උණහපුළුවාට උගේ පැටියා මැණිකක් බව අපේ ජනවහරේ කාලාන්තරයක් තිස්සේ පැලපදියම් වූ යෙදුමකි. ඒ මේ ලෝකයේ ජීවත්වන සතුන්ගෙන් අප්‍රසන්න, කැත සත්ත්වයකු වූවද උණහපුළු මවු උගේ පැටවුන් දිවි දෙවැනි කොට මැණිකක් සේ සුරක්ෂිත කරන නිසාය.
උණහපුළුවා උගේ පැටවුන් රකින්නා සේම දිවි දෙවැනිකොට අනේක දුක් පීඩා විඳින ආදරණීය මවක් සහ පියෙක් පිළිබඳ අපට ඉකුත් සතියේ අසන්නට ලැබුණේය.
කාලාන්තරයක් තිස්සේ කොටි ත්‍රස්තවාදීන්ගේ තර්ජනයන්ට ගොදුරු වූ වැලිකන්ද නවසේනපුර, සඳුන් පිටිය ගම්මානයේ කෙළවරක කුඩා නිවෙසක දරු පවුලක් ජීවත් වෙති. පියා කේ.ජී. අනුර (32)ය. මව අයි.ඩී.ධම්මිකා (33) ය. වැඩිමහල් දියණිය කේ.ජී. ලක්ෂිකා දිල්රුක්ෂි (12) වැලිකන්ද මහා විද්‍යාලයේ හත්වන ශේර්ණියේ ඉගෙනුම ලබන්නීය.
ඊළඟ දරුවා නුමේන් කෞෂික ලක්ෂාන් (41/2)ය. චූටි පුතා නෙත්සර කෞෂික හිරුෂාන් (මාස 21/2)ය. මේ දරුවන් සහ මවුපියන් ගැන අසන ඕනෑම කෙනකුට සිහිවන්නේ හරිම සුරතල් සුන්දර හුරුබුහුටි දරුවන් තිදෙනකුට හිමිකම් කියන වාසනාවන්ත පවුලකි.
ඊළඟ දරුවා නුමේන් කෞෂික ලක්ෂාන් (41/2)ය. චූටි පුතා නෙත්සර කෞෂික හිරුෂාන් (මාස 21/2)ය. මේ දරුවන් සහ මවුපියන් ගැන අසන ඕනෑම කෙනකුට සිහිවන්නේ හරිම සුරතල් සුන්දර හුරුබුහුටි දරුවන් තිදෙනකුට හිමිකම් කියන වාසනාවන්ත පවුලකි.
එහෙත් ඒ වාසනාවත් සමඟ සැඟවී මුළු ජීවිත කාලය පුරාම මවත්, පියාත් දූ දරුවනුත් විඳවන අසරණම අසරණ අවාසනාවන්ත කතාවක් මේ තුළ ඇත්තේය.
අපේ ගම්පළාත් මාතර කඹුරුපිටියෙ අපට පොඩි ගෙදරක් තිබුණෙ. මල්ලියි, අක්කලා දෙන්නයි පවුල් තුනක් එක ගෙදර පොඩි කාමර දෙකක හිටියේ. ඒකෙ ඉන්න අමාරු නිසා මගේ දුවයි පුතයි හදාගන්න වැලිකන්දට ආවා. මෙහෙට ඇවිත් දැන් අවුරුදු තුනක් විතර වෙනවා. සඳුන්පිටියේ ගෙයක් කුලියට ලැබුණා. කුලී වැඩ කරලා ගෙවල් කුලිය ගෙවන්න සිද්ධ වුණා. පුතා (නුමේන් කෞෂික ලක්ෂාන්) ඉපදුණේ බලපිටිය ඉස්පිරිතාලෙ. කඹුරුපිටිය වී.ඕ.ජී. හර්ෂ අතපත්තු තමයි කුසේ දරුවාව බැලුවේ.
දරුවාට පිටේ ගෙඩියක් තියෙයි කියලා ෙදාස්තර මහත්තයා කිව්වා. නමුත් ඉපදුණාම එහෙම එකක් තිබුණේ නෑ. හැබැයි පුතාගේ අත්කකුල් හතරම වැඩිලා තිබුණේ නෑ.
කේ.ජී. අනුර (32) සිය දෙවැනි දරුවාගේ උත්පත්ති කතාව කීවේය. දරුවා කුසට ආ මොහොතේ සිට සිය බිරිය විටින් විට රෝගාතුර වී ඇති අතර නොනවතින කැස්සක් හට ගැනීම නිසා මාස පහක් පමණ රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන්නට සිදු විය. විටින් විට රුධිරය වහනය වීම නිසා කුසේ වැඩෙන දරු ගැබට එය බරපතළ ලෙස බලපෑම් කර ඇත.
කෙසේ වෙතත් පෙර පාසල් යා යුතු වයසේ දඟකාරකම් කරමින් මිදුල පුරා දුව පැන යාහැකි අනෙක් දරුවන් දකින මේ මවුපියන්ට තම දරුවන් ගැන සිතේ ඇතිවන හැඟීම් වචනවලට නැඟිය හැකිද?
