මීට වසර පහළොවකට පමණ පෙර කාලයේ අපේ ජනතාව රු. 3.50 පාන් කද්දී එකල සුපිරි පැලැන්තියේ ආභරණයක් වූ ජංගම දුරකථනයේ මිනිත්තුවක ඇමතුම් ගාස්තුව රු. 35 ට වැඩි මිසක් අඩු නොවීය. එහෙත් ආර්ථික උද්ධමනයට පින් සිදුවන්නට අද වන විට පාන් රාත්තල රු. 50 දක්වා ඉහළ යද්දී දුරකථන ඇමතුම් ගාස්තුව රු. 2.50ටත් වඩා පහළ බැස තිබේ. එය ජංගම දුරකථන සමාගම් අතර 'අඩුම මිලටත් වඩා අඩුවෙන්' ඇමැතුම් ගාස්තු පිරිනැමීමේ තරගය නිසා පාරිභෝගික ජනතාවට සිදුවූ ආනිශංසයකි.
ලංකාවේ සෑම සියලු පාරිභෝගික භාණ්ඩයකම මිල රොකට් වේගයෙන් ඉහළ යද්දී දුරකථන ඇමතුම් ගාස්තු එන්න එන්නම පහළ වැටීම නිසා අද වන විට දුරකථනය පොදු ජනතාවගේ අත මිට ගැවසෙන සුලබ භාණ්ඩයක් බවට පත් වී ඇත. විදුලි සන්දේශ නියාමන කොමිසමේ සංඛ්‍යා වාර්තා අනුව කිවහොත් ලංකාවේ මුළු ජනගහනයෙන් 62% කට අධික පිරිසක් අත ජංගම දුරකථනය පරිහරණය වෙයි. මේ සංඛ්‍යාව අපේ අසල්වැසි ආසියාකරයේ අනෙක් රටවල් බොහොමයකට වඩා පෙරටුගාමී තත්ත්වයකි.
ජංගම දුරකථන තාක්ෂණය අතින් බැලුවද ලංකාව සෙසු බොහෝ ආසියානු රටවලට වඩා පළමුව නව තාක්ෂණයන්ට මාරු වූ රටකි. නිදසුනක් ලෙස ආසියාවේ පළමු වරට 3ට් තාක්ෂණය මෙන්ම 3.5ට් තාක්ෂණය ද වද්දා ගන්නට ලංකාව සමත් විය.
එතරම් දුර දිග ඉතිහාසයක් නැතත් ජංගම දුරකථන වංස කතාව වැදගත් පරිච්ඡේද කිහිපයක් තිබේ. 1G, 2G, 3G සහ 4G ලෙසින් හැඳින්වෙන ඒවා ජංගම දුරකථන තාක්ෂණය කාලයාගේ ඇවෑමෙන් විකාශය වූ අයුරු මොනවට පෙන්වයි.
1980 දශකයේදී ඇනලොග් තාක්ෂණයෙන් යුතුව පළමු පරම්පරාවේ (1G) ජංගම දුරකථන බිහි වූ අතර ඊඒඛ්ඉ සහ ඒර්ර්ථීඉ බඳු තාක්ෂණය ක්‍රමවේද ඊට යොදා ගැනිණි.
90 දශකයේ මුලදී 2G දෙවැනි පරපුරේ ජංගම දුරකථන ඩිජිටල් තාක්ෂණයෙන් බිහි වූයේ දුරකථන ඉතිහාසයේ විප්ලවීය වෙනසක් කරමිනි. TACS, AMPS බඳු ප්‍රබල තාක්ෂණ ක්‍රමවේද මේ යටතේ භාවිත වූ අතර 'ගඩොල් භාග' දුරකථනවල සිට කුඩා හුරුබුහුටි දුරකථනවලට මාරු වන්නට මින් ඉඩ ලැබිණි.
