නීතිඥ වර්ජනයෙන් රටේම උසාවි වැසේ

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට විරෝධය පෑමක් වශයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය 'අදත්-හෙටත්' සිය වෘත්තීයමය කටයුතුවලින් බැහැර වීමට තීරණය කොට තිබේ. 
මෙකී තීරණය අනුව මේ දෙදින තුළ මුළු රටේම නඩු විභාග කිරීමක් සිදුනොවනු ඇත. දෝෂාභියෝගයට දැඩි ලෙස විරෝධය දක්වන මහෙස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරු සංගමය පැවැසුවේ නීතිඥවරුන් සිය වෘත්තීයමය කටයුතුවලින් බැහැර වන විට අධිකරණවල කටයුතු නොකෙරෙන බවයි.

අගවිනිසුරුවරියට එරෙහිව ගොනුකර ඇති දෝෂාභියෝගයට අදාළ වාර්තාව ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයකර ඇති හෙයින්, එය ක්‍රියාත්මක කිරීම ව්‍යවස්ථා විරෝධී බව පෙන්වාදෙන මහෙස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන්ගේ සංගමයත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයත්, රජයේ ක්‍රියා පිළිවෙත හෙළා දකිමින් එය නතර කරන ලෙස රජයට දන්වා ඇත.

රජයේ මේ පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය රට පුරා ඇති අධිකරණවල නීතිඥයන්ට වෘත්තීයමය කටයුතුවලින් බැහැරවන ලෙස දන්වා තිබේ.

ව්‍යවස්ථා විරෝධී දෝෂාභියෝග ක්‍රියාව නතර කරන ලෙස ජනාධිපතිවරයාගෙන් පාර්ලිමේන්තුවේ කතානායකවරයාගෙන් සහ දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා ඇති අතර අධිකරණයේ තීන්දුවට ගරු කරන ලෙසද නීතිඥ සංගමය ඉල්ලීමක් කර තිබේ.

රටේ ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමට, ව්‍යවස්ථාවෙන්ම බලය පවරා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව පෙන්වා දෙන මෙම සංගම් දෙක, එය නොතකා දෝෂාභියෝගය ක්‍රියාත්මක කිරීමෙන් රටේ නීතියේ ආධිපත්‍ය අහෝසි වී අවනීතිය ව්‍යාප්ත වන බව සංගම් දෙකම අවධාරණය කර ඇත.

Gossip Lanka Hot News Previous News Archive