ලංකාවේ දිනකට ළමා අපචාර 5 ක්‌

ශ්‍රී ලංකාවේ දිනකට ළමා අපචාර 5 ක්‌ සිදු වන බව වාර්තා වන අතර, ඊට වැඩි සංඛ්‍යාවක්‌ වාර්තා නොවන බව "නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය" පවසයි.

සමස්‌තයක්‌ ලෙස රට පුරා පොදු අපරාධ රැල්ලක්‌ වර්ධනය වෙමින් පවතින බවත්, එහි ප්‍රධාන ගොදුරු බවට දරුවන් හා කාන්තාවන් පත්වන බවත් ඊයේ (09 වැනිදා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී "නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ" සභාපති දිමුතු ආටිගල මහත්මිය කීවාය.


දරුවන් හා කාන්තාවන් පිළිබඳ වගකිවයුතු බලධාරීන් අතින්ම මෙවැනි අපරාධ සිදුවීමත්, නීතියේ ආධිපත්‍යය බිඳ දමා තිබීමත්, දරිද්‍රතාව හා පුද්ගල සමාජයේ මානසික පීඩාකාරී තත්ත්වයන් වර්ධනය වෙමින් පැවතීමත් යන කාරණා මේ රටේ දරුවන්ගේ හා කාන්තාවන්ගේ රැකවරණයට බරපතළ තර්ජනයක්‌ වී ඇතැයි ද ඇය සඳහන් කළාය.

රජය හෝ රජයට සම්බන්ධ කිසිම ආයතනයක්‌ මේ රටේ සිදුවන කාන්තා හා ළමා හිංසනවලට එරෙහිව වගකීම් සහගතව අඛණ්‌ඩ මැදිහත්වීමක්‌ නොකරන බව ද ආටිගල මහත්මිය පැවසුවාය.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්‌ඩත්වය වේගයෙන් ඉහළ යමින් පවතින බවත් ඇය අවධාරණය කළාය.

මෙම තත්ත්වයට එරෙහිව තම සංවිධානයේ සාමාජිකයන් පෙළ ගස්‌වමින් රට පුරා උද්ඝෝෂණ, දැනුම්වත් කිරීමේ ව්‍යාපාර, මෙතෙක්‌ සිදු වූ කාන්තා ඝාතන හා අපරාධ පිළිබඳ පර්යේෂණ සිදු කරගෙන යන බව ද ඇය කීවාය.

Gossip Lanka Hot News Previous News Archive