මේ ලෝකෙ එළිය දකින තමන්ගෙ බිලිඳු දරුවා හොඳ සුරතල් ළමා අවදියකට, ලස්සන තරුණ සමයකට පැමිණීම පිළිබඳ මවුපියන් සිහින මවනවා. ඔවුන්ට පුංචිම පුංචි ලෙඩක් දුකක්වත් හැදෙනවට, වේදනා විඳිනවට දෙමවුපියො කැමැති නෑ. දරුවන්ගෙ දෑසේ කඳුළු ඔවුන්ට සිදුවන විපත් තමයි මවුපියන් දකින්න අකැමැතිම දේ.
අවාසනාව, වේදනාව, ලෙඩ දුක් ජීවිතවලට එන්නෙ දැනුම් දීගෙන නෙවෙයි. එහෙම වුණාම මිනිසුන්ගේ ජීවිත පත්වෙන කනගාටුදායක ඉරණම කියා නිම කරන්න බැරි තරම්.පුංචි කාලෙ ඉඳලම ඉතා නිරෝගීව හිටපු දරුවන් හතර දෙනෙක්ම බරපතළ ස්නායු රෝගයකට ගොදුරු වෙලා අද කිසිත් කර කියා ගන්නට දෙයක් නොමැතිව ලෙඩ ඇඳ මත ඔහේ බලාගත් අත බලාගෙන ඉන්න දුක්බර කතාවක් අපට දැනගන්නට ලැබුණෙ මාතර, මාලිම්බඩ, පංචිකාවත්ත ප්‍රදේශයෙන්.
මේ පවුලේ හිටියේ අම්මයි, තාත්තයි දරුවො පස් දෙනයි. හතර දෙනෙක් දුවලා. එක් කෙනෙක් පුතෙක්. හිරිමල් යොවුන් වියට පා තබනවත් එක්කම තමයි මේ දරුවො මේ ඉරණමට ගොදුරු වෙන්න පටන් ගත්තෙ.
පවුලේ තාත්තා මීට ටික කලකට උඩදි මිය ගියා. මුලින්ම ස්නායු ආබාධය ඇතිවුණේ පවුලේ පිරිමි දරුවට. පිරිමි දරුවගෙ ලෙඩ දුක් බලාගෙන හිටපු අම්මත් මිය පරලොව ගියා. හරියටම අම්මගේ මරණින් සතියක් යන කොට අර ලෙඩ පිරිමි දරුවත් මියෑදුණා.
අම්මයි, තාත්තයි දෙන්නම අහිමිවෙලා එකම පිරිමි සහෝදරයත් මියැදිලා තරුණ වයසේ ගෑනු දරුවො හතර දෙනෙක් පවුලක තනිවෙනව කියන්නෙ මොන තරම් කනගාටුදායක දෙයක්ද? අවදානමක්ද? ඒත් මේ ගෑනු දරුවො හතර දෙනා සමගියෙන් දහසක් අඩුපාඩු මැද්දෙ කොහොම හරි ජීවිතේ ඇදගෙන ගියා.
මෙයින් සහෝදරියන් තුන් දෙනෙක්ම අවුරුදු 20 පනින කොට කලින් කලට දෙපාවල ආබාධ ඇතිවෙලා අද්ද අද්ද ගමන් කරන්න පටන් ගත්තා. මෙහෙම වසර කීපයක් ගත වෙද්දි මේ තුන්දෙනාගෙම දෙපා පණ නැතිවෙලා රෝද පුටුවලට සීමා වුණා. බොහොම අමාරුවෙන් මුදල් හදල් වියදම්කරගෙන, නොයෙක් ප්‍රතිකාර කළත් ඒ තුන්දෙනාටම සිද්ධ වුණේ රෝද පුටුවලට සමුදීලා ඇඳන් මත වැතිරෙන්නයි.
නිරෝගීව හිටපු එකම එක සහෝදරිය ශි්‍රයානි විදානපතිරණ තම ලේ සහෝදරියන් තුන් දෙනා අතෑරියේ නෑ. ඒ ලෙඩ ඇඳන් ළඟට වෙලා ඇය ඔවුන්ගේ උණු කඳුළු පිස දමමින් කවා පොවා පිරිසුදු කරමින් හොඳින් රැකබලා ගත්තා. ඇය මේ බාරගෙන තියෙන අභියෝගය දුටුවන්ගේ නෙත් තෙත් කළා. සිත් කම්පා කළා.