දූ නම් කවදා හරි දවසක එයාට ගැළපෙන කෙනෙක් එක්ක යාවි. ඒත් මගේ කොල්ලා අපි නැති දාට බලාගන්න කෙනෙක් නෑ. එහෙම හිතලා අපි දෙන්නම කතා කරලා අයියාව බලාගන්න මල්ලියෙක් හදමු කියලා තමයි දෙවැනි පුතා හැදුවේ. ඒත් මගේ පොඩි පුතාත් අයියා වගේමයි. අත් කුල් හතරම වැඩිලා නෑ. තාම මාස දෙකහමාරයි. පියා සිය බලාපොරොත්තු සුන්ව ගිය හැටි සුසුම්ලමින් අප හා පැවැසුවේය.
ලොකු පුතා කරාපිටියේ අස්ථි පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ට පෙන්නුවා. මාතර මහ රෝහලේ තබාගෙන ප්‍රතිකාර කළා. එහෙත් අස්ථි වැඩී නැති පාදත් අත් දෙකත් යළි යථා තත්ත්වයට ගැනීම වෛද්‍යවරුන්ට නොහැකි විය. පුතා වෙනුවෙන් දහදුක් විඳිමින් මාතර කඹුරුපිටියේ ගත කළ ජීවිතයට සමුදී පොළොන්නරුවේ අෑත දුෂ්කර නව සේනපුර සඳුන්පිටියට පැමිණ දිවි ගෙවන්නට වූහ. කුලී වැඩ කරමින් මේ දරු පවුල නඩත්තු කළ කේ.ජී. අනුර ගේ එකම අස්වැසිල්ල තම එකම දියණියයි.
අනේ මගේ දුවට ඉස්කෝලෙ යා ගන්නවත් විදියක් නෑ. මම කුලී වැඩට ගියාම අම්මට තනියම මල්ලිලා දෙන්නාගේ වැඩ කර ගන්න බෑ කියලා එයාට දැන් තේරෙනවා. සතියකට එක දවසක් හෝ දෙකක් තමයි ඉස්කෝලෙ යන්නේ. බස් එකට දෙන්න සල්ලි නැති වුණාම පොත් නැති වුණාම දූ ගෙදර නවතිනවා. අපට ඕන දුව ඉස්කෝලෙ යවන්න. ඒත් ඒකටවත් අපි වාසනාවන්ත නෑ.
පියාගේ දෙනෙත්වලට කඳුළු කැට නැඟ තිබිණි. දරුවන්ගේ වැඩපළ කිරීම සඳහා කුලී වැඩ කිරීමත් අත්හළ අනුරලාගේ ළිප දවසකට එක වතාවක්වත් මෙළවෙන්නේ මේ කුඩා දරුවන්ගේ බඩේ ගින්දර නිවා දැමීමටම නොවේ. මොනයම් හෝ දෙයකින් කුස රවට්ටා ගැනීමට වගේය.
මවුපියන්ට හොර රහසේ හාදකමක් පටන්ගෙන වයස අවුරුදු දහ අට දහනමය කාලයේ විවාහ දිවියට ඇතුළු වූ අනුරත් ධම්මිකාත් ජීවිතයේ වාසනාවන්තම කාලයේ මහා පාපයක් ගෙවමින් සිටින්නේය. මේ දුක්ඛිත ජීවිත දෙස කරුණාව පෑ නිවෙස කුලියට දුන් පුද්ගලයා කුලී ගැනීමද නවතා දැමුවේය. එහෙත් ඒ නිවෙස ද වැස්සට නොතෙමෙන දවසක් නැත. මුළුතැන්ගෙයත් සාලයත් එකමය. මගේ ලොකු පුතා මොන්ටි සෝරියට දාන්න නම් නම ලියා ගත්තා.
ඒත් පුතාව ගෙනියන්න ආපහු එක්ක එන්න විතරක් නෙවෙයි එයාට කවන්න, පොවන්න, වැසිකිළි කැසිකිළි ගෙනියන්න කෙනෙක් ඇරිලම ඉන්න ඕන. එතකොට පොඩි පුතා තාම මාස දෙකහමාරයි. එයා ළඟ අම්මා ඉන්නම ඕන. එතකොට මට වෙනත් රස්සාවක් කරන එක කරගන්න බෑ. මට මගේ දරුවෝ දෙන්නා රත්තරං. අපි නැති දවසක මගේ කොල්ලෝ දෙන්නාට යන කලදවස ගැන මට හිතාගන්නවත් බෑ. පියා වේදනාවෙන් මිරිකෙන අන්දම අපට පෙනෙයි. ඒ වේදනාව සඟවාගෙන බකල ගසමින් එහා මෙහා දඟකාර වැඩ කරමින් කැරකෙන නුමේන් කෞෂික ලක්ෂාන් දෙස බලා සිනා උපදවා ගනියි.
