දෝෂාභියෝගයේදී කතා නොකර රනිල්ගෙන් ලෝක වාර්තාවක් !

පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල ව්‍යවස්ථාදායකය හරහා ජනාධිපතිවරුන් හා උපරිමාධිකරණ විනිසුරුවරුන් ඉවත් කිරීමේ එකම ක්‍රමවේදය වූ දෝෂාභියෝග ක්‍රියාවලියට අනුව අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග වාර්තාව පාර්ලිමේන්තුවේ විවාද කළ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකොට නිහඬව සිටි ලොව පළමු හා එකම විපක්‍ෂ නායකවරයා ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා (11දා) දිනයේදී ලෝකවාර්තාවක් තැබීය.

එමෙන්ම අගවිනිසුරුවරයකුට එරෙහිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෝෂාභියෝග විවාදයක් පැවැත් වූ පළමු අවස්ථාවේදීම එම විවාදයට එක් වී අදහස් ප්‍රකාශ නොකළ පළමු විපක්‍ෂ නායකවරයා ලෙසටද වික්‍රමසිංහ මහතා වාර්තා පොත් අතරට එක් විය.
 අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ආණ්ඩුව විසින් රැගෙන ආ දෝෂාභියෝගයට ආණ්ඩුවේම ඇමැතිවරු තිදෙනෙක් සහ මන්ත්‍රිවරයෙක් ඡන්දය භාවිත නොකරන බව ප්‍රසිද්ධියේ කියා සිටියදී විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දෝෂාභියෝගයට එරෙහිව පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමෙන් වැළැකී සිටියේ ආණ්ඩුව සමඟ ඇති කරගෙන තිබූ රහස් එකඟතාවකට අනුව බව බොහෝ පාර්ශ්වවල මතය වී තිබේ. 
  එමෙන්ම ආණ්ඩුව දිගින් දිගටම පාර්ලිමේන්තුව උත්තරීතර බවටත්, පාර්ලිමේන්තුවට නියෝග ලබා දීමට බලයක් අධිකරණයට නොමැති බවටත් කියද්දී එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාද රටට අවධාරණය කර සිටියේ පාර්ලිමේන්තුව උත්තරීතර බවත්, පාර්ලිමේන්තුවට එරෙහිව නියෝග ලබාදීමට අධිකරණයට බලයක් නොමැති බවත්ය.

විශේෂයෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නීත්‍යනුකූල නොවන බවටත්, දෝෂාභියෝග වාර්තාව විවාදයට ගැනීම නීතිවිරෝධී බවටත් අධිකරණය මඟින් තීන්දු කළ අවස්ථාවේදී විපක්‍ෂයේ සියලුම පක්‍ෂ ඊට පක්‍ෂව අදහස් දක්වද්දී වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් සිටියේ ආණ්ඩුව දැරූ ස්ථාවරයේමය.

කතානායකවරයා සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නියෝජිතයන් හට අධිකරණය හමුවට පැමිණෙන ලෙස නිකුත් කළ නොතීසිවලට අනුව ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් අධිකරණය හමුවට ගියද රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව කළ පරිදිම සිය නියෝජිතයන් අධිකරණය ඉදිරියට යෑම වැළැක්වීමට කටයුතු කෙළේය.

එම අධිකරණ කටයුතු ක්‍රියාත්මක වූ තීරණාත්මක කාල වකවානුවේ ආණ්ඩුවේ වියදමින් සිය බිරිය සමඟ ඉතාලියේ අතිසුඛෝපභෝගී ආකාරයට නිවාඩුවක් ගත කළ වික්‍රමසිංහ මහතා එම කාලය ඇතුළත දෝෂාභියෝගය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටින ලෙසට සිය මන්ත්‍රිවරුන්ට නියෝගයක්ද පැනවීය.

එමෙන්ම තම නියෝගය නොතකා අධිකරණ කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා ගිය එ.ජා.ප. මන්ත්‍රිවරුන්ගෙන් නිදහසට කරුණු විමසීමටද එ.ජා.ප. නායකයා පියවර ගත්තේය.
මීට අමතරව විපක්‍ෂය මගින් හා නීතිඥ එකමුතුව මඟින් දෝෂාභියෝගයට එරෙහිව පැවැත්වූ කිසිදු දෝෂාභියෝගයකට හෝ කිසිදු ප්‍රවෘත්ති සාකච්ඡාවකට හෝ වික්‍රමසිංහ මහතා සහභාගි නොවී සිටීමටද වගබලා ගත්තේය. අවසාන වරට ඉකුත් බ්‍රහස්පතින්දා (10දා) නීතිඥ එකමුතුව මගින් අලුත්කඩේ සිට පාර්ලිමේන්තුව දක්වා පැවැත්වීමට සූදානම් කොට තිබුණු පෙළපාළිය අලුත්කඩේ සිට ලේක්හවුස් වටරවුම දක්වා වෙනස් කළ රනිල් වික්‍රමසිංහ මහතා, ඊට සහභාගි වන බව මුලින් ප්‍රකාශ කොට අන්තිම මොහොතේදී ඉන් ඉවත්වීමටද කටයුතු කෙළේය.

මේ ආකාරයට සමස්ත දෝෂාභියෝග ක්‍රියාවලියේදී ආණ්ඩුව හා වික්‍රමසිංහ මහතා අතර පැවැති රහස් ගනුදෙනුව හෙළිදරව් වූ තවත් අවස්ථාවක් වූයේ අගවිනිසුරුවරියට එරෙහිව ආණ්ඩුවේ පාර්ශ්වයෙන් අලවා තිබුණු පෝස්ටරයය. එම පෝස්ටරය මගින් අගවිනිසුරු - දෙමළ ජාතික සන්ධාන හා ජ.වි.පෙ. සම්බන්ධකොට කොටි සන්ධානයක් ගැන හෙළිදරව් කර තිබූ අතර ඉතිහාසයේ පළමු වතාවට එම කොටි සන්ධානයෙන් ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඉවත් කිරීමට පියවර ගෙන තිබීමද විශේෂ සිදුවීමක් විය.

Gossip Lanka Hot News Previous News Archive