පක්ෂ නායක රැස්වීමෙන් විපක්ෂය ඉවත්වේ - දෝෂාභියෝගයට විරෝධය

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය 10 සහ 11 දෙදින විවාදයට ගැනීමට එරෙහිව විරෝධය පල කරමින්, අද (07) පෙරවරු 11.30 ට ඇරඹි පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමෙන් විපක්ෂයේ නියෝජිතයින් මීට ටික වේලාවකට පෙර ඉවත්ව තිබේ.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් වන විවාදය පැවැත්වෙන දින පිළිබඳ අවසන් තීරණයක් අද දිනයේ දී ගැනීමට නියමිතව තිබිණි.


මෙම පක්ෂ නායක රැස්වීම ආරම්භයේදීම ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශකර ඇත්තේ, දෝෂාභියෝගය විමර්ෂණය කිරීම සඳහා පත්කළ කමිටුව නීති‍ විරෝධී බැවින් එයින් ගෙන ආ වාර්තාව විවාදයට ගැනීමට විරුද්දත්වය ප්‍රකාකරන බවයි. එමෙන්ම අධිකරණයට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථකථනය කිරීමේ බලය තමන් පිළිගන්නා බවද ප්‍රකාශකර තිබේ.

කෙසේ නමුත් විප්කෂයේ අදහස් පිළිනොගනිමින් ලබන 10 සහ 11 දෙ‍දින තුළ දෝෂාභියෝගයට අදාළ වාර්තාව විවාදය ගැනීමට ආණ්ඩු පක්ෂයට සම්බන්ධ පක්ෂ නායකයන් කටයුතු කිරීමට සූදානම් වූ අවස්ථාවේදී විපක්ෂයේ සියළු පක්ෂ නායකයින් එම පක්ෂනායක රැස්වීමෙන් ඉවත් ව ගොස් තිබේ.

අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් අර්ථකතනය පිළිගැනීමට රජය තරයේ ප්‍රතික්ෂේප කිරීම නිසා පක්ෂ නායකයන්ගේ රැස්වීමෙන් විපක්ෂ නියෝජිතයින් පිටව ආ බව එජාප මන්ත්‍රී රවී කරුණානායක මහතා 'මිරර්' වෙත පැවසිය.

එජාප මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, දෙමල ජාතික සන්ධානයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍ර හා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ අනුර කුමාර දිසානායක් යන නියෝජිතයින් එලෙස පක්ෂ නායක රැස්වීමෙන් ඉවත්ව ගොස් ඇත.


Gossip Lanka Hot News Previous News Archive