සීයලාට විකිණෙන මිනිබිරියෝ

“මට එරෙහි ව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. විශේෂයෙන් ම මේ කුමන්ත්‍රණය පිටුපස සිටියේ ඇගේ අම්මා. ඒ නිසා මමත් අධිකරණය හමුවට යනවා. ගිහින් මම ඇය වෙනුවෙන් ඇගේ පියාට ලබා දුන් මුදල් ආපසු ගන්නවා.” මේ සෞදි අරාබියේ 86 හැවිරිදි මහල්ලකුගේ මුවින් ඉකුත් දා නිකුත් වුණු ප්‍රකාශයකි. එම ප්‍රකාශයට හේතුවන කතා පුවත ශෝකජනක ය. ශෝකජනක වන්නේ මේ මහල්ලාගේ පාර්ශ්වයෙන් නම් නොවේ. ඔහු කතා කරන “ඇය” ගේ පාර්ශ්වයෙනි.

මැදපෙරදිග විවිධ මාධ්‍ය හරහා මෙන්ම බටහිර මාධ්‍ය හරහා ද 86 හැවිරිදි මහල්ලාගේ මේ චෝදනාව පිළිබඳ වාර්තා කර තිබිණි. ඒ සෑම වාර්තාවක්ම මෙන් අවසන් වි තිබුණේ සෞදි අරාබියේ දැනට පවතින නීති රාමුව සඳහා සංශෝධන එක්වීමේ අවශ්‍යතාව අවධාරණය කරමිනි. ඊට හේතුව වන්නේ මේ මහල්ලා පවසන “ඇය” තවමත් 15 හැවිරිදි දරුවකු වීමයි. මාධ්‍ය ඔස්සේ නම හෙළි නොකළ මේ මහල්ලා අදාළ ප්‍රකාශය සිදු කරන්නේ දින දෙකක ඔහුගේ යුග දිවිය නිමාකරමින් ලැබුණු දික්කසාදයෙන් පසුවය.

පැහැදිලි ලෙසම කිවහොත් සෞදි අරාබියේ දකුණු දිග ප්‍රදේශයක පිහිටි ජාසාන් හි පදිංචිකරුවකු වන මේ පුද්ගලයා විවාහ කරගෙන තිබුණේ, තමන්ට වඩා අවුරුදු 71 කින් බාල 15 හැවිරිදි දරුවෙකි. තවමත් දුව පැන සෙල්ලම් කරන වයසේ පසුවන දැරියකි. ලොව පුරා බොහෝ රටවල් මෙවැනි ළමා විවාහ ප්‍රතික්ෂේප කර තිබුණද ළමා විවාහවලට එරෙහි නීතියක් සෞදියේ නොපැවතීම නිසා මහල්ලාට 15 හැවිරිදි දැරිය විවාහ කර ගැනීමට බාධාවක් නොතිබිණි. ඒ අර්ථයෙන් ගත් කළ ඔහු සිදුකරගෙන ඇත්තේ නීත්‍යානුකූල විවාහයකි.

විවාහය නීත්‍යානුකූල කර ගැනීම සඳහා ඔහු දැරියගේ පියාට ලබා දී ඇති මුදල සෞදි රියාල් 65,000 කි. එනම් අමෙරිකානු ඩොලර් 17,500 කි. ඒ මේ විවාහයේ දෑවැද්ද ලෙසිනි. ඉස්ලාම් නීතියට අනුව විවාහයකදී මනාලයා විසින් මනාලියගේ පාර්ශ්වයට දෑවැද්ද ලබාදිය යුතු වීම ඊට හේතුවයි. ඒ අනුව මහල්ලා විසින් සිදුකරගෙන තිබෙන විවාහය නීතිය ඉදිරියේ සාධාරණ විවාහයකි. ඇත්තේ සදාචාරය පිළිබඳ ගැටලුවකි. සෞදි කෝණයෙන් බලන කළ එය ද ඔවුන්ට ගැටලුවක් නොවේ.

ඊට හේතුව වන්නේ එරට නීතිය ඉදිරියේ විවාහය සඳහා අවම වයස් සීමාවක් පනවා නොතිබීමයි. මේ නිසා හැට හැත්තෑ විය ඉක්ම වූ මහල්ලන් දැරියන් විවාහ කරගත් අවස්ථා අරාබිකරයෙන් නිරන්තරයෙන් අසන්නට ලැබේ. එහෙත් මෙවර කතා පුවතෙහි විශේෂත්වය වන්නේ 86 හැවිරිදි මහල්ලා සමඟ බලෙන් විවාහකර වූ මේ දැරියට දික්කසාදය හිමි ව තිබීමයි. ඇයට දික්කසාදය හිමිවන්නේ ඇගේ ජීවිතයේ ඇය ගතකළ කටුකතම පැය 48 කින් පසුය.

අරාබි මාධ්‍ය වාර්තා කරන අන්දමට ඇයට දික්කසාදය ලබාගැනීම සඳහා මැදිහත් වන්නේ සෞදි මානව හිමිකම් කොමිසම සහ තවත් මානව හිමිකම් සංවිධානයකි. විවාහයෙන් පසු පළමු දිනයේදීම සිදු වූ සිද්ධිය මහල්ලා පැහැදිලි කර තිබුණේ මෙලෙසිනි. “අපි නිවෙසට ආවට පස්සේ මටත් කලින් ඇය අපේ නිදන කාමරයට ගියා. ගිහින් ඇය දොර වැහුවා.

