ආණ්ඩුව දැන් මාරාන්තික තුවාල ලබලා - Anura Kumara Dissanayake

පසුගියදා දෝෂාභියෝගයෙන් ආණ්ඩුව ලැබූවේ තාවකාලික ජයක් බවත් එම සටනින් ආණ්ඩුව මාරාන්තික තුවාල ලැබූ බවත් ජවිපෙ මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි. හැම සටනක්ම සතුරා ජයග්‍රහණය කරන්නේ නැහැ.

එක් සටනකදී තුවාල, තවත් සටනකදී මාරාන්තික තුවාල තවත් සටනකදී සතුරාට තීරණාත්මක පරාජයන් අත්පත්කර දිය හැකියි. එම ඉරණමට අද රාජපක්ෂ ආණ්ඩුවේ මුහුණ දී සිටිනවා යැයිද අනුර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ පසුගියදා පැවැති දෝෂාභියෝගයෙන් පසු රටේ හෙට දවස නම් ගමපහ පැවති සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනි.


වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා 'ආණ්ඩුව කිසිම තීරණයක් ජනතාව ගැන හිතලා ගන්නේ නැහැ. පසුගිය කාලෙත් ගත්ත සියලූම තීන්දු ගත්තේ තමන්ගේ පවුල ගැන හිතලා. ජනතාව ගැන හිතලා නෙවෙයි. පවුලට බලය වෙනුවෙන් ගත්තු තීන්දු. එහෙම ප්‍රශ්න බේරගන්න ඕනෙනම් ඒවා පවුලත් එක්ක බේරාගත යුතුයි. ඒක රටත් එක්ක බේරගන්න එන්න එපා. හැබැයි ඒ දේවල් රටත් එක්ක බේරගන්න ආවොත් අපි ඉන්නේ රටේ පැත්තෙයි.
පවුලක් වෙනුවෙන් ජනතාවටත් රටටත් විනාශයක් කරලා තිඛෙනවා. එනිසා මේ ආණ්ඩුව තමන්ගේ අතට තව තවත් බලය ගන්න තමයි වැඩ කරමින් යන්නේ. ජනතාව එවැනි ආණ්ඩුවක් රකින්න ඕනැද? රකින්න ඕන නැහැ.

මේ ආණ්ඩුව, මේ පාලනය ඕන පැත්තකින් කපලා බලන්න. මේ ආණ්ඩුව විධායකය පැත්තෙන් කපලා බලන්න. හම්බවෙන්නේ රාජපක්ෂ කෙනෙක්. මේ ආණ්ඩුව ව්‍යවස්ථාදායකය ඒ කියන්නේ පාර්ලිමේන්තුව පැත්තෙන් කපලා බලන්න, හම්බ වෙන්නේ රාජපක්ෂ කෙනෙක්. මේ පාලනයේ ආර්ථීකය පැත්තෙන් කපලා බලන්න හම්බවෙන්නේ රාජපක්ෂ කෙනෙක්. මේ පාලනයේ කොයි පැත්තෙන් කපලා, හරවලා බැලූවත් අපිට හම්බවෙන්නේ රාජපක්ෂ කෙනෙක්. මොකක්ද මේ පාලනය. මේක තමයි පවුල් පාලනය කියන්නේ. විධායකය ව්‍යවස්ථාදායකය ආර්ථීකය රාජපක්ෂ කෙනෙකුට යටකරනවානම් කොහොමද රටේ සාධාරණ පාලනයක් තියෙන්නේ.

පසුගියදා බන්දුල ගුණවර්ධන කැබිනට් පත්‍රිකාවක් දැම්මා පාසල් ළමුන්ට සපත්තු බෙදාදීමට. එය මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය අවශ්‍ය වී තිබුණා. මුදල් ඇමති මහින්ද රාජපක්ෂ. ඉතිං ඔහු මොකක්ද කළේ ඔහු එම කැබිනට් පත්‍රිකාව ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයට පැවරුවා. ඒ වගේම පාසල් දහසක් සංවර්ධනයට කියලා ව්‍යාපෘතියක් ගෙනාවා පහුගිය දවස්වල. එය අයිති වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට. නමුත් දැන් මොකද කරලා තිඛෙන්නේ එය ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයට පවරලා තියෙනවා. දැන් ආර්ථීකයට සම්බන්ධ හැම ව්‍යාපෘතියක්ම කරන්නේ රාජපක්ෂ කෙනෙක්. මේක රාජපක්ෂ පවුල් පාලනයක්. ඉතිං අපි අහනවා මේ රටේ පොදු ජනතාව මේ පවුල් පාලනයට තවදුරටත් ඉඩ දිය යුතුද? කියලා.

