පහළොස් හැවිරිදි පාසල් සිසුවා දුම්රියට පනී

මාතරින් ගමන් ආරම්භ කර නුවර බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියට සෙනසුරාදා (12) පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යයකු පැන මරණයට පත්වීම නිසාවෙන් මාතර පඹුරණ ගම්වාසීන් සහ ඔහුගේ සමකාලීන පාසල් මිතුරන් දරාගත නොහැකි වේදනාවකින් පසුවෙයි.මාතර රාහුල විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ නලිඳු සත්සර ඒකනායක යන දරුවා මෙසේ මියගොස් තිබිණි. මාතර පඹුරණ, අභය ගුණරත්න හරස් මාර්ගයට ආසන්නයේදී මියගිය නලිඳු දුම්රියට පැන තිබිණි.
පාසල තුළ අධ්‍යාපන කටයුතුවලදී ඉතා ඉදිරියෙන් සිටි නලිඳු පිහිනීම, යතුරුපැදියේ තනිරෝදයෙන් ගමන් කිරීම වැනි විෂය බාහිර කටයුතුවලට උපන් හපන්කමක් ඇති බව ඔහුගේ සමකාලීන මිතුරෝ පවසති. තවද පාසලේදීත්, ගමේදීත්, උපකාරක පන්තිවලදී නලිඳු අනෙක් දරුවන්ටත් වඩා විනෝදයට බර, සෑම විටම සිනාමුසු මුහුණින් සිටින සහෘදයකු බවද ඔහුගේ මිතුරෝ පවසති.


මියගිය නලිඳුගේ මරණ පරීක්‍ෂණය මාතර හදිසි මරණ පරීක්‍ෂක ලලිත් ද සිල්වා මහතා විසින් ජනවාරි 12 වැනිදා මාතර මහ රෝහලේදී පවත්වන ලද අතර එම දුම්රියේ රියැදුරු වන ශාන්ත විජේරාම (52) යන අය එහිදී මෙසේ පැවැසීය.


'මියගොස් සිටින නලිඳු සත්සර ඒකනායක ජනවාරි 12 දින මා විසින් ධාවනය කළ අංක 39 දරන මාතර සිට නුවර බලා ධාවනය වූ දුම්රියට පැන මියගිය දරුවාය. මට ලංකාවේ සෑම මාර්ගයකම වාගේ දුම්රිය ධාවනය කොට වසර විසි දෙකක පමණ පළපුරුද්දක් තිබෙනවා. දැනට ගාල්ල දුම්රිය ධාවනාගාරයට අනුයුක්තව දුම්රිය රියැදුරකු ලෙස සේවය කරන අතර ජනවාරි 12 වැනිදා පෙරකී දුම්රිය නුවර බලා ධාවනය කිරීමට මාතර දුම්රිය ස්ථානයෙන් පස්වරු 1.35ට පමණ ආරම්භ කළා.


මාගේ සහායක ලෙස තිලක් කුමාරද, දුම්රිය නියාමක ලෙස වී.ඒ.එන්. සිල්වා යන අයද සේවයේ යෙදී සිටියා. දුම්රිය මාතර දුම්රිය ස්ථානයෙන් පිටත්ව අභය ගුණරත්න හරස් මාර්ගය පසු කොට ස්වල්ප දුරක් ඉදිරියට යද්දී වේලාව පස්වරු 1.42ට පමණ වන්නට ඇත. දුම්රිය පරාක්‍රම පටුමඟ දුම්රිය හරස් මඟ පසු කරනවාත් සමඟම දුම්රිය මාර්ගය අසල කුඩා ලඳු කැලෑව අතුරින් එක් වරම ක්‍ෂණිකව පිරිමි දරුවකු දුවගෙන විත් දුම්රියට පනිනවා මා දුටුවා. ඉන් පසු තිරිංගය තද කොට දුම්රිය නතර කර බලද්දී අනතුර සිදුවූ ස්ථානය පසුකරමින් දුම්රිය නතර වී තිබුණා.


මියගිය නලිඳුගේ පියා වන වෘත්තියෙන් ගුරුවරයකු වූ නන්දසිරි ඒකනායක යන අය මෙසේ සාක්‍ෂි ලබාදී තිබිණි.


'මියගොස් ඇත්තේ මගේ දෙවැනි දරුවා. අප විවාහ වී වසර දහනවයක් වෙනව. දරුවන් දෙදෙනෙක් ඉන්නවා. මියගිය දරුවා හොඳ ශරීර සෞඛ්‍යයෙන් මාතර රාහුල විද්‍යාලයේ එකොළහ වසරේ ඉගෙනුම ලබමින් සිටියා. දැනට වසරකට පමණ ඉහතදී ඔහු මාතර ඉසදින් නගරයේ පදිංචිව සිටි මාතර ශාන්ත මරියා කන්‍යාරාමයේ ඉගෙනුම ලබන ගැහැනු දරුවකු සමඟ සම්බන්ධකමක් ඇතිකරගෙන සිටියා. එයට මා හා බිරිය විසින් අවවාද කළා.