අසල්වැසියන් පුළුවන් පුළුවන් විදියට මේ පවුලට උදවු උපකාර කළා. කන්න බොන්න ටික දුන්නා.
ස්නායු රෝගී සහෝදරියන් තුන් දෙනාව රැක බලාගෙන හිටපු සහෝදරිය ශි්‍රයානි විදානපතිරණටත් ක්‍රමයෙන් අවාසනාවන්ත තත්ත්වයක් උදාවෙන්න ගත්තෙ මේ අතරෙදියි. ඇය ආතරයිටිස් රෝගයට ගොදුරු වෙන්නට පටන් ගත්තා. දෙපයින් නැඟී සිටින්නට බැරි තරමට රෝගාතුර වූ ඇයගේ ජීවිතය රෝද පුටුවකට සීමා වෙන්න වැඩි කාලයක් ගත වුණේ නැහැ.
එහෙත් ඇය ඇයටත් වඩා අසරණව සිටින අර සහෝදරියන් තුන් දෙනා වෙනුවෙන් ජීවිතයට මුහුණ දිය යුතුයි. ඇයව සාමාන්‍ය තත්ත්වයකට සුවපත් කරන්නට හැකි බව මාතර රෝහලේ විකලාංග වෛද්‍ය හර්ෂ මෙන්ඩිස් මහතා පවසා තිබෙනවා. කියන දේ පමණක් ඇහෙන, කිසිත් කතා කරගන්නට බැරි, ඔහේ බලාගත් අත බලාගෙන සිටිනා සහෝදරියන් තුන් දෙනාව රැකබලා ගන්න දෙපයට හයිය ගන්නට ඇය මේ ශල්‍යකර්මයට මුහුණ දෙන්න සූදානමින් ඉන්නවා.
එහෙත් ඒ සඳහා ලක්ෂ 05ක පමණ මුදලක් අවශ්‍යයි. අවශ්‍ය උපකරණ ඉන්දියාවෙන් ගෙන්වා ගැනීම සඳහායි මේ මුදල වුවමනා වෙන්නේ. ආබාධිත පවුලකට රජයෙන් මසකට දෙන රුපියල් 3,000 හැර ඔවුන්ට කිසිම ආදායමක් නැහැ. හතළිස් හතර වියැති ඇය මේ ආයාචනය අපට කරන්නේ ඒ නිසයි.
"අපි කවදාවත්ම හිතුවෙ නෑ මේ වගේ අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දෙන්න අපට සිද්ධ වෙයි කියලා. පුංචි කාලේ අපි හොඳට හිටියා. පාසල් ගියා. මම උසස් පෙළ පවා කළා. ගොඩාක් සතුටින් සමඟියෙන් වෙල් ඉපනැල්ලේ දුව පැනලා අපි සෙල්ලම් කළා. ඒත් අවුරුදු විස්ස වගේ පැනපුවාම තමයි අපි මේ විදියට ආබාධිත වුණේ. දැන් අපට කර කියා ගන්න දෙයක් නෑ. විවිධ පරිත්‍යාගශීලීන් අපට කරන පරිත්‍යාගවලින් තමයි අපි ජීවත් වෙන්නේ. මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනුත් උදවු උපකාර ගොඩක්ම කරනවා. මම මගේ සහෝදරියන් තිදෙනාගෙ වැඩපළ ටිකත් කරගෙන ඉන්න අතරතුර තමයි හිටි හැටියේම මටත් රෝද පුටුවකට වෙන්න වුණේ.
"වෛද්‍යවරු කියනවා මාව සුවපත් කරන්න පුළුවන් කියලා. ඒත් සැත්කමට අවශ්‍ය උපකරණ ටිකට ලක්ෂ පහක වගේ මුදලක් අවශ්‍ය වෙනවා. කවුරු හරි පින්වතුන්ට අපිට පිහිට වෙන්න කියලා මම දෙපා වැඳලා ඉල්ලා සිටිනවා."
මේ මහඟු පුණ්‍යකර්මයට ඔබට දායක වෙන්න හැකි නම් මාලිම්බඩ ලංකා බැංකු ශාඛාවේ 72830238 එස්.සී. විදානපතිරණ නමින් ඇති ගිණුමට උපකාර කළ හැකියි.
රෝගී ගැහැනු දරුවන් හතර දෙනකුගේ දුක් කඳුළු වෙනුවෙන් අපේ හදවත් මඳකට යොමු කරන්න පුළුවන්නම් එය අප්‍රමාණ පින්කමක්. උතුම් මිනිසත්කමක්.
උපුටා
ගැනීම -මව්බිම