විශේෂ කාරක සභාවට නීතිමය බලයක් නැහැ - Court of Appeal

 පාර්ලිමේන්තු මහ ලේකම්,කතානායක ඇතුළු තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ට දෙවැනි වරටත් නොතීසි

අගවිනිසුරු,ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග චෝදනා විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කිසිදු නීතිමය බලයක් නොමැති බව අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

අගවිනිසුරු,ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය විසින් ගොනු කරන ලද පෙත්සම් දෙකක් විභාගයට ගනිමින් අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුට එරෙහි චෝදනා විමසුම එකී විනිසුරුවරුන්ගේ අයිතිවාසිකම්වලට හා අධිකරණ පද්ධතියට දැඩි ලෙස බලපෑම් එල්ල කරන බැවින් එවැනි චෝදනා ඇත්නම් විභාග කළ යුත්තේ අධිකරණමය බලයක් ඇති ආයතනයක් විසින් බව අභියාචනාධිකරණය විසින් පෙන්වා දී ඇත.

ඒ අනුව අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විමසීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (1) ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 78 (ඒ) පදනම් කරගෙන බව අභියාචනාධිකරණයේ අදහස වී තිබේ.

එබැවින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 78 (ඒ) යනු නීතියක් නොවන බැවින් ඒ මගින් පත් කරන ලද කමිටුවකට අධිකරණ බලයක් නොපවත්නා බව සඳහන්ය.

එබැවින් අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විමසීම සඳහා පාර්ලිමේන්තුව විසින් කළ යුතුව ඇත්තේ අධිකරණ බලයක් හිමි මණ්ඩලයක් හෝ ආයතනයක් ස්ථාපිත කිරීමයි. 

පෙත්සමේ වගඋත්තරකරුවන්ට ජනවාරි 15 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දෙවැනි වරටත් නොතීසි නිකුත් කළේය. අගවිනිසුරුවරියට එරෙහි දොෂාභියෝග කමිටුව අහෝසි කරන ලෙසත්,දෝෂාභියෝග වාර්ථාව බල රහිත කරන ලෙසත් ඉල්ලමින් ගොනුකර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්,කතානායක ඇතුළු තේරීම් කාරක සභාවේ සාමාජිකයන් නම් කර තිබුණි.

අභියාචනාධිකරණ සභාපති එස්. කන්දරාජා, අනිල් ගුණරත්න,ඒ. ඩබ්ලිව්. සලාම් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණ අනුව මෙම නියෝගය ලබාදී තිබේ.




මේඅතර අද ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට පැමිණ සිටි දේශපාලඥයින් පිරිසක් අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග චෝදනා විභාගය සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුව පිළීබඳව අදහස් පළ කළේය.
 නීතිය බල්ලට දාලා පාර්ලිමේන්තුවත් හෑල්ලු කරලා !




Gossip Lanka Hot News Previous News Archive