මට එන්න ඉඩ දුන්නේ නෑ. දවස් දෙකක් පුරාම ඇය ඒ දොර ඇරියේ නෑ.” කෙසේ වෙතත් දැරියගේ ඥාතීන් ප්‍රකාශ කර තිබුණේ මහල්ලාට බියවීම හේතුවෙන් දැරිය කාමරයේ දොර වසා ඇති බවයි. දින දෙකක් කාමරයේ දොරගුලු ලා සිටි ඇය පසුව හොරෙන්ම ඇගේ මවුපියන්ගේ නිවෙස වෙත පැමිණ තිබේ. මානව හිමිකම් සංවිධාන ඇගේ පිහිටට පැමිණෙන්නේ ඒ පිළිබඳ සැලවීමත් සමඟ ය. මානව හිමිකම් පිළිබඳ සෞදි ජාතික සංගමය මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටියේ මේ දැරිය සිටින දුක්ඛිත තත්ත්වයෙන් බේරාගැනීම සඳහා කඩිනමින් කටයුතු කරන ලෙසයි. මානව හිමිකම් කොමිසම ඇයට නීති ආධාර සපයන්නේ ඒ අනුවය.

මනාලයා, මනාලියගේ පාර්ශ්වය සහ දෙපාර්ශ්වයේ පෙළපත් ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් ගැටලුව සාකච්ඡාවට ලක්විය. එහිදී මානව හිමිකම් කොමිසම පෙන්වා දී ඇත්තේ දැරිය විවාහ කර දී ඇත්තේ ඇගේ කැමැත්තකින් තොරව බවයි. එසේම දෙදෙනා අතර කිසිදු කායික සබඳකමක් පැවැත්වී නොමැති බැවින් දික්කසාදය ලබා දෙන ලෙස ඉල්ලීමක් කෙරිණි. අරාබි නීතියට අනුව විවාහයකදී විවාහ කරගන්නා තැනැත්තියගේ වයස ගැටලුවක් නොවුණත් විවාහය සඳහා අනිවාර්යයෙන් ඇයගේ කැමැත්ත තිබිය යුතුය. බැලූ බැල්මටම දැරිය විසින් මහල්ලා ප්‍රතික්‍ෂේප කර තිබීම නිසා පෙළපත් ප්‍රධානීන් දැරියට දික්කසාදය ලබා දීමට තීරණය කළේය. ඒ අනුව මේ දැරිය ජයගෙන ඇත.

එහෙත් මානව හිමිකම් සංවිධාන දැරියගේ මවුපියන්ට චෝදනා කරන්නේ මෙවැනි ඛේදජනක ඉරණමක් දැරියට අත්වීම පිළිබඳ ඔවුන් සෘජුව වගකිවයුතු බවයි. දැරියගේ මුත්තනුවන්ගේ වයසට සමාන වයසක පසුවන්නෙකුට ඇය විවාහ කර දීම පිළිබඳ පූර්ණ ලෙස වගකිවයුත්තේ මවුපියන් බවට ද චෝදනා කෙරිණි. ඇතැම් මානව හිමිකම් සංවිධාන දැවැදි මත සිදු කෙරෙන මෙවැනි විවාහ මිනිස් ජාවාරම් නොවේදැයි ප්‍රශ්න කරයි. ඊට හේතු වී ඇත්තේ මුදල් අරබයා තම දියණිවරුන් මහල්ලන්ට “විකිණීම” සඳහා අරාබි නීතියෙන් මවුපියන්ට ලැබී ඇති ඉඩකඩ බව ඔවුන් පෙන්වා දෙයි.

එරට මානව හිමිකම් සංවිධාන කාන්තාවකගේ විවාහ වන වයස පිළිබඳ නීති සම්පාදනය විය යුතු බවට හඬ නැඟීම ආරම්භ කර ඇත්තේ මේ නිසාය. කාන්තාවන් විවාහ වීමට නම් අඩුම තරමින් ඇය 18 වැනි විය සම්පූර්ණ කර තිබිය යුතු බවට නීති සම්පාදනය කරන ලෙස බලධාරීන්ගෙන් එම සංවිධාන ඉල්ලා සිටියි. එහෙත් අරාබි නීති රීති එවැනි සංශෝධනයකට ලක්වනු ඇතිදැයි සැක මතුවන්නේ අරාබි සම්ප්‍රදාය සහ ඉස්ලාමීය දහමට අනුව එවැනි අවශ්‍යතාවක් මතු නොවන බවට පූජකවරුන් සහ පූජක විනිසුරුවරුන් දරන මතයයි. ඒ අනුව ඉදිරියේදී ද මහල්ලන්ට බිලිවන අරාබි දැරියන් පිළිබඳ තවදුරටත් අසන්නට දකින්නට ලැබෙනු ඇත.



උපුටා ගැනීම- දිනමිණ
 -සබැදි පුවත්- 

 1. සෞදි අරාබියේ වෙන දේවල් - 90 සීයා 15 කෙල්ල කසාද බැඳලා !

Gossip Lanka Hot News Previous News Archive