පියකු සහ පුතකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් 69 හැවිරිදි පියාගේ පොලු පහරින් 37 හැවිරිදි පුතු මරණයට පත් වී තිබේ.සැකකාර පියා රක්වාන පොලිසිය විසින් පසුගියදා (18දා) අත්අඩංගුවට ගනු ලැබීය.රක්වාන දෙණියාය මාර්ගය අසල නිවෙසකදී මේ ප්රහාරය සිදුවී දින දෙකක් වුවත් පොලු පහරට ලක් වූ පුතු රෝහල් ගත කර නොතිබූ බවද පරීක්ෂණවලදී හෙළි වී ඇත.
මියගිය අයගේ බිරිය විදේශගත වීම නිසා ඔහුගේ දරුවාද ජීවත් වී ඇත්තේ සැකකරුට අයත් නිවෙසේමය. එම දරුවාට ආහාර ලබා නොදුන්නේ යැයි කියන සිද්ධියක් බහින්බස් වීමට මුල් වී ඇතැයි පරීක්ෂණවලදී හෙළිවිය.මේ පහරදීමට පෙර මියගිය පුතු විසින් සැකකාරට පියාට අතින් පහරදී ඇතැයිද පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
පසුගිය 15 වැනිදා රාත්රි පියා විසින් පුතුට එල්ල කළ පොලු පහරින් ඔහු බරපතළ තුවාල ලබා සිටියදී රෝහල් ගතකර ඇත්තේ ඉකුත් 17 වැනිදාය. රෝහල්ගත කරන විට ඔහු මියගොස් සිටි බව පොලිසිය කියයි.
ඝාතන සිද්ධිය අනාවරණය වීමෙන් පැය කිහිපයකට පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.රත්නපුර ජේයෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත පරීක්ෂණ සිදුවිය.රත්නපුර සහකාර පොලිස් අධිකාරි බුද්ධි උඩුගම්සූරිය මහතාගේ මෙහෙයවීම මත රක්වාන පොලිස් ස්ථානාධිපති ආරියරත්න, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති මස්ඉඹුල යන මහත්වරු පරීක්ෂණ සිදුකරති.මහෙස්ත්රාත් පරීක්ෂණය පසුගියදා (18දා) පැවැත්වීමට නියමිතව තිබිණි.