මේ ඩෝසර් කරගෙන යන්නේ අපේ නිදහස, අපේ අයිතිය. අපිට දේශපාලනයේදී විවිධ මත තිඛෙනවා. අපි විවිධ දේවල් ගැන විවිධ මත දරණවා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයේදී අප සියලූ දෙනා එකම වේදිකාවකට පැමිණිය යුතුයි. මේ සටන තවදුරටත් බෙදාගන්න, තවදුරටත් වෙන්වෙලා ඉන්න අවස්ථාවක් නෙවෙයි මේ ඇවිත් තිඛෙන්නේ. අපිට දේශපාලනය කිරීමට ඇති අයිතිය, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය, රජයේ ආයතනයකින් යම්කිසි කටයුත්තක් සිදුකර ගැනීමට ඇති අයිතිය වැනි මූලික මිනිස් අයිතිවාසිකම් අපි කාටත් හිමි විය යුතුයි. නමුත් එම ප්‍රජාතන්ත්‍රවාදය අහිමිකරමින් යන්නේ. එනිසා එම සතුරාට එරෙහිව අපි සියල්ල එකට එකතුවිය යුතුයි. නමුත් එකතුවිය යුත්තේ සතුරාට එරෙහිව කෙලින් හිටගන්න පුළුවන් අය එක්ක පමණයි. තීරණාත්මක අවස්ථාවලදී සතුරාගේ උවමනාවන් ඉටුකරලා දෙන, සතුරා සමග එකට සිටගන්න අයත් සමග මේ ගමන යන්න බැහැ.

දෝෂාභියෝගය ප්‍රශ්නය වෙලාවේදී ආණ්ඩුවට මතයක් ඕන වුණා පාර්ලිමේන්තුව උත්තරීතරයි කියලා කියාගන්න. ආණ්ඩුවටත් කලින් ඒක කියපු කට්ටියක් හිටියා. එහෙම අය වැඩක් තියෙනවද මෙහෙම සටනකට. වැඩක් නැහැ. ආණ්ඩුවේ එම ප්‍රජාතන්ත්‍රවිරෝධී ගමන වැටිලා තිබුණේ පාර්ලිමේන්තුව හරහා. ඒ ගමනට පළවෙනියෙන් සහාය ලබාදුන්නේ මේ රටේ විපක්ෂනායකවරයා. ඒක තමයි ඇත්ත තත්වය. අධිකරණයත්, අභියාචනාධිකරණයත් ලබාදුන්නු තීන්දු පිළිගන්නේ නැහැ කියලා ආණ්ඩුවටත් කලින් කිව්වේ තිස්ස අත්තනායක ලේකම්වරයා. එනිසා එකතුවිය යුත්තේ තීරණාත්මක අවස්ථාවලදී සතුරා සමග පෙළ නොගැසෙන අය සමඟ පමණක්මයි.