TACS තාක්ෂණය ලංකාවට ගොඩ බැසීමත් සමඟ ජංගම දුරකථනය ජනතාකරණය වීමේ නව රැල්ල ඇරඹිණි. බොහෝ නවාංග, තාක්ෂණ හැකියාවලින් සමන්විත වූ AMPS තාක්ෂණය සමඟ 'සිම් පත' කරළියට පැමිණි අතර එතෙක් කටහඬ පමණක් හුවමාරු වූ ජංගම දුරකථන හරහා දත්ත හුවමාරුවට ද ඉඩකඩ ලැබිණි. ට්ඉර් තාක්ෂණයේ බලපුළුවන්කාරකම් නිසාම ලංකාවේ සියලු ජංගම දුරකථන සමාගම්වලට ක්‍රමයෙන් ට්ඉර් තාක්ෂණයට අනුගත වන්නට සිදුවිය. ජංගම දුරකථනයේ ඉහළ යන ජනප්‍රියත්වය නිසාම ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සිය ජාල ගොඩනඟා ගන්නට සෑම දුරකථන සමාගමක්ම උනන්දු විය. එය ඉතා ඉක්මනින් උතුර, නැඟෙනහිර දෙපළාත ද වසා ගනු ඇත.
ඉහළ දත්ත හුවමාරු වේගයක් සහ බහු මාධ්‍ය හැකියාවලින් යුක්ත 3G තාක්ෂණය නමෝ විත්තියෙන් කල එළි බැස්සේ වසර 2001 දී පමණය. 3G තාක්ෂණය ජංගම දුරකථන වංස කතාවේ මංසලකුණක් සටහන් කළ නව පෙරළියකි. ජංගම දුරකථන අතර 'හඬ' පමණක් නොව 'දත්ත' ද හරියට වේගවත්ව සම්ප්‍රේෂණය කරන්නට මේ මඟින් ඉඩ ප්‍රස්තාව ලැබේ. මේ නිසාම ජංගම දුරකථන හරහා වීඩියෝ ඇමැතුම් ලබාගන්නටත් ඉන්ටර්නෙට් ගත වී වෙබ් අඩවි අතර වේගයෙන් සැරිසරන්නටත් ලිපි ගොනු ඉක්මනින් බා ගත කිරීම ආදී අටෝරාසියක් වැඩ රාජකාරි සඳහා ඉඩකඩ ලැබේ.
ජංගම දුරකථන වංස කතාවේ නව පරපුර අද හැඳින්වෙන්නේ 4G හෙවත් සිවුවැනි පරපුර ලෙසිනි. LTE (Long Term Evolution) තාක්ෂණ යොදා ගන්නා මේ ජංගම දුරකථන පැලැන්තිය, "හඬ", දත්ත මෙන්ම බහු මාධ්‍ය සේවාද වේගයෙන් සම්ප්‍රේෂණය කරන්නට සමත්ය.
3gතාක්ෂණය නිසා ජංගම දුරකථනය වීඩියෝ සංවාද, කෙටි වීඩියෝ පණිවුඩ සේවා, ඉන්ටර්නෙට් පරිශීලන (Internet browsing) ඊමේල් හා ඉන්ටර්නෙට්ගත සංවාද ආදී විවිධ කාර්ය බහු මාධ්‍යයේ සන්නිවේදන සේවා සපයන මෙවලමක් වී ඇත. මීට අමතරව අද ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් දුරකථනවලට එක් කර ඇති නව අංග සහ හැකියා රැසකි. කැමරා, වීඩියෝ කැමරා, රේඩියෝ මෙන්ම රූපවාහිනී පහසුකම් ද ඒ අතර ප්‍රධානය.
එකී මෙකී නොකී සියලු පහසුකම් සමඟ ජංගම දුරකථනය අද සාර්ථක සන්නිවේදන මෙවලමක් බවට පත්වී ඇත. නවීන ලෝකයේ කාර්යබහුල වෘත්තිකයකුට නැතිවම බැරි උපකරණයක් බවට ජංගම දුරකථනය පත් වන්නේ ද ඒ නිසාය.
