ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ඊයේ (21) උදැසන ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව, ශ්‍යාමෝපාලි වංශික මල්වතු පාර්ශවයේ මහානායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමිපාණන් වහන්සේ බැහැදැකීම සදහා ගොස් ඇතත්, උන්වහන්සේ අගවිනිසුරුවරයා හමුවීම ප්‍රතික්ෂේප කර ඇත.
අගවිනිසුරුවරියට එරෙහි දෝශාභියෝගය ඉවත්කර ගන්නා ලෙසට ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් දෙවරක්ම අනුශාසනා කරද්දී, එය නොසලකා ජනාධිපතිවරයා විසින් නව අගවිනිසුරුවරයකු පත්කිරීම නාහිමිවරුන්ගේ කනස්සල්ලට හේතුවී තිබෙන බව වාර්තාවේ.
එම තත්වය යටතේ, මල්වතු පාර්ශවයේ නායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට අගවිනිසුරුවරයා බලවත් සේ උත්සාහ දරා ඇතත් එය සාර්ථක වී නොමැත. එහිදී නා හිමිපාණන්ගේ ලේඛකාධිකාරී හිමිවරුන් පවසා ඇත්තේ, ඊට කාල වේලාවක් වෙන් කළ නොහැකි බවයි.
අනතුරුව, අගවිනිසුරුවරයා අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියන්වහන්සේ බැහැදුටු අතර, එම අවස්ථාව ආවරණය කිරීමට ජනමාධ්‍යයට වැට බැඳිණ.
අන්‍යාගමිකයකු වන අගවිනිසුරු මොහාන් පීරිස් මහතා මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණි අවස්ථාවේදී, දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදී.
දළදා සමිඳුන් වැඩ සිටින සුවඳ කුටියට පිවිසි මොහාන් පීරිස් මහතා සමන් පිච්චමල් බඳුනක් තැන්පත්කොට දළදා සමිඳුන් වෙත පුෂ්පෝපහාර දැක්වීය.