මර්වින් ඉතාමත් හොඳ කෙනෙක්, උපදෙස් දෙන්නේත් බුදු දහමේන් - කැලණිය ශ්‍රී ල. නි. ප. කාන්තා සංවිධානයේ සභාපතිනි

ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා කැලණිය ආසනයේ ශ්‍රී ල. නි. ප. ප්‍රධාන සංවිධායක ලෙස තවදුරටත් තබා ගන්නයි ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ල. නි. ප. බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමේ පෙත්සමකට අස්සන් ගැනීමේ ව්‍යාපාරයක් කැලණිය ශ්‍රී ල. නි. ප. සාමාජිකයන් පිරිසක් ආරම්භ කොට තිබේ.

කැලණිය ශ්‍රී ල. නි. ප. කාන්තා සංවිධානයේ සභාපතිනි දමයන්ති පෙරේරා මහත්මිය අදහස් දක්වමින් මෙසේ පැවසුවාය. මර්වින් සිල්වා ඇමැතිවරයා ඉතාමත් හොඳ කෙනෙක් වගේම ඉතාමත් දක්ෂ ඇමැතිවරයෙක්. එතුමා සෑමවිට අපට උපදෙස් දෙන්නේත් බුදු දහමේ යහපත් කරුණු සමඟයි.


ඔහු මිනිස් ඝාතකයෙක් නොවෙයි. මඩවල ඝාතනය සම්බන්ධයෙන් ඇමැතිවරයාගේ නම ගාවාගෙන තියෙන්නේ එතුමාගේ විරුද්ධවාදීන්. ඒ අයගේ ද්වේෂ සහගත සිතුවිලි ජනතාව අතරට ගෙනයෑම සඳහායි. අපි මර්වින් ඇමැතිවරයා වෙනුවෙන් පෑනකින් නොව ලේවලින් වුවද පෙත්සම් අස්සන් කර ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීමට සූදානම්. දැනට කැලණියේ සෑම ප්‍රදේශයකම මේ පෙත්සමට අස්සන් ලබා ගන්නවා.

කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයකු වන එන්. පී. රෝහිත (රාජු) මෙසේ පැවැසීය. මර්වින් ඇමැතිවරයා නැවත කැලණියට අවශ්‍යයි කියන පෙත්සමට දැනටමත් හුනුපිටිය ප්‍රදේශයෙන් පමණක් දහසකට වැඩි පිරිසක් අස්සන් තබා තියෙනවා. කැලණියේ සෑම ප්‍රදේශයකම මෙවන් පෙත්සම් අස්සන් කිරීමට සිදුවනවා.

පෑලියගොඩ ප්‍රදේශයේ ජනතාවගෙන් එම පෙත්සම සඳහා අස්සන් ලබාගැනීම පෑලියගොඩ නගරාධිපති නිහාල් ආනන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවන බවත් කීය.

Gossip Lanka Hot News Previous News Archive