මන්ත්‍රී හසිත මඩවල ඝාතනය ගැන රහස් පොලිසිය කියන කතාව

කැළණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතන සුලමුල හෙළි කරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇමැති මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ‍ලේකම්වරුන් බව සදහන් දෙදෙනෙක්ද, කැළණිය, සිංහාරමුල්ල සහ ඒ අවට ප්‍රදේශවල ඇමැතිවරයාගේ සංවිධායක බව කියන පුද්ගලයෙක්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. මඩවල මන්ත්‍රීවරයාට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ සිංහාරමුල්‍ලේ ඇමැති සංවිධායකවරයා බවත්, ඔහු සිංගප්පූරුවට පළා යාමේ සූදානමින් බණ්ඩාරනායක ගුවන්තොටු‍පොලට ගොස් ගුවන් තොටු‍පොල පරීශ්‍රයේ රැදී සිටියදී ඊයේ 07) අත්අඩංගුවට ගෙන ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විනාඩි කිහිපයක් ප්‍රමාද වූයේ නම් වෙඩික්කරු රැගත් ගුවන් යානාව සිංගප්පූරුව බලා ගුවන්ගත වනු ඇත.
රංගන නැමැති එම වෙඩික්කරුවාගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලින් අනතුරුව මඩවල මන්ත්‍රිවරයාට වෙඩි තැබූ මිලි මීටර 09 වර්ගයේ ගිනි අවියත්, මඩවල මන්ත්‍රීවරයාට වෙඩි තබන්නට පැමිණි පල්සර් වර්ගයේ යතුරු පැදියත් සොයා ගන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් සමත්ව ඇත. එම අවිය සහ යතුරු පැදිය සඟවා තිබි ඇත්තේ මීගමුවේ නිවසකය. ගිනි අවිය එම නිවසේ සිවිලිමේ සඟවා තිබි ඇත.

එම නිවස ප්‍රධාන සැකකාර රංගන නැමැත්තාගේ ලොකු අම්මාගේ බවද අනාවරණය වී තිබේ. ගිනි අවියේ පතොරම් 02 ක්ද තිබි ඇත. මඩවල මන්ත්‍රීවරයාගේ ඝාතනයෙන් පසු එම පතොරම් එහි ඉතිරිව තිබි ඇත. සැකකාර රංගන අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබි ඇමරිකන් ඩොලර් 1000 ක්ද හමුවී ඇත. එම ඩොලර් 1000 සිංගප්පූරුවට ඔහු සංචාරකයෙක් ලෙස ඇතුළු වීමේදි එරටදී වියදම් කිරීමට රැගෙන ආ මුදල් බව සිංගප්පූරු ආගමන විගමන නිලධාරීන්ට ඉදිරිපත්කර වීසා ලබා ගැනීමට තබා ගෙන සිටි බව සඳහන්ය. සැකකරුට සිංගප්පූරුවට පළා යාමට අවශ්‍ය පහසුකම් සපයා දෙමින් ගුවන්ටිකට්පත් ලබා දී ඇත්තේ ඇමැති මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ‍ලේකම්වරයෙක් බව සදහන් සරත් එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් නැමැත්තා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් අනාවරණය වී ඇත. සිංගප්පූරුවට නිතර යන එන අයෙක් වන ඔහු සිංගප්පූරුවේදි රංගනට ආරක්ෂාකාරීව රැදී සිටීමට අවශ්‍ය පහසුකම් පවා එරට සිටින ඔහුගේ ගෝල බාලයින් මඟින් සකසා තිබි ඇතැයිද හෙළිවී තිබේ.