ඉන් පසු මා දන්නා තරමට එම සම්බන්ධය නතර වී තිබුණා. මෙසේ සිටින අතරතුර පුතා අමතර පන්තිවලටද ඉගෙනුම ලැබීම සඳහා යන අතර ජනවාරි 12 වැනි දින පෙරවරු 7.00ට පමණ ආහාරද නොගෙන නිවසින් පිටට ගියා. මාතර ඉසදින් නගරයේ සිංහල භාෂාව උගන්වන පන්තියකටත් පසුව පෙරවරු 9.45 ට පමණ ගණිත පන්තියටද ගොස් පෙරවරු 11.30ට පමණ නිවසට ආවා. මම, බිරිය එම අවස්ථාවේ නිවසේ සිටියා. පස්වරු 12.50ට පමණ මම අමතර පන්තියකට ඉගැන්වීමට නිවසින් පිටත්වීමට සූදානම් වෙද්දී පුතා ඇඳේ හාන්සි වී ඉංග්‍රීසි පන්තියේ වැඩ වගයක් කරමින් සිටියා.


මම නිවසින් පිටත්ව ගොස් මාතර උගන්වමින් සිටියදී පස්වරු 1.50ට පමණ සිද්ධිය ආරංචි වූ මගේ ලොකු පුතා පැමිණ මට කීවා මල්ලී කෝච්චියට හැපිලා කියලා. පසුව මම මාතර දුම්රිය ස්ථානයට ගොස් තොරතුරු විමසූ විට ස්ථානාධිපතිවරයා මට කිව්වා පස්වරු 1.35 ට මාතරින් පිටත්වන ශීඝ්‍රගාමි දුම්රියට මාතර පඹුරණ පරාක්‍රම පටුමගේ දුම්රිය හරස් මාර්ගය අසලදී කෝච්චියට හසු වූ දරුවකු මියගොස් මෘත ශරීරය කඹුරුගමුව දුම්රිය ස්ථානයේ තබා ඇති බව.


ඒ අනුව මම කඹුරුගමුව දුම්රිය ස්ථානයට යනවිටදී දුම්රිය ස්ථානයේ ආලින්දයේ දුම්රිය ගිලන් ඇඳක මාගේ දරුවා උඩුබැලි අතට දමා තිබුණා. ඔහුගේ ශරීරය දෙකඩ වී තිබුණු අතර බරපතළ තැළීම්, කැඩීම් සහිතව තැලී පොඩිවී ගිය ස්වරූපයක් තිබුණා. පසුව එතැනට පැමිණි මාතර හදිසි මරණ පරීක්‍ෂකතුමා ඉදිරියේදී දරුවාගේ මෘත ශරීරය හඳුනා ගත්තා. පසුව මෘත ශරීරය වැඩිදුර පරීක්‍ෂණවලට මාතර රෝහලට ගෙන ආවා. මෙම මරණය ගැන මාහට කීමට කිසිවක් නොමැත. රෝහලේදී දැනගත් කරුණු අනුව පුතාගේ මරණය සිදුවී තිබුණේ. පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසුව අධිකරණ වෛද්‍ය නිලධාරිතුමා මරණයට හේතුව ලබාදීම නොහැකි බව දන්වා තිබූ බැවින් වැඩිදුර පරීක්‍ෂණයෙන් පසුව එය ලැබෙන තෙක් මෙම මරණයට හේතුව ලබාදීම පසුවට කල් තබන ලදී.
මියගිය දරුවාගේ මව වන වෘත්තියෙන් ගුරුවරියක් වූ සජීවනී සමරසිංහ යන අයද සාක්‍ෂි දුන්නාය.
පශ්චාත් මරණ පරීක්‍ෂණය මාතර රෝහලේදී වෛද්‍ය කේ.අයි. පද්මතිලක මහතා විසින් පවත්වන ලද අතර මෙම මරණයට හේතුව ලබාදීම පසුවට කල් තබන ලදී. ඒ අනුව හදිසි මරණ පරීක්‍ෂකවරයා විසින් මෙම මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දෙන ලදී.
මාතර පොලිසියේ පොලිස් සැරයන් තිස්ස බණ්ඩාර 15751 සහ පොලිස් කොස්තාපල් ප්‍රේමසිරි 36121 යන නිලධාරීන් සාක්‍ෂි මෙහෙයවීය.


Gossip Lanka Hot News Previous News Archive