සියලු සත්වයෝම පවතින්නේ ආහාර නිසයි.එම නිසාම බුදුරජාණන් වහන්සේ “සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා” යනුවෙන් දේශනා කළ සේක. උපන් සත්ත්වයන්ගේ පැවැත්ම පිණිසද, ඉපදීම අපේක්ෂා කරන සත්ත්වයන්ගේ අනුග්‍රහය පිණිසද ආහාර අවශ්‍ය බව සංයුක්ත නිඛායේ අභිසමය සංයුක්තයේ සඳහන් “ආහාර සූත්‍රයේත්” එම සංයුක්තයේම සමා වර්ගයේ එන “පුත්ත මාංස සූත්‍රයේත්” ඉතා පැහැදිලිව සඳහන් වන්නේය. ඊට අමතරව උසස් මනසක් ඇතැයි අර්ථය ලත් මිනිසාටත්, තිරස්ව ගමන් කරන අර්ථය ලත් තිරිසන් ගත සත්ත්වයාටත් පොදු වූ මූලික අවශ්‍යතා සතරක් ඇත. ආහාරය, නින්ද, බියෙන් සැකෙන් තොරව විසීම හා මෛථුන්‍ය එම මූලික අවශ්‍යතා සතරයි. ඉන් පළමු වැන්න වන්නේද ආහාරයයි. ආහාරයෙන් සිදුවන්නේ මිනිසාගේ සාපිපාසාවන් සන්සිඳුවීමයි.
“ආහාර සූත්‍රයට” අනුව ආහාර වර්ග සතරක් ඇති බව බුදු හිමියන් දේශනා කළ සේක. කබලිංකාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සචේතන ආහාර සහ විඥාන ආහාර එම ආහාර සතරයි. විශුද්ධි මාර්ගයේ සමාධි නිර්දේශයට අනුව “කැබලි කොට ගිලිනා අර්ථයෙන් කබලිංකාරාහාරයයි” කියති. එනම්, බත් හා ව්‍යාංජන ආදිය උයා පිහා අනුභව කළ යුතු බැවින් ඒවාට කබලිංකාර අහාර යයි කියනු ලබයි. ඒ අනුව කබලිංකාර අහාර යනු අපි එදිනෙදා ජීවිතයේ දී කන බොන සියලු දේවල්ය. මහා භූත රූපයන්ගෙන් තැනුණු පංච ඉන්ද්‍රියයන්ටත්, එම ඉන්ද්‍රීය පාලනය කරනු ලබන මානසික ශක්තියටත් ආයු, වර්ණ, සැප, බල හා ප්‍රඥා ලබා දෙන්නේ ආහාර පානයන්ය.
ලොව පවතින සෑම දෙයක්ම ආස්වාද හා ආදීනවවලින් යුක්තය. බුදුවරුන් ලොවට අටලෝදහම දේශනා කරනුයේ මෙය පසක් කර වීමටය. ආස්වාදයේ ළාමක බවත්, ආදීනවයේ භයංකාර බවත් බුදු දහමේ නිතර සඳහන් වේ. රස තෘෂ්ණාව ද මේ ස්වභාවයෙන් යුක්ත වේ. ආස්වාද මාත්‍රයක් ඇති රසය තුළද, සත්ත්වයා සතර අපාය තෙක් ඇද ගෙන යාමේ හැකියාව ඇති ආදීනව ගොන්නක් ඇත.
රස තෘෂ්ණාවේ ගැලී සිටීමේ හා එහි ආදීනව පැති කිහිපයක් ඔස්සේ පැතිර යයි. එම සියල්ල හකුලුවා ගත් කල ලෞකික හා ලෝකෝත්තර වශයෙන් දෙයාකාර වේ. ලෞකික අර්ථයේ ආදීනව කේෂත්‍ර කිහිපයක් ඔස්සේ විග්‍රහ කළ හැක.
