ශිරාණි ගෙදර නොයන ලකුණු ?

ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු තනතුරෙන් ඉවත් කිරිමේ නිවේදනය මේවන විට ඇයට ලැබීමට සලස්වා ඇතත් ඇය ඉවත්ව යාමට සූදානමක් නොමැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ අනුව මේවන විට ඇය "අගවිනිසුරුවරිය" ලෙස තම ආරක්ෂාව තර කරන ලෙස ඉල්ලා ස්වකීය නීතිඥයින් මාර්ගයෙන් පොලිස්පතිවරයාට ලිපියක් යොමුකර ඇති බව කියැවෙයි.

දෝෂාභියෝගය හා එහි වාර්තාව නීති විරෝධී බව දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප‍්‍රකාශ කර ඇති නිසා සිය ධුරයෙන් ඉවත් නොවීමට ඇය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ලබන සතියේ නඩු විභාග කෙරෙන විනිසුරු මඩුල්ලේ ද අසුන් ගැනීමට කටයුතු කරනු ඇති බව ද දැනගන්නට ලැබෙයි.


ඒ අනුව ලබන ජනවාරි 15 සහ 17 දා රැස් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ ප‍්‍රධාන විනිසුරු මඩුල්ලේ සභාපතිනිය ලෙස ඇය අසුන් ගන්නා බව සෙසු විනිසුරුවරුන්ට ද දන්වා විනිසුරු නාමලේඛනයේ ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ නම කල්තියාම ඇතුළත් කර ඇති බව කියැවෙයි.

යෝජිත විනිසුරු නාමලේඛනය අනුව ජනවාරි 15 වනදා 502 අධිකරණ ශාලාවේ රැස්වන ප‍්‍රධාන විනිසුරු මඩුල්ලට ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සමඟ පී.ඒ රත්නායක සහ අයි.එම්. ඉමාම් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කරනු ලැබ ඇතැයි ආරංචි මාර්ග පෙන්වාදෙයි.

ජනවාරි 17 වැනිදා රැස්වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහා අගවිනිසුරුවරියට අමතරව චන්ද්‍ර ඒකනායක, සත්‍ය හෙට්ටිගේ යන විනිසුරුවන් නම් කර ඇතැයි ද කියැවෙයි.

එසේම අභිනව අගවිනිසුරු ධුරයට බැහැරින් විනිසුරුවරයකු පත් වුවහොත් ඊට එරෙහිව විවිධ සංවිධාන හා ආගමික නායකයන් ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු ගණනාවක් ගොනු කිරීමේ සුදානමක් පවතින බව ද වාර්තා වෙයි.

කෙසේ වෙතත් නව අගවිනිසුරු පත් කිරීම සඳහා පාර්ලිමේන්තු සභාව (කවුන්සිලය) හෙට (15) පෙරවරුවේ රැස්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව අගවිනිසුරුවරිය ධුරයෙන් ඉවත් කිරිමෙන් පසුව එම ධුරයට සුදුස්‌සකුගේ නම පාර්ලිමේන්තු කවුන්සිලය විසින් ජනාධිපතිවරයාට නිර්දේශ කළ යුතුව තිබේ.

මීළඟ අගවිනිසුරුවරයාගේ නම පළමුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු කවුන්සිලය වෙත යෝජනා කරන අතර පසුව එකී නම එම කවුන්සිලය විසින් නිර්දේශ කර යළි ජනාධිපතිවරයා වෙත යැවිය යුතුය.

අනතුරුව ජනාධිපතිවරයා විසින් නව අගවිනිසුරු තනතුර සඳහා එම නම අනුමත කරනු ඇත.

පාර්ලිමේන්තු කවුන්සිලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ කථානායක චමල් රාජපක්‍ෂ මහතාය. අගමැති දි.මු. ජයරත්න, පත් කළ මන්ත්‍රී (එ.ජ.නි.ස.) ඒ. එච්. එම්. අස්‌වර් යන මහත්වරු ද, විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ එජාප මන්ත්‍රී ස්‌වාමිනාදන් යන මහත්වරුද මෙහි සෙසු සාමාජිකයෝ වෙති.



උපුටා ගැනීම  - දෙරණ පුවත් 

Gossip Lanka Hot News Previous News Archive