ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 5%කට කැරකෙන ලෙඩේ

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට පහක් පමණ දීර්ඝකාලීන කැරකැවිල්ල රෝගයෙන් පෙළෙතැයි වෛද්‍යවරු ප්‍රකාශ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.කැරකැවිල්ල නමැති රෝගී තත්ත්වය නිසා එම රෝගයෙන් පෙළෙන පුද්ගලයින් සංඛ්‍යාව මෑත කාලය තුළ සීග්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වෙයි.

කණ, නාසය හා උගුර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය එක්ව වෛද්‍යවරු විශාල පිරිසක් සහභාගීත්වයෙන් අද (21) කොළඹ ජාතික රෝහලේ දී කැරකැවිල්ල යන රෝගී තත්ත්වය පිළිබඳව විශේෂ වැඩමුළුවක් පැවැත්විණි.කැරකැවිල්ල ඇති වීමට ඇස්වල ආබාධ, කන් ආබාධ, සන්ධි හා මාංශපේෂී ආබාධ මෙන් ම මොළයේ ආබාධ ද හේතු වී ඇතැයි එම වැඩමුළුවට සහභාගී වූ විශේෂඥ වෛද්‍යවරු පැවසූහ.


සිරුරේ සමතුලිතතාව සියයට 70ක් ම පවත්වාගෙන යනු ලබන්නේ ඇස්දෙක මඟිනි. තවත් සියයට 15%ක් කණ අභ්‍යන්තරයේ පිහිටි කර්ණාලින්දය මඟින් ද ඉතිරි සියයට 15% සිරුරේ වෙනත් අවයවවලින් ද සිදු කෙරේ.


කැරකැවිල්ල නමැති රෝගී තත්ත්වය අවස්ථා කීපයක දී දක්නට ලැබේ. ඇඳේ ඇලවෙන විට හා කෙලින් වන විට තත්ත්පර ගණනක් තුළ පවතින කැරකැවිල්ල සරල ව්‍යායාමයකින් සුවපත් කළ හැකිය. එමෙන් ම කනේ ඝෝෂාව, ඇසීම අඩුවීම සහිතව ඇතිවන කැරකැවිල්ල, අභ්‍යන්තර කණේ පීඩනය වැඩිවීම නිසා ඇතිවන්නකි. එය ඖෂධ මගින් පාලනය කළ හැකිය. හිසරදය, ආලෝකය හා ශබ්දවලට අධික සංවේදී බව සහ වමනය සමඟ කැරකැවිල්ල, ඉරුවාරදය නිසා හටගනී. එය දෛනික චර්යා මඟින් සහ ඖෂධ මඟින් පාලනය කළ හැකිය.


 එමෙන් ම කිසිම වැඩක් කිරීමට නොහැකි ලෙස මුළු දවස පුරා ඕනෑම ඉරියව්වක දී දැනෙන කැරකිල්ල, මානසික ආතතිය නිසා හටගන්නකි. උපදේශන හා ඖෂධ මඟින් මෙය පාලනය කළ හැකිය. එමෙන් ම සෙම්ප්‍රතිශ්‍යාව වැනි ස්වසන ආබාධ නිසා ද ඇතැම් අයට කැරකැවිල්ල ඇති වෙයි.

මේ නිසා රෝගයට ප්‍රතිකාර ගන්නේ නම් අනිවාර්යෙන් ම කණ, නාසය හා උගුර පිළිබඳ වෛද්‍යවරුන් හෝ ස්නායු සම්බන්ධ වෛද්‍යවරුන් වෙත යොමු විය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Gossip Lanka Hot News Previous News Archive