මෙබඳු ජංගම දුරකථන අද හැඳින්වෙන්නේ smart phone ලෙසිනි. ඒවා පහසුකම් අතින් පුංචි පරිගණකයකට බෙහෙවින් සමානය. වෙනකක් තබා පරිගණකවල මෙන්ම මෙහෙයුම් පද්ධතියක් (operating system ) සහ ඔෆිස් (office) මෘදුකාංග පැකේජ ද අඩංගු වේ. මේ නිසාම ලැප්ටොප් පරිගණකය අභිභවා ජංගම දුරකථනයේ වෙළෙඳපොළ ව්‍යාප්තිය ලොව පුරා ඉහළ යමින් පවතී.
මෙබඳු නවීන ජංගම දුරකථන (smart phone) විවිධ නිෂ්පාදකයන් මාදිලි රැසකින් ඉදිරිපත් කරන අතර අප රටේ වෙළෙඳපොළට බොහෝ මාදිලි එසැණින්ම එකතු වන්නේ ඒවාට දැන් දැන් ඇති ඉල්ලුම නිසාය. අද වන විට නවීන ජංගම දුරකථනවල මෙහෙයුම් පද්ධති කිහිපයක් දකින්නට ලැබේ. මයිකේරාසොෆ්ට් සමාගමේ වින්ඩෝස් මොබයිල් මෙහෙයුම් පද්ධතිය, සිම්බියන් මෙහෙයුම් පද්ධතිය, බ්ලැක්බෙරි මෙහෙයුම් පද්ධතිය මෙන්ම ඇපල් සමාගමේ අයිෆෝන් (i phone) මෙහෙයුම් පද්ධතිය මින් ප්‍රධානය.
නවීන ජංගම දුරකථනවල අඩංගු අටෝරාසියක් හැකියා නිසාවෙන්ම මේ ක්ෂේත්රයට නව මාන විවර වෙමින් පවතී. තොරතුරු (content) සපයන මාධ්‍යයක් ලෙස එහි භාවිතාව එන්න එන්න ඉහළ යමින් පවතී. ජංගම දුරකථන වෙළෙඳපොළම ඉලක්ක කර ගත් මොබයිල් ගේම්ස්, සංගීතය, කෙටි වීඩියෝ ආදී බොහෝ යෙදුම් අප රට තුළ දැනටමත් බෙහෙවින් ජනප්‍රියය. වෙනකක් තබා මෙබඳු යෙදුම් නිර්මාණය කිරීමේ මෘදුකාංග ශිල්පීන් සහ මාධ්‍ය ආයතන පවා දැනටමත් ලංකාවේ තිබේ. අද වන විට ඉතා ජනප්‍රිය සමාජ වෙබ් අඩවි වන Fcebook, youtube අඩවිවලට කෙළින්ම සම්බන්ධ විය හැකි යෙදුම් බොහෝ ජංගම දුරකථනවල අඩංගු වේ. දුරකථනයේ ඇති කැමරාවෙන් ගන්නා පින්තූරයක් හෝ වීඩියෝ දර්ශනයක් එවෙලේම සමාජ වෙබ් අඩවියකට ඇතුළු කොට සෙස්සන් සමඟ බෙදා හදා ගැනීමද තප්පර කිහිපයක වැඩකි.
මෙසේ contents නැතිනම් තොරතුරු හුවමාරුව ජංගම දුරකථන ක්ෂේත්‍ර කර ඇති පෙරැළිය අපේ ජන සමාජයට ද තදින්ම බලපා ඇත. මීට දශක දෙකකට පෙර කාලයේ පෙම්වතුන් සෙනෙහ කොළවල සිය ආදරය බෙදාගනිද්දී අද කාලයේ පෙම්වතුනට ජංගම දුරකථනය නැතුවම බැරි 'මල් අවියක්' වී ඇත. වරු ගණන් නිමා නොවන මල් කතා ගොතන්නට, හිතෙන හිතෙන වෙලාවට sms කෙටි පණිවුඩ යවන්නට, හිතේ තෙරපෙන අටෝරාසියක් හැඟීම් 'රින්ගින් ටෝන්' බඳු සංගීත ඛණ්ඩ ලෙසින් මුදා හරින්නට අපේ කාලයේ පෙම්වතුන්ට හැකිවී තිබේ. වෙනකක් තබා සාක්කුවට නොදැනෙන ලෙස 'රින්ග් කට්' එකක් දීමේ අලුත්ම සන්නිවේදන උපක්‍රම ද අපේ කාලයේ ජංගම දුරකථන පාරිභෝගිකයන් සොයා ගෙන ඇත.