 මඩවල මන්ත්‍රීවරයාගේ ඝාතන උණුසුම පහව යාමත් සමග සිංගප්පූරු සරත්ද සිංගප්පූරුවට ගොස් රංගනගේ සුවදුක් විමසිමට සූදානමින් සිට ඇතැයිද අනාවරණය වී ඇත. රංගන නැමැති වෙඩික්කරු සිංගප්පූරු සරත්ගේ අක්කාගේ පුතාය. සිංගප්පූරුවෙන් මෙරටට ඉලෙක්ට්‍රොනික් උපාංග රුගෙනවිත් අලෙවි කිරීමෙන් ධනවතෙකු වූ ඔහුට අයත්ව ව්‍යාපාර රැසක්ම ඇති බවත්, කිරිබත්ගොඩ නගරයේ ඇති සමනල රෙස්ටුරන්ට්හී හිමිකරු වන්නේද ඔහුය. ප්‍රශ්ණ කිරීම්වලදී රංගන නැමැත්තා පවසා ඇති ආකාරයට අනුව මඩවල මන්ත්‍රිවරයාට වෙඩි තැබූ ගිනි අවිය ඔහුට ලබා දී ඇත්තේ සිංගප්පූරු සරත්ය. මිලි මීටර් 09 වර්ගයේ අවියට අමතරව ටී.81 වර්ගයේ ස්යංක්‍රීය අවියක්ද තම මාමා වන සිංගප්පූරු සරත් විසින් ලබා දුන් බව ප්‍රධාන සැකකාර රංගන හෙළි කර ඇත. ඒ අනුව එම අවිය රංගන පදිංචි කැළණිය, සිංහාරමු‍ල්ලේ නිවසේ සිවිලිමේ සඟවා තිබියදී සොයාගෙන තිබේ. එම අවියේ පතොරම් රදවන දෙකක්ද , පතොරොම් 48ක්ද තිබි ඇත.රංගන නැමැති ප්‍රධාන සැකකරු මංකොල්ලකෑම් රැසකට බන්ධනාගාරගත වූවෙක් බවද හෙළිවී ඇත. හමුදාවෙන් පළාවිත් සිටින සෙබලුන් සමග සිදුකළ වාහන කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට ඔහු මිරිහාන ‍පොලිසියට පවා කොටුවී ඇතැයි අනාවරණය වී තිබේ. රද්දොළුගම ප්‍රදේශයේ පිහිටි නිවසකට කඩා වැදී ගිනි අවි පෙන්වා තර්ජනය කිරීමක් සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා ඇතත් දේශපාලන මැදිහත් වීමක් මත ‍පොලිසියට බලපෑමක් කර ඔහු ඉන් ගැලවී ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කළේය.
එහිදී ඔහු තර්ජනය කර ඇත්තේ සෙල්ලම් පිස්තෝලයකින් බව පවසමින් ‍පොලිස් ලොක්කන්ද ලෙස්සා ගොස් තිබිණි. කැළණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති චමිල දුමින්ද මහතාගේ නිවසට කඩා වැදී නිවසට හානිකර රුපියල් ලක්ෂ 20 ක මුදල් කොල්ලකෑමකටද රංගන සහ සිංගප්පූරු සරත් චෝදනා ලැබිය. ඔවුන් දෙදෙනාව අල්ලා ‍පොලිසියට ගම්වැසියන් විසින් භාර දුන්නද දේශපාලන බලපෑම් මත ඔවුන් දෙදෙනා පැය කිහිපයක් ඇතුලත නිදහස ලැබූහ. මඩවල මන්ත්‍රිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොටු වීමෙන් පසු ඔවුන් ඒ ගැනද තොරතුරු හෙළි කරන බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

මෙම ඝාතන සැලසුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින අනිත් ඇමැති සම්බන්ධීකරණ ‍ලේකම්වරයා වන්නේ සමන් නැමැත්තෙකි. බ්‍රෝකර් කරුවෙක් ලෙස කිරිබත්ගොඩ නගරයේ කරක් ගසමින් සිටි ඔහු ඇමති සම්බන්ධීකරණ ‍ලේකම්කම ලැබිමෙන් පසු හුණුපිටියේ කොමාර්ෂල් ‍පොහොර සමාගමේ ශ්‍රමික කොන්ත්‍රාත්තුව හිමිව ඇත්තේ ඔහුටය. ලක්ෂ දෙක තුනක මාසික ශුද්ධ ලාබය ලැබෙන ඒ කොන්ත්‍රාත්තුව ඊට පෙර ලබාගෙන තිබුණේ කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතාගේ බිරිඳය. ඇමැති මර්වින් සිල්වා සමග කැළණියේ මන්ත්‍රිවරු අමනාප වීමෙන් පසු සභාපතිවරයාගේ බිරිඳ ලබාගත් එම කොන්ත්‍රාත්තුව ඇයට අහිමි වී සමන්ට හිමිව තිබේ.මඩවල මන්ත්‍රිවරයාට වෙඩි තබන්නට රංගන නැමැත්තා ගමන් කළ යතුරු පැදිය පදවා ඇත්තේ 17 හැවිරිදි තරුණයෙකි. රංගනගේ මව කැළණියේ පවත්වා ගෙන යන කේටරින් සේවාවක සේවකයෙක් ලෙස එම තරුණයා සේවය කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත.
 
ඒ අනුව ඔහුවද අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබේ. මඩවල මන්ත්‍රීවරයා ඝාතනයට ඔත්තු බලා ඇත්තේ රංගනගේ පියා බවද අනාවරණය වී ඇත. ප්‍රදේශයේ ප්‍රසිද්ධ කසිප්පු ජාවාරම්කරුවෙක් වන ඔහු ත්‍රීරෝද රථයක නැගී මඩවල මන්ත්‍රිවරයාගේ නිවස අසල රැදී සිටිමින් ඔත්තු බලා ඇතැයි අනාවරණය වී තිබේ. මඩවල මන්ත්‍රීවරයා ඔහුගේ නිවසට මෝටර් රථයෙන් පැමිණ මිතුරා සමග කථා කරමින් සිටියදී ඒ ගැන ත්‍රීරෝද රථයේ සිටි රංගනගේ පියා දුරකථන ඇමතුමක් දෙමින් රංගනට පවසා ඇති බවත් ඒ අනුව රංගන සිය ගොලයා සමඟ පැමිණ මඩවල මන්ත්‍රිවරයාට වෙඩි තබා තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් කර ඇති විමර්ශනවලින් අනාවරණය වී තිබේ. ඒ අනුව රංගනගේ පියාවද අත්අඩංගුවට ගෙන ඇත. 

