සීයා සහ මුණුපුරා විදුලිය වැදීමෙන් එම ස්ථානයේදීම මිය යයි.

 සුබ නව වසරකට වාසනාව එක්‌ කරමින් ලෝකවාසීන් ප්‍රාර්ථනා ගෙන එද්දී වසර ආරම්භයේදීම අවාසනාවන්ත ඉරණමකට ගොදුරුවූ දෙදෙනකු වගා බිමක අනවසර විදුලි රැහනක පැටලී මියගොස්‌ තිබිණි. එළවළු වගා බිමකට ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් බිම වැටී සිටි සීයාගේ ඇඟේ තිබූ විදුලි කම්බි ඉවත් කිරීමට ගිය 8 හැවිරිදි මුණුබුරකු එම විදුලි රැහැනේ පැටලී මෙසේ මිය ගොස්‌ තිබුණි.

කොත්මලේ පොලිස්‌ බල ප්‍රදේශයේ වෙදමුල්ල වතු යායට අයත් කැමිල්දන් (කෙමිනිදන්) වත්ත උඩ කොටසේ ඇති එළවළු වගා බිමකදී මෙම අවාසනාවන්ත සිදුවීමට ගොදුරු වී මියගොස්‌ ඇත්තේ එම වත්තේ පදිංචි තිරුචෙල්වම් කුමාර බරත රාජ් නමැති අට හැවිරිදි දරුවකු හා සින්නයියා නමැති 60 හැවිරිදි (සීයා) අයෙකි.


මෙයින් තිරුචෙල්වම් කුමාර කැමිල්ටන් වත්ත පාසලේ ඉගෙනුම ලබන අතර මෙවර අවසන් පාසල් වාර විභාගයේදී දෙවන ශ්‍රේණියේ සිට තුන්වන ශ්‍රේණියට සමත්ව ඇත.
මෙම දෙදෙනාගේ මළ සිරුරු පෙරේදා (31 දා) දින සවස 4 ට පමණ ඥතීන් දැක පොලිස්‌ හදිසි ඇමතුම් අංශයට (119) දැනුම් දීමෙන් පසු කොත්මලේ පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කොට තිබිණි.

මොවුන් පදිංචි නිවාසවලට පහළින් ඇති ඔවුන්ට අයත් එළවළු කොටුවේ වැඩ කිරීම සඳහා සින්නයියා රාසයියා 31 දා පෙරවරු 11 ට පමණ ගොස්‌ ඇති අතර පාසල් නිවාඩු සමයේ සීයාට උදව් කරමින් සිටි තිරුචෙල්වම් කුමාර පස්‌වරු 1.30 ට පමණ සීයාට තේ හා කෑම රැගෙන එළවළු කොටුවට ගොස්‌ ඇත.

සීයා බිම වැටී ඇති අයුරු දුටු මුණුබුරා ඔහුගේ ඇඟ මත කම්බි එතී තිබෙන අයුරු දැක ඒවා ඉවත් කිරීමට යැමේදී ඔහුටද විදුලි සර වැදී එම ස්‌ථානයේම මියගොස්‌ ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.

මෙම දරුවා රැගෙන ගිය තේ භාජනය හා කෑම පාර්සලය ඔහුගේ දෙපා මුල රැඳී තිබූ අතර සීයාගේ හිස දෙස තිබූ විදුලි රැහැන් ඉවත් කිරීමට උත්සාහ දරා තිබූ අයුරු දකින විට සැමගේ නෙතට කඳුළක්‌ එකතු වනු ඇත.

මියගිය සින්නයියා රාසයියා තවත් සහකරුවකු සමග එකතුව මෙම එළවළු කොටුව කරගෙන ගොස්‌ ඇත. වල් ඌරන්ගෙන් සිදුවන හානි වළකාලීමට කම්බි මගින් රාත්‍රි කාලයේදී එළවළු කොටුවට විදුලිය යොදා තිබේ.

මෙසේ විදුලිය ලබාගෙන ඇත්තේ සින්නයියා රාසයියාගේ හවුල්කරුවාගේ නිවසිනි. උදැසනින්ම එම විදුලිය විසන්ධි කිරීම ඔහු අතින් සිදුවී ඇත.

නමුත් මෙදින ඔහුට එය කිරීමට අමතක වී ඇත. ඒ බව නොදත් රාසයියා එළවළු කොටුවට ගොස්‌ වැඩ කිරීමේදී ඇද තිබූ කම්බියෙන් විදුලි සර වැදී තිබේ.

මේ සම්බන්ධයෙන් එම සැකකරු හා ඇද තිබූ විදුලි රැහැන්ද කොත්මලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පෙරේදා (31 දා) රාත්‍රියේම මළ සිරුරු කොත්මලේ ප්‍රදේශීය රෝහලට රැගෙන ආ අතර පශ්චාත් මරණ පරීක්‍ෂණ සඳහා එම සිරුරු ඊයේ (01 දා) දින නාවලපිටිය දිස්‌ත්‍රික්‌ මහ රෝහලට රැගෙන යාමට නියමිතව තිබිණි.

නුවරඑළිය කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි එම්. මහගෙදර, සහකාර පොලිස්‌ අධිකාරි බී. විමලදාස යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත කොත්මලේ පොලිස්‌ ස්‌ථානාධිපති ඒ. එල්. අබේගුණසේකර, උ. පො. ප. නිලන්ත, පො. සැ. 62746 ආරියරත්න, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන 22322 උපතිස්‌ස, 88966 දිසානායක, 86188 පියල් යන නිලධාරීහු පරීක්‍ෂණ සිදු කළහ.

Gossip Lanka Hot News Previous News Archive