මුරලිට හා වාස්ට පුහුණුකරු තනතුරු - වර්ණපුර ප්‍රධාන විධායක පුටුවට

ලොව වැඩිම ටෙස්ට් හා එක්දින කඩුලුලාභී මුත්තයියා මුරලිදරන් හා වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස්ට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පන්දු යවන්නන් පුහුණුකිරීමේ තනතුරු ලබාදීමට සුදානම් වෙයි.

එමෙන්ම ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්ධුල වර්ණපුර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක තනතුරට එක්කර ගැනීමට පසුගියදා සාකච්ඡා පැවැත්විණි.ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දඟපන්දු යවන්නන් පුහුණුකිරීම මුත්තයියා මුරලිදරන්ට භාර කිරීමටත් වේගපන්දු යවන්නන් පුහුණුකිරීම චමින්ද වාස්ට භාර කිරීමටත් තීරණයවී ඇත. මේ ක්‍රීඩකයන් දෙදෙනා සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීහු එකඟතාවකට පැමිණියහ.

ඒ සඳහා සාකච්ඡාවේදී ක්‍රීඩකයන් දෙදෙනා සඳහන්කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් නඟා සිටුවීමට දායකවීම උදෙසා කැමැත්තෙන් පසුවන බවයි. මේ දෙදෙනාගේ සේවය ඉක්මනින්ම ලබාගැනීමට ක්‍රිකට් විධායක සභාවේ අනුමැතිය හිමිවී ඇතැයි වාර්තා වේ.ක්‍රිකට් ප්‍රධාන විධායක තනතුරේ දැනට කටයුතු කරන අජිත් ජයසේකර මහතාගේ කාලය මේ වසරේ මාර්තු මාසයේදී අවසන් වන හෙයින් ඒ වෙනුවට බන්ධුල වර්ණපුර මහතාගේ නම යෝජනාවී ඇත. බන්ධුල වර්ණපුර මහතා ක්‍රිකට් ප්‍රධාන විධායක තනතුර භාර ගැනීමට කැමැත්ත පළකොට තිබේ.

රුපියල් ලක්ෂ පහකට අධික මාසික වැටුපක් හා පහසුකම් රැසක් ලබාදීමටද ක්‍රිකට් පරිපාලනය එකගවී ඇතැයි ද වාර්තා වේ. වර්ණපුර මහතා දැනට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් සංවර්ධන කළමනාකරු ලෙස කටයුතු කරන අතර ලබන ජුලි මාසයේ එම ධුර කාලය අවසන් වීමට නියමිතය. ඒ මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සංවර්ධන කළමනාකරු ලෙස වැඩ භාර ගත්තේ 2008 ජුලි මාසයේදීය.

වසර 1994දී ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවු වර්ණපුර මහතා 2001 සිට ක්‍රිකට් පුහුණුකරු අධ්‍යක්ෂක හා ක්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂක ධූරවල කටයුතු කළේය. 2006දී පැවැති 19න් පහළ ලෝක ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂක ලෙසද ඒ මහතා කටයුතු කළේය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කළමනාකාරිත්වයේ වෙනසක් කිරීමටද අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අනිද්දා මවුබිමට පැමිණි පසු එම වෙනස් කිරීම් ගැන සාකච්ඡා ආරම්භ වේ.

බංග්ලාදේශය සමග ලබන මාසයේ ආරම්භවන ක්‍රිකට් තරගාවලියට පෙර කළමනාකාරිත්වයේ වෙනස සිදුවනු ඇතැයි වාර්තා වේ. බංග්ලාදේශ ක්‍රිකට් පිල පෙබරවාරි 28වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ටෙස්ට් තරග 2කට හා එක්දින තරග 3කට සහභාගී වේ.

Gossip Lanka Hot News Previous News Archive