රිසානා ගැන සෞදි රජයෙන් ප්‍රතිචාර

ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක්ට මරණ දඩුවම ලබාදීම සම්බන්ධයෙන් එල්ල වන විවේචනලට සෞදි රජය ප්‍රතිචාර දක්වා තිබේ.

නිවේදනයක් නිකුත් කරන එරට ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ, එම ගෘහ සේවිකාවට එරෙහි අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා, යුරෝපා කොමිසමේ උප සභාපතිවරයා ඇතුළු ජාත්‍යන්තර ආයතන ගණනාවක් නිකුත් කළ ප්‍රකාශ පිළිබඳ කණගාටුවන බවය.අදාළ නිවේදන මගින් එම නඩු විභාගයට අදාළ වැරදි තොරතුරු මත පදනම්ව ඇති බව සෞදි බලධාරින් පවසයි.


ඉන් පළමුවැන්න ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ, මාස 4 ක් වයසැති කුඩා බිළි‍ඳෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකාරිය වූ රිසානා නෆීක් බාලවයස්කරුවෙකු බවට වන චෝදනාව වැරදි බවය.

රිසානාගේ නිල විදෙස් ගමන් බලපත්‍රයේ ඇ‍ගේ වයස අවුරුදු 21 ක් යැයි සඳහන් වන බව පෙන්වා දෙන සෞදි බලධාරින් පවසන්නේ,එම විදෙස් ගමන් බලපත්‍රය මෙරට රජය විසින් නිකුත් කරන ලද විශ්වීය වශයෙන් පිළිගන්නා නිල ලියවිල්ලක් බවය.

බාල වයස්කරුවන් සේවය බඳවා ගැනීම සඳහා සෞදි අරාබි රජය අවසර නොදෙන බව ද සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.ඇයට සාධාරණ නඩු විභාගයක් නොලැබුණු බවට එල්ල වන චෝදනා ද ප්‍රතික්ෂේප කරන සෞදි බලධාරින් පවසන්නේ, ඇයට දඬුවම්දීමෙන් පසුව ද දරුවාගේ දෙමව්පියන්ගෙන් සමාව ලබා ගැනීමට තම රජය ඉහළම මට්ටමින් විවිධ උත්සාහයන් දැරූ බවය.

එබැවින් සිය අධිකරණ කටයුතුවලට වන සියලු මැදිහත්වීම් ප්‍රතික්ෂේප කරන බව ද සෞදි බලධාරින් පවසයි.

Gossip Lanka Hot News Previous News Archive