෙර මහා භාරතය, රාමායනය වැනි නිර්මාණවලත් රඟපා තිබූ අයයි. ඒ නිසා ඔවුන් සම්පූර්ණයෙන්ම ආධුනිකයන් ලෙස හඳුන්වන්නට බැහැ.
සිද්ධාර්ථ කුමරුගේ චරිතය සඳහා අවසානයේ තෝරා ගත්තේ ඒ සඳහා ගැළපෙනම රංගන ශිල්පියා යැයි දැන් ඔබට විශ්වාසයක් තිබෙනවාද?
මට හොඳටම විශ්වාසයි සිද්ධාර්ථ චරිත නිරූපණය කරන ගගන් මලික් ඒ සඳහා ගැළපෙනවා කියලා. ඔහු පැහැපත් වර්ණයකින් යුත්, මස් මාළු අනුභව නොකරන, උගත් උතුරු ඉන්දියානු තරුණයෙක්. ඔහු රූප රාමුවල වමේ සිට දකුණට ඇවිදගෙන යනවා දුටුවත් වැටහෙනවා ඔහු එම චරිතය සඳහා සුදුසු බව.
චිත්‍රපටයේ අනෙකුත් චරිත නිරූපණය කරන අය ගැන සඳහන් කළොත්?
ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ යශෝධරා දේවියගේ චරිතය නිරූපණය කරන්නේ අන්චල් සිං. මහා මායා චරිතය නිරූපණය කරන්නේ අන්ශු මලික්. දේවදත්තගේ චරිතය ගෞතම් ගුලාටි. ප්‍රධාන චරිත අතරින් ප්‍රජාපතී ගෝතමියගේ චරිතය සඳහා අපි ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික නිළියක් යොදාගත්තා. ඇය අන්ජානි පෙරේරා. මීට අමතරව සුද්ධෝදන රජතුමාගේ චරිතය රන්ජන් රාමනායකත්, බිම්බිසාර රජතුමාගේ චරිතය ජීවන් කුමාරතුංගත්, නන්ද කුමරුගේ චරිතය රොෂාන් රණවනත්, චන්න ඇමැතිගේ චරිතය සාරංග දිසාසේකරත්, දුෂ්‍යන්ත් වීරමන් පසේනදී කුමරුගේ චරිතයත්,
ඕෂධී හේවාමද්දුම සුජාතාවගේ චරිතයත්, විල්සන් ගුණරත්න අසිත තවුසාගේ චරිතයත් නිරූපණය කරනවා. ප්‍රධාන චරිත හැරුණුවිට අනෙක් සියලු චරිත සඳහා අප යොදා ගත්තේ මෙරට රංගන ශිල්පීන්වයි.
ඉන්දියානු නළු නිළියන් සමග කටයුතු කිරීම අපහසුවක් වුණේ නැද්ද?
ඔවුන් සමග කටයුතු කරද්දී අපට කිසිදු ගැටලුවක් ඇති වුණේ නැහැ. ඔවුන් මාස 5කට වැඩි කාලයක් ලංකාවේ ගත කළා. අපි ඔවුන්ට සිංහල භාෂාවත් හොඳින් ඉගැන්වීමෙන් අනතුරුවයි සිනමාපටයේ රූපගත කිරීම් ආරම්භ කළේ.
චිත්‍රපටයේ තිර පිටපත ලියැවුණේ කොහොමද?
මමත් චිත්‍රපටයේ නිෂ්පාදක, ආසියාවේ ආලෝකය පදනමේ සභාපති නවීන් ගුණරත්න මහතාත් මේ චිත්‍රපටයට අදාළව යම් පිටපතක් රැගෙන මුලින්ම හමුවුණේ ඉන්දියාවේ සුප්‍රකට අධ්‍යක්ෂවරයකු වන ශ්‍යාම් බෙනගල්වයි. ඔහු මෙම චිත්‍රපටය ඉන්දියාවේදී නිර්මාණය කිරීමට කැමැත්ත දැක්වුවා. නමුත් එය බොලිවුඩ් තිරනාටක රචකයකුගේ පිටපතක් අනුව හා නිර්මාණය විය යුතු බවයි ඔහු සඳහන් කළේ. ඒ අනුව බොලිවුඩ් තිර රචකයකු වන අතුල් තිවාරි මාස 3කදී එහි පිටපත ලියා අවසන් කළා. නමුත් ඒ පිටපත කියැවුවාට පසුව අපට අවබෝධ වුණා ඒ තිරපිටපත චිත්‍රපටය සඳහා උචිත නොමැති බව.
