රත්මලාන මව හා දරු දෙදෙන ඝාතනය - සැකකරුගේ පෙම්වතිය සාක්‍ෂි දෙයි

ප්‍රේම සම්බන්ධක් තිබුණා. අවබෝධයක් නැති කමින් සහ වයසත් එක්ක ගැළපෙන්නේ නැතිකමින් මඟ හැරුණා. කාර්යබහුල නිසා විවාහය පහුවුණා කියලත් මදුර කිව්වා'යැයි මාරවිල පදිංචි මීගමුව ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය ඉදිරියේදී පැවැති මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේදී සාක්‍ෂි දෙමින් පවසා සිටියාය.
මෙම මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය පසුගිය දෙසැම්බර් 17 වැනි දින ගෙල සිරකර ගිනි තබා ඝාතනය කරනු ලැබූ මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ගුරුවරියක වන සචේතනා ප්‍රනාන්දු (31), භානුක සිල්වා (3), සඳරු සිල්වා (මාස 1) යන තිදෙනාගේ මරණයන් සම්බන්ධයෙන් පැවැත්විණි.


ඝාතනයන් සම්බන්ධයෙන් ගුරුවරියගේ සැමියා වන මදුර මනුරංග ද සිල්වා යන අය සැකපිට ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර තිබිණි.
මෙහිදී ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරී ජේ. එම්. පී. ජයලත් මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‍ෂි දුන් සාක්‍ෂිකාරිය (සැකකරුගේ පෙම්වතිය) මෙසේ ද සඳහන් කර සිටියාය.

මම පසුගිය වසරේ ප්‍රංශ භාෂාව හැදෑරීම සඳහා කොළඹ 7 ටොරින්ටන් පෙදෙසේ පිහිටි ආයතනයකට පැමිණි අතර එහිදී මෙම සැකකරු මාව දැක තිබෙනවා. දවසක් මගේ ජංගම දුරකතනයේ කෙටි පණිවුඩයකින් කියා තිබුණා මාව හඳුනනවා කියලා. මේ ආකාරයට කිහිප අවස්ථාවකම කෙටි පණිවුඩ තිබුණා.

මම ප්‍රතිචාර නොදක්වා සිට නිතරම මිස් කෝල් තිබෙන නිසා එම දුරකතනයට ඇමැතුමක් ලබා දුන්නා. පසුව ඒ පැත්තෙන් මදුර කියල කෙනෙක් කතා කළා. මම ඇහුවා මගේ දුරකතන අංකය කොහොමද සොයා ගත්තේ කියලා. එවිට මුකුත් කීවේ නැහැ. පසුව, යාළුවෙකුගේ මාර්ගයෙන් ෆේස්බුක් එකෙන් දැන ගත්තා කියලා කිව්වා.

මෙහෙම කිහිප දවසක් කතා කර දිනක් ඔහු හම්බ වී මාව කොටුවට ගිහින් බැස්සුවා. ඒ යන ගමන් ඔහු කිව්වා ඔහු විවාහ වෙලා නොමැති බවත්, පෙරදී ප්‍රේම සම්බන්ධයක් තිබුණු බවත්, එය අවබෝධයක් නොමැතිකමින් සහ වයසත් සමඟ ගැළපෙන්නේ නොමැතිකමින් මඟහැරුණා කියලා. එනිසා විවාහය ප්‍රමාද වුණා. මට දැන් ඔයා සමඟ තමයි ආශ්‍රය කරන්න වෙලා තිබෙනවා. ඔයත් එක්ක ජීවත් වෙන්න සියලු දේවල් තියෙන නිසා දෙදෙනෙක්ට ආදරය කරන්න කියලත් කිව්වා. දෙදෙනා කවුද කියල ඇහුවහම ඔහු සහ ඔහුගේ මව කියලා කිව්වා. දවසක් ඔහු මාව මාරවිලට ඇරලවන්න ගියා. ඒ යන අවස්ථාවේ මුද්දකුයි, පබළුවලින් හදපු මාලයක් සහ වළලු අරන් දුන්නා. පසුව වත්තල මැක්ඩොනල්ඩ් එකෙන් කෑම ගත්තා. ඊට පසු සෙනසුරාදා මම හමුවුණාම කිව්වා ඔහු වැඩ කරන ආයතනයෙන් සම්මානයක් ලැබුණා.