රස තෘෂ්ණාවට ලොල් වූ මිනිසා මස් මාංශ අනුභව කිරීම ලෞකික අර්ථයේ එක් පැතිකඩකි. තිරිසන් සතුන් මෙන්ම ඇට-ලේ-මස්-සම්- නහර ආදියෙන් නිර්මාණය වූ, එහෙත් එකී තිරිසන් සතුනට වඩා මනසින් උසස් යැයි සම්මත මිනිසා තම කුස පුරවා ගැනීමට කොතෙක් නම් තිරිසන් සතුන් මරන්නේද? මිනිසාට දුක් වේදනා රෝගාබාධ ගෙන දෙන හේතු අටක් පිළිබඳව “මිලින්ද ප්‍රශ්නය” නම් කෘතියේ “කර්මකෂය ප්‍රශ්නයේ” සඳහන් වන අතර එම හේතු අටෙන් එකක් වන්නේ විෂම අහාර ගැනීමයි බටහිර හා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව සත්ත්වයා ලෙඩ කරවන ප්‍රධාන හේතුවක් ලෙස විෂම ආහාර ගැනීම පිළිගැනේ. ඉන් විෂම ආහාර වන්නේ මස් මාංශ, තෙල් අධික ආහාර හා පැණි රස ආහාරයි. එයිනුදු මස් මාංශ භාවිතය ප්‍රධාන තැනක් ගනී.
කිසියම් සතෙක් මරනාසන්නයේ සිටින විට එම සත්ත්වයා සිටින්නේ විශාල බියකින්, තැති ගැන්මකින් හා ක්‍රෝධයකින්ය. එම අවස්ථාවේදී එකී සත්ත්වයාගේ රුධිරයට “ස්ටියරොයිඩ්” නම් හෝමෝනය අති විශාල ප්‍රමාණයක් එකතු වේ. එම හෝමෝනය අධික ලෙස එකතු වන විට ශරීරයට නොයෙකුත් හානිකර බලපෑම් ඇතිවන අතර එම මාංශ ආහාරයට ගත්විට මිනිස් ශරීර අභ්‍යන්තරය ද නොයෙක් රෝගවලට ගොදුරු වනු ඇත. කායික රෝග ගණනාවකට අත වනන මස් මාංශ අනුභවය මානසික රෝග ගණනාවක් වැළඳීමේ මාර්ගය එළිපෙහෙළි කරයි. මාංශ ආහාර මිනිස් සිරුරේ ඇති “ඇඩ්‍රිනලීන් හා නොඇඩ්‍්‍රනලීන්” වැනි ස්නායු උත්තේජකයන් නිකුත් කිරීම වැඩි කරයි. ඒ මඟින් පුද්ගලයා තුළ කලහකාරී ස්වභාවයක් ඇති කරයි. එවන් කළහකාරී තත්ත්වයන් ඇතිවීම මත මිනිසා අපරාධවලට පෙළඹීම වර්ධනය වනු ඇත.
මිනිසාගේ පරිභෝජනය උදෙසා සතුන් මැරීමේදී ඇතිවන සාහසිකත්වය හා කෲරත්වය පිළිබඳව අමුතුවෙන් කිවයුතු නැත.
යම් අයෙක් එකී මාංශ අනුභව කරන්නේ නම් ඔහු හෝ ඇය මෙම සාහසිකත්වයේ හා කෲරත්වයේ කොටස් කරුවන් වී තිබේ. මස් මාංශ අනුභව කරන්නාගේ සිත තුළ සාහසිකත්වය හා කෲරත්වය වර්ධනය වන්නේ ඔහුට හෝ ඇයට නොදැනීමය.
මෛත්‍රිය, කරුණාව, දයාව, අනුකම්පාව වැනි මානුෂික ගුණ ධර්මයන් එම පුද්ගලයන්ගෙන් පළා යයි. තරහාව ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පලිගැනීම වැනි පාපතර අරමුණු පුද්ගල සිත තුළ හට ගනී නම් මිනිසා අපරාධයන්ට යොමු වන්නේ එකී අකුසල මූලයන් සිත තුල වඩාත් වර්ධනය වනවාත් සමඟය. එම මාංශ අනුභව කරන පුද්ගලයාගේ මනස විකෘති කිරීමට ද එය හේතුවනු ඇත. මස් මාංශ අනුභවය නිසා මනස විකෘතිව යම් යම් අපරාධ හා කෲරකම් කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ඕනෑතරම් සොයා ගත හැක.