ඉන්පසුව වල්‍පොළ පියනන්ද හිමියන්ගේ මඟ පෙන්වීම මත හොලිවුඩයේ ස්ටීවන් ලෝං කියන තිර රචකයා මේ සඳහා පිටපතක් රචනා කළා. නමුත් එම පිටපත සඳහාත් මහා සංඝරත්නය අනුමැතිය නොදෙන බව වැටහුණු නිසා අප ඒකත් ප්‍රතික්‍ෂේප කළා. ඊට පස්සේ තමයි බලංගොඩ ආනන්ද මෛත්‍රීය හිමියන් විසින් රචිත බුදුරජාණන් වහන්සේගේ චරිත කතාව ඇසුරෙන් එඩ්වින් ආරියදාස, චන්ද්‍රරත්නම්, නවීන් ගුණරත්න, ජෝර්ජ් පැල්ඩන් යන මහත්වරු සහ මම එකතුවෙලා මෙහි පිටපත රචනා කළේ.
මෙය බුදුරජාණන් වහන්සේගේ ගිහි කළ ජීවිතය අලලා නිර්මාණය කෙරුණු චිත්‍රපටයක්. එම නිසා එය රූගත කිරීම්වලදී විශේෂ වත් පිළිවෙත්වල යෙදුණාද?
ඇත්තටම මෙය අප කරන පූජාවක් කියලා හිතාගෙනයි අපි මේ චිත්‍රපටයේ වැඩකටයුතු නිමකළේ. චිත්‍රපටය රූපගත කරන විට ඒ වැඩකටයුතුවලට යෙදුණු සියලු දෙනාම දවසකට තුන්වරක් නව අරහාදී බුදුගුණ කියලා ඉතා භක්තියකින් සහ පේවීමකින් යුතුවයි කටයුතු කළේ. මස් මාංශ අපි කිසිම දෙයක් ඒ කාලය තුළ ආහාරයට ගත්තේ නැහැ.
මෙවැනි ඓතිහාසික චිත්‍රපටයක් සඳහා දර්ශන තළ සොයා ගැනීම පහසු කාර්යයක් නොවෙයි. ඔබ ඒ කාර්යය ජය ගත්තේ කොහොමද?
මෙහි රූගතකිරීම් සඳහා වෙනත් රටකට යාමේ අවශ්‍යතාවක් අපිට ඇතිවුණේ නැහැ. මොකද ඉන්දියාවටත් වඩා ඒ සඳහා ගැළපෙන ප්‍රදේශ අපට මෙරටින්ම සොයාගැනීමට හැකිවුණා. සිතුල්පව්ව, සෙල්ලකතරගම, කැලණිය ආදී පූජනීය ස්ථානවලයි ඒ රූගතකිරීම් සිදුකෙරුණේ.
චිත්‍රපටය සඳහා වැයවූ මුදල කොපමණද?
රූගත කිරීම් සඳහා රුපියල් ලක්ෂ 1000ක් පමණ වැය වුණා. “ශ්‍රී සිද්ධාර්ථ ගෞතම” ලංකාවේ වැඩිම මුදලක් වැයකොට නිර්මාණය කළ චිත්‍රපටයක්. ඒ මුදල ලංකාවේදී උපයා ගන්නට හැකිවේද කියලා අපි දන්නේ නැහැ. නමුත් මුදල් බලාපොරොත්තුවෙන් නොවෙයි අපි මේ නිර්මාණය බිහිකළේ.
ලංකාවේ ප්‍රදර්ශනයට සමගාමීව එය වෙනත් රටවලත් ප්‍රදර්ශනය කෙරෙනවාද ?
“ශ්‍රී සිද්ධාර්ථ ගෞතම” භාෂා කිහිපයකින් ඉන්දියාවේ ප්‍රදර්ශනය කිරීමේ සූදානමක් තිබෙනවා. ඒ වගේම ලෝකයේ බෞද්ධ රටවල් 41කිනුත් චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා ඉල්ලා තිබෙනවා. නමුත් මුලින්ම එය ශ්‍රී ලංකාවේදීයි ප්‍රදර්ශනය කෙරෙන්නේ.
උපුටා
ගැනීම - ලක්බිම පුවත්