අලුත් කාර් එකකුත් ගන්න ඕන කියලා. මම හමුවෙන හැමදාම එයාට හරියනවා කියලා. මම ආගමේ කෙනෙක් කියල කියපුවහම ඔහු කිව්වා ආගම ඉගෙන ගන්නම් කියලා. පසු දින ඉරිදා මම පල්ලිය යනකොට ජංගම දුරකතනය ගෙදර තියලා ගියා.

මදුර එයට කතා කරලා පසුව සල්ලි දමා තිබුණා. පසුව මම ගෙදර ඇවිත් කතා කළහම ඔහු 'කේසෝන්' එකට යනවා කියල කිව්වා. පසුව මට සෙන්ට් එකක් ඕනද කියල ඇහුවා. මම එපා කියල පසුව හා කියල කිව්වා. හඳුනා ගත්තට පස්සෙ හැමදාම රෑට දුරකතනයෙන් කතා කරනවා. 17 වැනිදා මදුරගේ දුරකතනය වැඩ කරන්නේ නැතිව තිබුණා. මම මැසේජ් එකක් දාල ඇහුවා ඇයි කතා කරන්නේ නැත්තේ කියල, පසුව ඔහු මම දැන් ට්‍රේනින් එකක ඉන්නේ කියල කතා කරන්න බැහැ කියල මැසේජ් එකක් එවා තිබුණා. පසුව ආයතනයේ ලක්‍ෂ ගණනක පාඩුවක් වෙලා තිබෙනවා.

ඒ ගැන හොයනවා, රාත්‍රි 8ට රූපවාහිනිය බලන්න කියලා තවත් මැසේජ් එකක් එවල තිබුණ. පසුව නැවතත් හදිසි පරීක්‍ෂණයක් සඳහා සිංගප්පූරුවට යන්න වෙලා තියෙනවා කියල නැවැතත් මැසේජ් එකක් එවලා තිබූ අතර එය ගුවන්තොටුපොළට යන ගමන් කියලත් කියල තිබුණා. පසුදා පාන්දර මැසේජ් එකක් නැවැතත් එවා තිබුණා. දැන් සිංගප්පූරුවේ ඉන්නේ මේ ආයතනයේ පාඩුව පිළිබඳ ඔයාගෙනුත් ප්‍රශ්න කරයි. ඒක නිසා දුරකතනය විසන්ධි කරගෙන ඉන්න කියල. මම කිව්වා පාසලේ ළමයි කතා කරන නිසා දුරකතනය විසන්ධි කරන්න බැහැ කියලා. ඊට පස්සේ ගල්කිස්ස පොලිසියෙන් කතා කරලා මේ සිද්ධිය පිළිබඳ විස්තරේ කියල අපිට පොලිසියට එන්න කියල කිවුවා.
මියගිය සචේතනා සඳමාලි ප්‍රනාන්දුගේ සහෝදරයකු වන රුවන් චානක ප්‍රනාන්දු මහතා සාක්‍ෂි දෙමින් මෙසේ කීවේය.