එනිසා දැන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පොදු මධ්‍යස්ථානයක අවශ්‍යතාවය මතුවෙලා තිඛෙනවා. එවැනි මධ්‍යස්ථානයක් ගොඩනැගීම වෙනුවෙන් අපි උත්සාහයක් දරමින් ඉන්නවා. මේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වන්නේ ශ්‍රීලංකා, ජේවීපී, යූඑන්පී, නීතිඥයෝ, විශ්වවිද්‍යාල ආචාර්යවරු කියලා තෝර තෝරා නෙවෙයි. එය සිදුවන්නේ අපි සියලූ දෙනාට එරෙහිවයි. එනිසා පොදු මධ්‍යස්ථානයක අවශ්‍යතාවය තිබෙනවා. ඒ සඳහා තමයි අපි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය ගොඩනගලා තිබෙන්නේ. එය සක්‍රීය මධ්‍යස්ථානයක් බවට පත්කරන්න ඕනෑ. සමහර අය හිතනවා මොනව කරත් වැඩක් නැහැ ඡන්දයක් ආවොත් මහින්ද රාජපක්ෂ දිනනවා කියලා. නමුත් එය නිවැරදි අදහසක් නොවෙයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සටනේදී යම් ජයග්‍රහණ ප්‍රමාණයක් අත්පත් කරගෙන තමයි එය අවසන් වුණේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට එරෙහිව තිබූ යම් යම් චක්‍රලේඛ ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කළා. ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරන්න ආණ්ඩුව එකඟවුණා. ජනවාරි සිට පඩි පතට යම් ප්‍රමාණයක් එකතුවුණා. ඒ වගේම තමයි නීතිඥයින්ගේ සටන දෙස බලන්න. මේ රටේ අධිකරණය යටකරගැනීමට ආණ්ඩුව ගෙන ගිය කි්‍රයාදාමයට එරෙහිව නීතිඥයින් ජනතාව සමග අරගලයක් දියත් කළා. එයින් අප යම් ජයග්‍රහණයක් ලබාගත්තා. ඔබ දන්නවා රෝමයේ වහල්ලූන් යොදාගෙන කරන සටන් ක්‍රියාවලියක් තිබ්බා. වහල්හිමියන්, රටේ ප්‍රභූවරුන් පිනවන සටනක් මේක. මෙහිදී වහලූන් දෙදෙනෙක් සටනට කැඳවනවා. මින් එක් වහලෙකු අනිවාර්යෙන්ම මිය යනවා. නමුත් දිනන වහලත් මාරාන්තික තුවාල ලබනවා. ඔහුත් ටික කාලෙකින් මිය යන්න පුළුවන්කම තිබෙනවා. මේ නීතිඥයින්ගේ සටනත් ඒ වගේ තමයි. ආණ්ඩුව ජයග්‍රහණය කරාට මාරාන්තික තුවාල ලබලයි ඉන්නේ.

එනිසා හැම සටනක්ම සතුරා ජයග්‍රහණය කරන්නේ නැහැ. එක් සටනකදී තුවාල, තවත් සටනකදී මාරාන්තික තුවාල තවත් සටනකදී සතුරාට තීරණාත්මක පරාජයන් අත්පත්කර දිය හැකියි. ඒනිසා අද රාජපක්ෂ ආණ්ඩුවේ ඉරණම වී තිඛෙන්නේ එයයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ නව අගවිනිසුරු පිළිගැනීමේ නිල උත්සවයට නීතිඥ සංගමය සහභාගි වෙන්නේ නෑ කියන්නේ සටනේ මාරාන්තික තුවාලයි. රටේ නීත්‍යානුකූල අගවිනිසුරුවරයෙක් සහ නීත්‍යානුකූල නොවන අගවිනිසුරු කෙනෙක් ඉන්නවා කියලා රටේ මතයක් ගොඩනැගිලා තිඛෙනවා. එය මේ සටනේ මාරාන්තික තුවාලයි. එතනින් නොනැවතී තවත් ව්‍යවස්ථා සංශෝධන හරහා බලය තහවුරු කරගන්න ආණ්ඩුවට සිදුවෙනවානම්, එය මෙම සටනේ මාරාන්තික තුවාලයි. මේ සංඥාවලින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවට මාරාන්තික තුවාල තිඛෙනව බවයි. අපිට මෙම ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලනය අවසන් කිරීමේ සටනක් තිඛෙනවා. මේ රටේ නව සමාජ පරිවර්තනයක් වෙනුවෙන් සටනක් තිඛෙනවා. අපේ රටේ ඉදිරියටත් සටන් දහස් ගණනක් එන්න පුළුවන්. ඒ සියල්ල තීරණාත්මක සටන් වන්නේ නැහැ. නමුත් තීරණාත්මක සටනක් එන අවස්ථාවේදී අපේ රටේ ජනතාවගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සහ අයිතීන් වෙනුවෙන් සටන් කරන්න පෙළගැසෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා.'

Gossip Lanka Hot News Previous News Archive