ව්‍යාපාර ක්ෂේත්රයේ දැවැන්ත ව්‍යාපාරික ජාලවල සිට සුළු පරිමාණ නැතහොත් තනි පුද්ගල ව්‍යාපාරිකයා දක්වා අද ජංගම දුරකථනය සිය 'බිස්නස්' වැඩ සඳහා යොදා ගනී. බොහෝ ව්‍යාපාරවල සබඳතා ජාල මුළුමනින්ම පවතින්නේ ජංගම දුරකථන සේවා හරහාය. අද දවසේ හන්දියේ ත්‍රීවීල් එක දුවන ත්‍රීවීල් මල්ලිව පවා ඕනෑම වෙලාවක ගෙන්වා ගත හැකි 'හොට් ලයින්' එකක් ඇත. පොල් කඩන බොහෝ පුද්ගලයන් පවා ජංගම දුරකථනය භාවිත කරන්නේ පොල්මුරය කැඩෙන කාලයට තමාව පහසුවෙන් සම්බන්ධ කර ගනු පිණිසය.
M commerce හෙවත් ජංගම දුරකථන පාදක කර ගත් වෙළෙදාම දැන් ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතී. ජංගම දුරකථනය හරහා ගනුදෙනු කරමින් භාණ්ඩ හා සේවා ගැනීම මෙහි සරලම අරුතයි. ජංගම දුරකථනය මගින් බැංකු සේවා ලබා ගැනීම (M Banking) අප රටේ පවා ප්‍රචලිත කරුණකි. ගිණුමේ ශේෂය දැන ගැනීමට, බිල්පත් ගෙවීමට ආදී සේවා රැසක් sms තාක්ෂණය හරහා සිදුකිරීමට ජංගම දුරකථන හිමියන්ට හැකිවී තිබේ. මීට අමතරව සිනමා ප්‍රවේශපත් මිලදී ගැනීම, දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම(M Ticketing) ආදී සේවා සඳහා මෙන්ම වෛද්‍යවරු චැනල් කරන්නටද (M Channelling ) ජංගම දුරකථනය මඟින් පුළුවන. එමෙන්ම ජංගම දුරකථනයෙන් ඉන්ටර්නෙට් වෙබ් අඩවියකට හෝ WAP අඩවියකට පිවිස ගනුදෙනු කරන්නට ද හැකියාව තිබේ. මේ සියල්ල (M commerce) හෙවත් ජංගම දුරකථන පාදක වෙළෙදාමේ වපසරියට අයත් විවිධ මානය.
මෙපරිද්දෙන් අද වන විට ජංගම දුරකථනය සමාජයේ සෑම සියලු ස්තරයක්ම වසා පැතිරුණු පොදු ජනයාගේ මෙවලමකි. නැතිනම් ආර්ථික විද්‍යාඥයන් පවසන පරිදි පිරමිඩයේ පහළ ස්තරයට පවා ජංගම දුරකථනය අද සේන්දු වී තිබේ.
මේ පිළිබඳ අදහස් දක්වන ඇතැම් විද්වතුන් මත පළ කරන්නේ සිංහල හෝ දෙමළ බසින් සකස් කළ යෙදුම් (Local content) වඩා සුලබ වී නම් මේ ව්‍යාපෘතිය මීට වඩා ඉහළ යා හැකි බවයි. ඒ කොයි හැටි වෙතත් දශක දෙකකට ආසන්න කාලයක් පුරා අපේ රටේ ජනී ජනයාගේ අතමිට ගැවසෙමින්, සමීප වෙමින් ජංගම දුරකථනය පැමිණ ඇත්තේ මහා දිගු ගමනකි. එය හෙට දවසේ ද ගමන් කරන දුර කෙටි නොවන බව ඉඳුරාම කිව හැකිය.
උපුටා ගැනීම -මව්බිම