කිනිතුල්ලෝ රත්නපුරේ ජනතාව ලෙඩ කරති


කන්වලට කිනිතුල්ලන් ඇතුල්වීම නිසා දිනකට රෝගීන් 100 දෙනකු පමණ ප්‍රතිකාර සඳහා පැමිණෙන බව රත්නපුර මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකය හා කන හා උගුර සම්බන්ධ රෝග නිවාරණ අංශය ප්‍රකාශ කරයි.

රත්නපුර දිස්‌ත්‍රික්‌කය තුළ වල් ඌරු ගහනය ශීඝ්‍රයෙන් වැඩිවීම මිනිසුන්ගේ කන්වලට කිනිතුල්ලන් ඇතුල්වීමට ආසන්න හේතුවක්‌ බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අතර සුරතල් සතුන් පිරිසිදුව තබා නොගැනීමත් එම සතුන් අතපත ගෑමත් මෙම රෝගයට හේතුවන බවද කියයි.


බිම නිදාගැනීමෙන් වැළකීම සහ රෙදිසෝදා බිම දමා වේලාගැනීමෙන් වළකින ලෙසටත් රත්නපුර රෝහල ජනතාවට අවවාද කරයි. වල් ඌරන් ගෙමිදුල්වලට පැමිණීම වළක්‌වා ගැනීමට ගෙමිදුල් හැකිතාක්‌ පිරිසිදුව තබා ගන්නා ලෙසටද රෝහලෙන් දැනුම් දෙයි.

කිනිතුල්ලකු තම කනට ඇතුල්වී ඇති බවට සැකකරන්නේ නම් කනට කොන්ඩා කටු, කන් හැඳි ආදිය දමා සතා එළියට ගැනීමෙන් වළකින ලෙසටත් බෙහෙත් වර්ග කන තුළට නොදමන ලෙසටත් පවසන රෝහල් බලධාරීහු සුදුසුකම්ලත් වෛද්‍යවරයකුගෙන් පමණක්‌ ප්‍රතිකාර ලබා ගන්නා ලෙසටත් ජනතාවගෙන් ඉල්ලීමක්‌ කරති.

Gossip Lanka Hot News Previous News Archive