කොළඹ අළුත්කඩේ යුද පිටියක් දසදහසකට අධික පිරිසක් සටනේ

කොළඹ, අළුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට අද (10) උදේ 9 සිට යුද පිටියක් බවට පත් වී තිබේ. අගවිනිසුරු ආචාර්‍ය ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝශාභියෝගයට විරුද්ධව නීතිඥ සංගම‍ය සහ එජාපය ඇතුළු විපක්ෂයේ මැති ඇමැතිවරුන් අද උදේ කොළඹ අළුත්කඩේ උදසාවිය ඉදිරිපිටින් වැටී තිබෙන මාර්ගයේ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණ.
 එම උද්ඝෝෂණය මැඬ පැවැත්වීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ පිරිස් ඇතුළු දසදහසකට අධික ජනතාවක් මේ වනවිට අළුත්කඩේ උසාවිය ඉදිරිපිට මහ වැස්සේ තෙමෙමින් විපක්ෂයේ උද්ඝෝෂණයට එරෙහිව සටන් පාඨ කියමින් මාර්ගය වසා ගෙන සිටිති. 

දෙපාර්ශවය අත දෙකේ දෙකේ පෙලු සහිත බැනර් තිබෙනු දකින්නට ලැ‍බේ. අපට නොපෙනන මානයේ දී මෙම පොලුවලින් දෙපිරිස අතරේ පහර දීමක් ද සිදු වූ බව වාර්ථා විය. මා‍ර්ගය අවහිර කරමින් පිරිසක් අගවිනිසුරුවරියට එරෙහිව උද්ඝෝෂණය කරද්දී අනෙක් පාර්ශවය කෑ ගසන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව ඉරා දමන අඳුරුතම දිනය අදින් උදා වූ බව පවසමින්. ආණ්ඩුවේ ඒකාධිපති තීන්දු , තීරණ වහා අකුළා ගන්න යැයි ඔවුන් කෑ ගසති. විරුද්ධ පක්ෂය නියෝජනය කරමින් තිස්ස අත්තනායක,ජයලත් ජයවර්ධන,රවි කරුණානායක,සුජීව සේරසිංහ,සජිත් ප්‍රේමදාස,අනුර කුමාර දිසානායක යන මැති ඇමැතිවරුන් ඇතුළු


පොලුවලින් ගහ ගනිති

නීතිඥවරුන් මෙම උද්ඝෝෂණයට සහභාගී වෙමින් සිටිති. මෙම පිරිස පා ගමනින් ඉදිරියට ගමන් කරන්නට සැරසුන මොහොතේ දසදහසක පමණ පිරිසක් ඔවුන්ගේ මග අවුරා ගෙන කෑකෝ ගසති.අළුත්කඩේ උසාවි මාර්ගයට පිවිසෙන මාර්ග සියල්ල මේ මොහොත වනවිට වසා දමා තිබේ. තුවක්කු,බැට්න්පොලු, කඳුළු ගෑස් සහිත පොලිසියේ විශාල පිරිසක් සූදානමින් සිටිති. ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීමේ සූදානම ඇතිව යුද හමුදාව සීරුවෙන් තබා ඇත. ඒකාධිපති වියරුව පරාජය කිරීමට සියලු දෙනා ඒකරාශි විය යුතු මොහොත අදින් එළැඹෙන බව උද්ඝෝෂකයෝ කෑ ගසති. මේ අතර අළුත්කඩේ උසාවි සංකීර්ණවල ඉහළ මාලවලට නැගුන එහි සේවක සේවිකාවෝ කවුළුවලින් හිස් පිටතට දමා ගෙන මාර්ගයේ සිදුවන මෙ දැවැන්ත උද්ඝෝෂණය හා විරෝධතා නරඹති.

තුවක්කු, බැට්න් පොලු සීරුවෙන්

මේ අවස්ථාව වනවිට ශ්‍රී ලංකාවේ අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අතරේ හටගෙන තිබෙන අර්බුදය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සිය දැඩි කනස්සල්ල පළ කොට තිබේ. අළුත්කඩේ දෙසින් පෙළපාලි දෙකක් ක්‍රියාත්මක වන බවක් පෙනේ. එක් පෙළපාලියක් නීතිඥ සංගමය විසින් ක්‍රියාත්මක කරයි. අනෙක් පෙළපාලිය දෝශාභියෝගයට පක්ෂව ක්‍රියාත්මක වන අතර එයට නායකත්වය දෙන්නේ පිටකොටුව,ස්වයං රැකියා නියෝජිත සංගමයේ සභාපති මහින්ද කහඳගම මහතාය. මහවැසි මැද්දේ කුඩ ඔසවා ගෙන මෙම උද්ඝෝෂණයේ දෙපාර්ශවය යෙදෙන අතර විශාල


ජල ප්‍රහාරයක් එල්ල කරයි

ජනමාධ්‍යවේදීන් පිරිසක් තාප්ප උඩ නැග ගෙන ඡායාරූප සහ වීඩියෝ ගත කරමින් සිටිති. මෙම විරෝධතාව ‍ හේතුවෙන් පැය ගණන් බස් හා වෙනත් වාහන එක තැන සිර වී තිබේ. දැවැන්ත මාර්ග තදබදයක් පිටකොටුව, මරදාන, පංචිකාවත්ත, ආමර්වීදය, ඔරුගොඩවත්ත දෙසට විහිදී තිබෙන බව වාර්ථා වේ. සජිත් ප්‍රේමදාස සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන් නීතිඥ පෙළපාලියට ඉදිරියට ගමන් කරන්නට ඉඩ දෙන ලෙස දෝශාභියෝගයට පක්ෂ පාර්ශවයෙන් ඉල්ලා සිටි අවස්ථාවේ දෙපිරිස අතරේ වචන හුවමාරුවක් තදින් ඇති වී එය අසභ්‍ය වදන දක්වා දුරදිග ගොස් ගැටුමට මුල පිරී ඇත. මේ වනවිට නීතිඥ පෙළපාලිය පිටකොටුව දෙසින් ජනාධිපති මන්දීරය දෙසට යාම සඳහා අධි ආරක්ෂිත කලපයට ඇතුල්වීමට ආසන්නව සිටී. මේ සමග නීතිඥවරුන්ට අධිආරක්ෂක කලාපයේ රැකවල්ලා සිටින ආරක්ෂක අංශ වෙතින් දැවැන්ත ජල ප්‍රහාරයක් එල්ල වන්නට පටන් ගෙන ඇත. පෙළපාලිකරුවෝ හිස් ලූලූ අත දිවයන අයුරු පෙනේ.



උපුටා ගැනීම - ලක්බිම පුවත් 

Gossip Lanka Hot News Previous News Archive