අතීතයේ මිනිසාට තිබුණේ තණ්හාව, කුසගින්න හා වයසට යාම කියන රෝග තුන පමණයි. නමුත් මිනිසා තිරිසන් සතුන් මරාගෙන කන්නට පටන් ගත් දවසේ පටන් අට අනූවක් රෝග, නව අනූවක් ව්‍යාධි, දෙසිය හතරක් අන්තරාවලට ගොදුරු වූ බව බුදු පියාණන් වහන්නේ බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේදී දේශනා කළ වදාළා.
පංච ශීිල ප්‍රතිපත්තියෙන් ඉවත් වූ මිනිසා වර්ථමානය වන විට තම පංච විධ සම්පත් අහිමි කරගෙන ඇත. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන තම පංචවිධ සම්පත් අහිමි කරගත් මිනිසා සතුන්ගේ මස් මාංශ අනුභවය නිසා එම සතුන්ගේද පංචවිධ සම්පත් විනාශ කර තිබේ. මේ ආකාරයට දීර්ඝ කාලයක් මිනිසා නොපණත් කම් කරනවිට ස්වභාව ධර්මයා පවා කම්පාවනු නිසැකය. වර්තමානයේ ස්වභාව ධර්මයා මිනිසාට එරෙහිව ආයුධ අතට ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. සත්ත්ව කර්මාන්තය, සත්ත්ව ඝාතනය හා සත්ත්ව මාංශ අනුභවයත් මීට ප්‍රධාන හේතුවක් වෙයි. වර්තමානය වන විට වෙනත් කවරදාකටත් වැඩියෙන් මිනිසා පාරසරික හා කාලගුණික වෙනස්කම් වලට ගොදුරු වී තිබේ. සෑම දිනකම අසරණ සතුන් ලක්ෂ ගණනක් මරන නිසා, එම සතුන්ගේ මර අඳෙීනාව, වෛරය ක්‍රෝධය මේ විශ්වයට එක්වෙති. මේ විදිහට ස්වභාව ධර්මයට මිනිසා එරෙහි වන්න, වන්න ස්වභාව ධර්මයා ද මිනිසාට එරෙහිව ආයුධ අතට ගනු ඇත. නියඟ,ජල ගැලීම්, ලැව් ගිනි, භූමිකම්පා, සුනාමි, සුලි කුණාටු වැනි ස්වභාව ධර්මයාගේ ආයුධවලින් මිනිසාට පහරදීමට පටන්ගෙන තිබේ. ඒ නිසා මේ ගැන මදක් සිතන්න.
ආහාරය මූලික අවශ්‍යතාවයක් වූවත්, එම ආහාරය නිවැරිදිව තෝරා නොගැනීම නිසා සමාජයේ ජීවත් වීමට ඇති අනෙකෙකුගේ ජීවත්වීමේ අයිතිය ද බලහත්කාරයෙන් උදුරා ගනී. බුද්ධිමත්ව සිතන්න. සියලුම සතුන්ට ජීවත්වීමේ අයිතියක් ඇති බව සිතන්න. අනුන්ගේ මසක් කෑම ගැන අපි ලැජ්ජා විය යුතුයි. අපි ලබාගත් උතුම් මනුෂ්‍යත්වය හේතුකොටගෙන මේ සංසාර ගමනේ පාරමිතා පුරවන්නට පුළුවන් බව මෙනෙහි කරන්න. නව වසරේ මස් මාංශයෙන් වැළකී සිටීමට තීරණය කරගන්න. ගන්නා ආහාරය, තමන් අපරාධයකට, කෲරත්වයට,සාහසිකත්වයට පොළඹවන දෙයක් කර නොගන්න.
කිසිම සතකු නොමරවමි. මම ද නොමරමි යන මතයෙන් ජීවත්වීම උතුම් මනුශ්‍යත්වයක් බව වටහා ගන්න.
උපුටා ගැනීම-දිනමිණ