මෙහිදී ඔවුන් පැමිණි කළු පැහැති පල්සර් වර්ගයේ යතුරු පැදියේ අංක තහඩු හඳුනා ගන්නට නොහැකි වන ලෙස දෙකට නවා තිබි ඇත. ඒ නිසා යතුරු පැදියේ අංක නො පෙනෙන බවත් කල්තියා කළ සැලසුමකට අනුව මෙම ඝාතනය කර ඇතැයි ඒ අනුව පෙනී යන බවත් උසස් ‍පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.මන්ත්‍රීවරයාව ඝාතනය කිරීමෙන් පසු ඔවුන් දෙදෙනා එම යතුරු පැදියෙන්ම මීගමුවට ගොස් යතුරු පැදියත් ගිනි අවියත් සගවා කිසිවක් නොදන්නා ලෙස සිට ඇති බවත් මන්ත්‍රිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍යවල පළවන පුවත් සම්බන්ධයෙන් අවධානයෙන් සිට ඇති බවත් අනාවරණය වී ඇත.


 දේශපාලන හයි හත්තිය නිසා මේ පිරිස අපරාධ කිරීමට කිසිදු බියක් දක්වා නොමැති බවත් මෙම ඝාතනයෙන්ද ඔවුන්ව දේශපාලනඥයන්ගේ මැදිහත් වීමෙන් ගැලවිල්ලක් ලැබෙන බවට ඔවුන් විශ්වාසයෙන් සිට ඇති බවත් විමර්ශනවලදී පෙනී ගොස් තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පවා ඔවුන් දේශපාලන හයි හත්තිය ගැන පම්‍පෝරි පවා ගසා ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කළේය. හසිත මඩවල මන්ත්‍රිවරයාගේ ඝාතනයට යම් දේශපාලන සිදුවීමක් හෝ සම්බන්ධයක් ඇතැයි බැලූ බැල්මට පෙනී ගියත් සැකකරුවන් පවසනුයේ පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය කළ බව යැයි උසස් ‍පොලිස් නිලධාරියෙක් සදහන් කළේය. කැළණිය ප්‍රාදේශීය සභා භූමියේදි හසිත මඩවල මන්ත්‍රීවරයා සිය මවට බැන වැදී පහර දුන් බැවින් ඊට පළිගන්නට මෙම ඝාතනය කළ බව ප්‍රධාන සැකකාර රංගන පවසා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය. කානුවක ගැටළුවක් සම්බන්ධයෙන් රංගනගේ මව සහ ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර අතර ආරවුලක් ඇතිවී තිබුණද ඊට හසිත මඩවල මන්ත්‍රීවරයා සම්බන්ධ වී නැති බවද අනාවරණය වී තිබේ. රංගනගේ මවද මර්වින් සිල්වා ඇමැතිවරයාගේ ළඟම ආධාරකාරියක් වන අතර ඇගේ පැමිණිලක් මත ඇයට පහර දුන්නේ යැයි සැකපිට අධිකරණයට පවා ‍පොලිසිය ඉදිරිපත්කර ඇත්තේ ප්‍රසන්න රණවීර සභාපතිවරයා සහ ප්‍රාද්ශිය සභාවේ තාක්ෂණික නිලධාරියෙක් පමණි.

 හසිත මඩවල මන්ත්‍රිවරයා එම පහරදීමට සම්බන්ධ වූ බවක් ‍පොලිස් පැමිණිලිවලද නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ සොයා බැලීම්වලදී පෙනී ගොස් ඇත. ඒ අනුව සිය මවට පහරදීම සම්බන්ධයෙන් හසිත මඩවල මන්ත්‍රීවරයාව ඝාතනය කළ බව කියන කථාව විශ්වාස කළ නොහැකි බව උසස් ‍පොලිස් නිලධාරියෙක් සදහන් කළේය. සිය මවට පහරදීමක් සම්බන්ධයෙන් රංගන සැබෑ ලෙසම හසිත මඩවල මහතා ඝාතනය ක‍ළේ නම් ඊට සිංගප්පූරු සරත්, සමන් ආදී ඇමැති සම්බන්ධීකරණ නිලධාරීන් සම්බන්ධ වූයේ ඇයිදැයි ගැටළුවක් බවත් තවදුරටත් හෙළි නොවූ අභිරහසක් මෙම ඝාතන පිටුපසු ඇතැයි මේ අනුව පෙනී යන බවත් ‍පොලිස් තොරතුරු අනාවරණය කළේය. ඒ සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණ පවත්වන බව ‍පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.


උපුටා ගැනීම - ලක්බිම පුවත් 


Gossip Lanka Hot News Previous News Archive