දැරියන් දෙදෙනා දූෂණය කර බිරිය මැරූ - නරුම තාත්තා

ඉකුත් දෙසැම්බර් විසිතුන් වැනිදා රාත්‍රියේ 119 හදිසි ඇමතුම් අංශය මගින් කඹුරුපිටිය පොලිසියට දුන් දුරකථන ඇමතුමකි.

“ගෑනු කෙනකුට පහර දීලා....” ලැබුණු ඇමතුම ඒ මොහොතේ රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි උප පරීක්ෂක ගුණරත්න වෙත ලැබෙන්නට සැලැස්විණි.

“හරි අපි එතැනට යන්නම්....” නිලධාරීන් රැගත් ජීප් රිය කඹුරුපිටිය අකුරැස්ස පාරේ නැම්මහේන හන්දියෙන් දකුණට හැරී ගතාර පාරේ කැරකෝප්පුව හන්දිය පැත්තෙන් දකුණට හැරී ගතාර අක්කර පහ ඉඩමට සේන්දු විය.

කටුමැටි ගහන ලද නිවෙසේ වහල ටකරං සෙවිලි කර ඇත. උප පරීක්ෂක ගුණරත්න දල්වාගත් විදුලි පන්දම නිවෙස තුළට එල්ල කළේය. කිසිවකු බිම වැටී ඇති අයුරු ඔහුට නිරීක්ෂණය විය. ඔහු වහා කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇමතීය.


“සර්... ගැහැනු කෙනෙක් වැටිලා ඉන්නවා...හැම තැනම ලේත් තියෙනවා...” “හරි ඉන්න මම දැන්ම එනවා...” ස්ථානාධිපතිවරයාද ඒ සැණින් සිද්ධිය වූ තැනට යන්නට සූදානම් විය. නිවෙසේ පිටුපස දොර පියන් වසා ඇත. දොර විවර කරගෙන නිලධාරීහු නිවෙස වෙතට ඇතුළු වූහ. උළුවස්ස අසල වැටී සිටි කාන්තාව මිය ගොසිනි. එතැනම අලවංගුවකි. කවුරුන් විසින් හෝ ඇය ඝාතනය කර ඇත. මරා දැමුණු ඇය ගමගේ මාලනී යනුවෙන් හඳුනාගැනීමට හැකිවිය.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙද්දී ගල්කිස්ස පොලිසියෙන් කඹුරුපිටිය පොලිසියට පණිවුඩයක් ලැබිණි.

“ඊයේ කාන්තාවකට පහර දුන්නා කියන සිද්ධිය සම්බන්ධ සැමියා පොලිසියට ඇවිත් බාර වෙලා ඉන්නවා.”

“පහර දුන්න ගැහැනු කෙනා මැරිලා... ඔය මනුස්සයව අත්අඩංගුවට ගන්න... අපි මිනිහව අරගෙන යන්න එනවා...” සැකකරු පසු දිනම කඹුරුපිටිය පොලිස් නිලධාරීන් විසින් සිය බාරයට ගෙන ආ අතර ඉන් පසුව ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන ලදී.

සැකකරු අධික ලෙස මත්පැන් පානයට පුරුදුවී සිටි අයෙකි. ප්‍රාදේශීය සභාවේ ආදේශක මුරකරුවකු වූ ඔහුට දාව මියගිය මාලනීට දියණියන් දෙදෙනෙකි. ඊට අමතරව ඇයට තවත් වැඩිමල් දියණියකි. ඒ ඇගේ මුල්ම කසාදයෙන් ලැබුණු දරුවාය. විවාහ වී සිටින ඇය ගල්කිස්ස පැත්තේ පදිංචිව සිටියාය.

මියගිය මාලනීට සැකකරුට දාව ලැබුණු දරුවන්ගෙන් වැඩිමලාට වයස අවුරුදු දාහතරකි. ඇය මානසික ආබාධයකින් පෙළුණාය. දෙවැනියාට වයස අවුරුදු දහ තුනකි. ඇය අටවැනි වසරේ ඉගෙනුම ලැබුවාය.