පොඩි පුතා හදාගත්තෙ ලොකු පුතාව බලාගන්න කෙනෙක් ඕන හින්දා. පොළොන්නරුවේ වී.ඕ.ජී. මැඩම් තමයි බැලුවේ. පුතා ඉපදුණාම ඩොක්ටර් කිව්වේ ජානමය බලපෑමක් හින්දා පොඩි පුතාට මේ තත්ත්වය උදාවෙන්න ඇති කියලා.
මේ දරුවන්ගේ මව වන අයි.ඩී. ධම්මිකා (33) පවසන්නීය.
නූතන වෛද්‍ය විද්‍යාව මොනතරම් හාස්කම් පෑවත් දුප්පත් අහිංසකයන්ට එහි පිහිට අල්පය. පළමු දරුවා ඇති දැඩි කර ගන්නා මවගේ සිතුවිලිවලට යළිත් එවැනිම දරු උපතත් සිදුවේදැයි නිරන්තරයෙන්ම ඇතිවන චකිතය දෙවැන්නාට ද එම ඉරණම අත් කිරීමට හේතු වූවාද යන්න මේ අසරණයන්ට නොතේරෙන දෙයකි. කුස තුළ වැඩෙන දරුවාගේ නිරෝගී බව වෙනුවෙන් කළ හැකි දෑ බොහෝ තිබෙන්නට ඇත. එහෙත් නැති බැරිකම පෙරමුණටම විත් ඒ සියල්ල යටපත් කරන්නට ඇත. උපන් දරුවන් ගේ නිරෝගී බව වෙනුවෙන්වත් යමක් කරන්නට අවශ්‍ය මේ මොහොතේත් ඔවුන් සිටින්නේ ළතැවිල්ලකය.
ආධාරයක් ඉල්ලුවා. ඒකත් තාම නෑ. ලොකු පුතාට කොමඩ් පුටුවක් ඉල්ලුවා. වැසිකිළි කැසිකිළි යන්න පුතාට ගොඩක් අපහසුයි. ඒකත් දෙන්න විදියක් නෑ. කුඩා දරුවන්ට හදපු ඒවා නෑ කිව්වා. රෝද පුටුවක් ඉල්ලුවා ඒකටත් ඒ සෙතේමයි. ඊට පස්සේ අපි පොඩි රෝද තුනේ බයිසිකලයක් අරගෙන ලොකු පුතාව ඒකෙ තියලා පැද්දුවා. දැන් එයාට බකලගගහ හරි ඇවිදින්න පුළුවන්.
අසරණයන්ගේ අසරණ හඬට නෑසූ කන්ව සිටින ඇත්තන් ජීවත්වන රටක මේ දරුවන්ට සලකන්නට, අතහිත දෙන්නට මැළිවීම අරුමයක් නොවේ. මෙවැනි දරු පවුල් සහ දරුවන් රැක බලා ගැනීම සඳහා අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ආයතන කොතෙකුත් තිබියදීත් මේ අසරණයන් දෙස ඇස් ඇර බැලීමට තරම් කාරුණික වී නැත.
මගේ දුව ඉස්කෝලෙ යන්න ආසයි. එයාට ඉස්කෝලේ යන්න ඇඳුම්, පොත් පත් නෑ. බස් එකට සීසන් එක ගන්න විදියක් නෑ. දරුවන්ට මාසෙකට රුපියල් 5000ක් විතර බෙහෙත්වලට වියදම් යනවා. දැන් මට කුලී වැඩකටවත් යන්න බෑ. දරුවෝ දෙන්නාගේ කටයුතු අම්මාට විතරක් කරන්න බෑ. මගේ අතත් කැඩිලා. ඒකට බෙහෙත් දානවා.
මේ අහිංසක මල් කැකුළුවල පියා කේ.ජී. අනුර පවසන්නේය. ජීවිතය ගැට ගසා ගන්නටවත් විදියක් නොමැතිව කම්මුලේ අත් ගසා දහ අතේ කල්පනා කරමින් කාලය ගෙවා දැමීමට මේ පියා කිසිදාක නොසිතයි. පුළු පුළුවන් හැම විටම ඔහු කුලියක් කර දරුවන්ට කැඳ උගුරක් බීමට හෝ යමක් රැගෙන එන්නේය. මේ දරුවන් තිදෙනා සමඟ වැටී සිටින්නට කුඩා නිවෙසක් සාදා ගැනීමත් දරුවන්ගේ විය හියදම් උපයා ගැනීමත් මහා අභියෝගයක් වී ඇති මේ මොහොතේ නව වසරේ පරිත්‍යාගශීලී අපේ රටේ මිනිස්කම දන්නා මිනිසුන් එම බර හෑල්ලු කිරීමට ඉදිරිපත් වේ යැයි ඔහු සිහින දකින්නේය.
ඒ සිහින සැබෑ කරන්නට නව වසරේ අනෙකාගේ දුක දන්නා ආදරණීය දරුවන් ඇත්තවුන්ගේ අතහිත අනුර සහ ධම්මිකා පවුලේ කිරි සුවඳ වෑහෙන කුඩා දරුවන්ට කරන මහා උපකාරයක් වනු නොඅනුමානය.
උපුටා
ගැනීම -මව්බිම