මියගොස් සිටින සචේතනා මගේ වැඩිමහල් සොහොයුරිය වන අතර ඇය මීට වසර හයකට පෙර ප්‍රේම සම්බන්ධයකින් විවාහ වූ අතර ඇයට වයස අවුරුදු තුනක සහ මාසයක පුතුන් දෙදෙනෙක් සිටිනවා. ඔවුන් රත්මලාන ගොළුමඩම කල්දෙමුල්ලේ ඔවුන්ගේ නිවෙසක පදිංචි වී සිටින අතර එහි ඇගේ සැමියා වන මදුර සහ ඔහුගේ මව සමඟ මෙහෙකාරිය ජීවත්වෙනවා. එම නිවෙසේ ඇනෙක්ස් එකක් කුලියට දී තිබෙනවා. මදුර බ්‍රැන්ඩික්ස් ආයතනයේ සහකාර කළමනාකරුවෙක් ලෙස සේවය කළා. දෙදෙනා අතර ආරවුලක් තිබුණ බවක් දැනගත්තේ නැහැ. 17 වැනි දින උදේ 7.15 ට පමණ දුරකතන ඇමැතුමක් ආවා මදුරගේ නිවෙසේ ගින්නක් කියලා.


පසුව අම්මයි, තාත්තයි යතුරුපැදියෙන් එහි ගියා. මම බස් එකෙන් ගියා. සිද්ධියෙන් පස්සේ මදුර කල්පනා කර කර හිටියා. බිරිය සහ දරු දෙදෙනා එක කාමරයක සිටි අතර, මදුර වෙනම කාමරයක සිටියා. දෙවැනි දරුවා ඉපදුණාට පස්සෙයි එහෙම හිටියේ. ළමයා පොඩි නිසා එහෙම ඉන්නවා කියලා ඔහු කිව්වා. 17 වැනි දින මළ සිරුර රෝහලට රැගෙන යෑමට කටයුතු කළේ මමයි. මළ සිරුර මරණ පරීක්‍ෂණයේදී හඳුනා ගත්තේ මමයි මදුරයි.


මරණ පරීක්‍ෂණය අවසන් වුණාම මළ සිරුර මුලින් මදුරට බාර දී තිබුණත් පසුව මට බාර දුන්නා. එයට හේතුව මගේ සහෝදරියගේ ගෙල සිරකර ඝාතනය කර ඇති බවට මරණ පරීක්‍ෂණයේදී තහවුරු වීම නිසා මදුරගෙන් ඒ ගැන ප්‍රශ්න කරන්න තියෙන නිසා කියල කිව්වා. මරණ පරීක්‍ෂණයට යන්න කලින් මගේ යාළුවෙක් වන රොෂාන් නමැති අයට රුපියල් ලක්‍ෂ දෙකක් දී මදුර කිව්වා මරණ පිළිබඳ කටයුතු කරන්න කියලා. ඒ සමඟම එයා කිව්වා අවුරුදු තුනේ ළමයා මොරටුව කේසෝන් එකට එක්කගෙන ගියා, කාර් එකේ. එනවිට නින්ද ගිය නිසා ඔසවාගෙන පැමිණ ඇඳෙන් තිබ්බා. ඇඟිලි සලකුණු තිබ්බොත් සැක කරන්න පුළුවන්. මට ඒ නිසා එන්න බැරිවෙයි කියලත් කිව්වා. පසුව 18 වැනිදා පොලිසියෙන් දනුම් දුන්නා මේ ඝාතනවලට මදුර සම්බන්ධයි කියලා පාපෝච්චාරණයකුත් කළා කියල කිව්වා.


මෙහිදී සහකාර පොලිස් අධිකාරී ජයලත් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ සැකකාර මදුරගේ මව නිවෙස අතහැර ගොස් සිටින බවත්, ඉදිරි දිනයේදී ඇය සාක්‍ෂි සඳහා කැඳවීමට කටයුතු යොදන බවත්ය. සියලු කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය මරණ පරීක්‍ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරියාට නොතීසියක් නිකුත් කරමින් වැඩිදුර මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය ලබන 16 දිනට කල් තබන ලදී.




උපුටා ගැනීම  -මව්බිම 


  -සබැදිපුවත්-
1.මව හා දරු දෙදෙන ගින්නට බිලි



Gossip Lanka Hot News Previous News Archive