උදෑසන අවදිවන මාලනී දරුවන්ට කෑම පිස දෙවැනි දියණියට පාසලට යෑමට අවශ්‍ය සියලු වැඩ ඉටුකොට අලුයම පහ ආසන්න වෙද්දී රැකියාව සඳහා යන්නීය. ඉන් පසුව ගෙදර තනිවන්නේ මන්ද මානසික දියණිය හා සැමියා පමණි.

මත්පැන් බොමින් සිය ජීවිතය ගෙවන ඔහු මන්ද මානසික දියණියගේ රැකවලා ද විය. බිරිය එනතුරු ඇය රැක ගන්නේ ඔහුය.

කෙසේ වෙතත් රස්සාවට වත් හරි හැටි නොයමින් මත් වතුරින් සප්පායම් වන ඔහු නිතර දෙවේලේ මාලනී හා අඩදබර ඇති කර ගන්නේය. ඒ මුදල් ඉල්ලමින්ය.

පහර කෑමට ඇති බිය නිසා ඇය ඔහු සමඟ ආරවුලකට පැටලෙවෙන්නේ නැත. ඒ තරම්ම ඇය සැමියාට දැක්වූයේ බියකි. මේ නිසා ඇය සැමියා කරන කියන දේ දෑසට නොපෙනෙන්නාක් ලෙස ජීවත් වූවාය.

“එදා මම රුපියල් දාහක් ඉල්ලුවා කඩේ ණය ගෙවන්න ඕන කියලා...එතකොට මට එයා කුණුහරුපෙන් බැන්නා... අතින් පාරක් ගැහුවා. මට කේන්ති ගියා. මම අතට අහුවුණු උදැල්ල අරගෙන ඔළුවට දෙපාරක්ම ගැහුවා.”

“එයා එතැනම වැටුණා. සද්දයක්වත් නැහැ. දුව කිව්වා තාත්තේ අම්මගේ ඔළුවෙන් ලේ ගලනවා කියලා. මම බැලුවා ලේ යනවා. ඒත් කතා කළේ නැහැ. මට තේරුණා එයා මැරිලා කියලා. මම ෂීට් එකකින් බිරියගේ සිරුර වහලා දුවවත් ලෑස්ති කරගෙන දොරවල් ජනෙල් වහලා රෑ අටට විතර ගෙදරින් පිට වුණා. මම රෑම ගල්කිස්සේ ඉන්න ලොකු දුවගේ ගෙදර ආවා.”

“මම ගිහින් දුවට කිව්වා අම්මා මාත් එක්ක රණ්ඩු වුණා. මම අම්මට ගැහුවා. අම්මා උළු වස්සේ වැදුණා මම දොර වහලා ආවා” සැකකාර සැමියා ප්‍රශ්න කරද්දී පොලිසියට කීවේ මෙවන් කතාවකි.

“ලොකු දුවගේ ගෙදරදී බෑණා මට අතින් දෙපාරක් ගැහුවා.ඊට පස්සේ සවල ගත්තා ගහන්න... ගිහින් පොලිසියට බාර වෙන්න කිව්වා...” ඒ අතරතුර වැඩිමල් දියණිය විසින් 119 හදිසි ඇමතුම් අංශයට ද මේ බව දැනුම් දීමක් කර තිබේ. කඹුරුපියිය පොලිසියට ලැබෙන්නේ ඒ ඇමතුමයි. ඉන්පසුව සැකකරු ගල්කිස්ස පොලිසියට බාර වී සිටියදී ඔහු විසින් පහර දුන් බිරිය මිය ගිය බවට අනාවරණය විය.

සැකකාර සැමියාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කුස්සිය පිටුපස කැලෑ කොටසට විසි කරන ලද බිරියට පහරදුන් බව කියන උදැල්ල සොයා ගැනීමට පොලිසියට හැකිවිය. සැකකරු ඉන් පසුව අධිකරණයට ඉදිරිපත් කොට රිමාන්ඩ් ගත කිරීමට පියවර ගෙන ඇත.

මෙසේ දින ගණනක් ගෙවී යද්දී පොලිසියට ලැබෙන්නේ මහ පොළොව නූහුලන අපරාධයක තොරතුරුය. එනම් බිරිය මැරූ සැකකරු නිවෙසේ සිටිනා තම දියණියන් දෙදෙනා ද වරින් වර දූෂණය කර ඇති බවය.

“අපි ඒ දරුවන්ගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළා. අම්මා වැඩට ගියාට පස්සේ දෙවැනි දුව පාසල් ගියාට පස්සේ නිවෙසේ තනිවෙන්නේ මන්ද මානසික දුව. ඉන්පස්සේ තමයි තාත්තා බීලා ඇවිත් ඒ දුවට කරදර කරන්නේ...මේක දවසක් දෙවැනි දුව දකිනවා. ඇය සේරම විස්තරය අම්මට කියනවා... අම්මා තාත්තට තියෙන බයට ඒ ගැන කාටවත්ම මුකුත් කියන්නේ නෑ. කට වහගෙන ඉන්නවා...”

“ඉන් පස්සේ දෙවැනි දුවටත් තාත්තා කරදර කරනවා... ඒක ලොකු දුව දකිනවා. ඔහොම කාලයක් තිස්සෙම දියණියන් දෙදෙනාටම මේ තාත්තා අතවර කරලා...”

කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා කියයි. එහෙත් කිසිවක් හෙළි වී නැත්තේ මව සිය සැමියාට ඇති බිය නිසා මේ කිසිවක් කාටවත් නොකීම බව පොලිසිය කියයි.”

“අපි දැන් මේ පිළිබඳ දිගින් දිගටම පරීක්ෂණ කළා. වෛද්‍ය වාර්තා ගන්නට දැරියන් රෝහල් ගත කරලා තියෙනවා.

“දැනට හෙළිවෙලා තියෙන තොරතුරු අනුව එදාත් මේ තිරිසන් තාත්තා දුවට කරදර කරන්න හදනකොට හරි කරදර කරද්දී හරි අම්මා මේක දැකලා කෑගහලා ඒකට විරුද්ධ වෙලා තියෙනවා. එතැනදී තමයි උදලු පහරක් එල්ල වෙලා තියෙන්නේ....” ස්ථානාධිපතිවරයා කියයි.

මේ සම්බන්ධයෙන් සත්‍යතාවය දැන ගැනීම සඳහා දියණියන්ගෙන් මෙන්ම දැනට රිමාන්ඩ් ගත වී සිටින සැකකාර සැමියාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට පොලිසිය අදහස් කර සිටී.

මීට වසරකට පමණ කාලයක් තිස්සේ සිටම සැකකාර පියා මෙම දැරියන් දූෂණය කර ඇති අතර මිය ගිය බිරිය මෙය දැන සිට ඇති බවද කියැවේ. ඊට විරුද්ධ වෙද්දී නිවෙස එකම යුද පිටියක් බවට පත්වන බවත් එහිදී බිරියට පහරදෙන බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

මිය ගිය මාලනී තිස් හක් හැවිරිදි කාන්තාවකි. සැකකාර සැමියාට හතළිස් එකකි. දියණියන් සැමියාගේ අතවරයට ගොදුරුවන බව හෙළිවන්නේ ද බිරිය මිය යාමෙන් අනතුරුවය. එසේ නොවුණා නම් එයද සදාකාලික අබිරහසක් වන බවට නොඅනුමානය. මේ පිළිබඳව පොලිසිය පුළුල් පරීක්ෂණ අරඹා ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, මාතර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන්, සහකාර පොලිස් අධිකාරී ගුණතිලක යන මහත්වරුන්ගේ උපදෙස් මත කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපති ටී.එම්. අබේසේකර ප්‍රමුඛ පොලිස් පරීක්ෂක විජේරාම උප පරීක්ෂක ගුණසේන, සැරයන්වරුන් වූ එදිරිවීර (412) ලාල්(30198) රාමනායක (3592) කොස්තාපල් පියසිරි (56121) හා අජිත් (53691) මේ පිළිබඳ පරීක්ෂණවලට එක්වූහ.

කීර්ති මෙන්ඩිස්
ඡායාරූප - චමින්ද නිරෝෂණ
උපුටා ගැනීම -දිනමිණ 

Gossip Lanka Hot News Previous News Archive